ක්‍රීමර්ගේ ශතකය සිම්බාබ්වේ කණ්ඩායම අවමානයෙන් ගලවා ගනියි

556
Sri Lanka's players (L) celebrate the wicket of a kneeling Donald Tiripano during the third day of the first Test match in a series of two cricket matches between Sri Lanka and Zimbabwe at the Harare Sports Club, October 31, 2016.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඩොනල්ඩ් තිරිපානෝගේ කඩුල්ල දවාගත් අවස්තාව සමරමින් ©AFP

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (31) දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකු නොදැවී ලකුණු 5ක් ලබා සිටියි. 

ඊයේ තරග ලිපිය: දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිළෙන් දැවැන්ත අභියෝගයක්

අද දිවා විවේකය වන විට ලකුණු 174කට කඩුලු 6ක් බිඳ වැටී බොහෝ අසරණ වී සිටි සිම්බාබ්වේ කණ්ඩායමට යම් ජීවයක් එක් කිරීමට කඩුලු රකින ක්‍රීඩක පීටර් මුවර් සහ පන්දු යවන්නෙකු ලෙස නම් දරා සිටින ග්‍රැහැම් ක්‍රීමර් සමත් විය.

අද දිනයේ ප්‍රථම කඩුල්ල ලෙසට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ටීනෝ මවෝයෝ ලකුණු 45ක් ලබා සිටියදී දවාගන්නට සුරංග ලක්මාල් සමත් වූ අතර ඔහු යැවූ කෙටි පන්දුවට මවෝයෝ එල්ල කල පුල් පහර අසේල ගුණරත්නගේ දෑතේ රැඳිනි. ඉන් නොනැවතුනු සුරංග නැවතත් ක්‍රියාත්මක වෙමින් හැමිල්ටන් මැසකඩ්සාව අද දිනයේ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දවා ගත්තේය. ඉන් අනතුරුව සිම්බාබ්වේ මැදපෙළ සුනු විසුණු කර දැමීමේ වගකීම භාරගත් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා දිවා විවේකයටත් පෙර අර්වයින්, විලියම්ස් සහ වොලර් නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නනට සමත් විය.

මේ වන විට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් වෙත නතු කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමක පීඩනයක් ඇති වූයේ දිවා විවේකයෙන් පසුවයි. සිම්බාබ්වේ මැදපෙළ බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ එක්වුණු පීටර් මුවර් සහ නායක ග්‍රැහැම් ක්‍රීමර් පිටියේ හිදැස් වලට පන්දුව යොමු කරමින් ක්‍රමයෙන් ඉනිම ගොඩ නංවන්නට විය. උදෑසන කාලයේදී තණතිල්ලේ දක්නට ලැබුනු වෙනස්වන ඉල්පීමත්, දඟ කැවීමත් අඩුවී තිබීම ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වීමට හේතු විය.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු බල ඇණියම මෙල්ල කරමින් ලකුණු 132ක සුපිරි සබඳතාවයක් ගොඩ නගා ගෙන සිටි මොහොතේ එය බිඳ දැමීමට, සිය මංගල තරගයට ක්‍රීඩා කරන ලහිරු කුමාර සමත් විය. ඔහු විසින් එල්ල කරනු ලැබූ කෙටි පන්දුවට ලකුණු 79ක් ලබා සිටි පීටර් මුවර් ආරක්ෂිත පහරක් එල්ල කිරීමට උත්සාහ ගත් අතර එය බිම පතිත වීමට පෙර විශිෂ්ට ලෙසින් රැක ගැනීමට ගලි කලාපයේ සිට පියඹා ආ දිල්රුවන් පෙරේරා සමත් විය.

මුවර්ගේ දැවී යාමෙන් අනතුරුව අනෙක් අන්තයේ හුදකලා වුනු නායක ග්‍රැහැම් ක්‍රීමර් තම කණ්ඩායම වැටී ඇති තත්වය හොඳින් වටහා ගනිමින් පිතිකරණයේ යෙදුනු අතර ඔහු හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 102ක් වාර්තා කළේ සිම්බාබ්වේ කණ්ඩායම දෙවන වර පන්දුවට පහර දීමේ අවමානයෙන් ගලවා ගනිමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් ඩොනල්ඩ් තිරිපානෝ ලකුණු 46යි. බිඳ වැටුනු සිම්බාබ්වේ ඉනිමේ, කඩුලු 3 බැගින් බෙදාගන්නට රංගන හේරත් සහ සුරංග ලක්මාල් සමත් වූ අතර දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය. සුරංග ලක්මාල්ගේ වේග පන්දුවක් හමුවේ සිම්බාබ්වේ අවසාන පිතිකරු වන ක්‍රිස්ටෝපර් ම්පොෆුගේ පා ඉන්න ගැලවී යද්දී සිම්බාබ්වේ ප්‍රථම ඉනිම ලකුණු 373ක් ලෙස සටහන් විය.

දිනය නිමාවන්නට තවත් සුළු කාල වේලාවක් පැවති බැවින් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3කට මුහුණ දෙමින් කිසිවෙකු නොදැවී ලකුණු 5ක් ලබා සිටියි. මේ වන විට ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 169ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 10ම අතැතිවයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 537 (පන්දුවාර 155): උපුල් තරංග 110*, කුසල් පෙරේරා 110, දිමුත් කරුණාරත්න 56, කෞෂාල් සිල්වා 56, අසේල ගුණරත්න 54, ග්‍රැහැම් ක්‍රීමර් 4/142, ක්‍රිස්ටෝපර් ම්පොෆු 2/96.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 107.5): පීටර් මුවර් 79, ග්‍රැහැම් ක්‍රීමර් 102*, ඩොනල්ඩ් තිරිපානෝ 46, රංගන හේරත් 3/97, සුරංග ලක්මාල් 3/69, දිල්රුවන් පෙරේරා 2/66.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 5 (පන්දුවාර 3): කෞෂාල් සිල්වා 3*, දිමුත් කරුණාරත්න 1*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට