වෙහෙසකර දිනයක් අවසානයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ සතුට සමරයි!

559
This match marked Zimbabwe's 100th cricket match since their debut in 1992. / AFP PHOTO / Jekesai Njikizana
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සමරමින් ©AFP

සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් හරාරේ හීදී පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක පහස ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කණ්ඩායම් දෙකෙන්ම ඉතාමත් හොඳ සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල මෙම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවයත්, චමත්කාරයත් මනාව කුළු ගන්වන්නක් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාවේ ගමනට වර්ෂාව හරස් කපයි

ප්‍රථම දිනයේ පිතිකරුවන්ට වැඩි සහයක් දක්වන හරාරේ තණතීරුවේදී තම නායකත්වය යටතේ මුල්ම කාසියේ වාසිය ජයගත් රංගන හේරත් ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තේය. ඔහුගේ තීරණයේ නිවැරදි බව සාක්ෂාත් කරමින් ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 537ක් ලෙස සටහන් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ලාභීන් දෙදෙනෙකු බිහිවූ අතර කුසල් පෙරේරා හතරේ 15ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 121ක් තුලදී ප්‍රවේගකාරී ලකුණු 110ක් රැස් කල අතර උපුල් තරංග හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 110ක් රැස් කරමින් ඉනිම ගොඩ නැගුවේය. තම මංගල තරගයට ක්‍රීඩා කල අසේල ගුණරත්න මුල් ඉනිමේදීම ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය. පන්දුවෙන් සාර්ථක වූ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 142ට කඩුලු 4යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ පිතිකරුවන් එක් අවස්ථාවක ලකුණු 139කට කඩුලු 6ක් දැවී ඉතාමත් අසීරු තත්වයක පසුවූ අතර ඒ වන විට සෑම දෙනාම බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකා පිළට ඉතාමත් පහසු ජයක් අත්වනු ඇති බවයි. නමුත් සටන අත්නොහළ ග්‍රැහැම් ක්‍රීමර් සිය මංගල ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත්වූ අතර සිම්බාබ්වේ කණ්ඩායමෙන් පීඩනය මුදා හළ පීටර් මුවර් පන්දු 84ක් තුල ප්‍රවේගකාරී ලකුණු 79ක් රැස් කරන ලදී. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින් බිඳ හෙලන ලදී.

ඔවුන්ගේ මෙම ප්‍රයත්නය නිසාම ශ්‍රී ලංකාවට දෙවන ඉනිමත් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර ඔවුන් ඊයේ දිනයට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 247ක් ලබා සිටියහ. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ගැලවුම්කරුවා බවට පත්වූ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවේ ඉනිම එකට බැඳ තබමින් ලකුණු 110ක් රැස් කලේය. මෙම තරගයේ වැඩිම ලකුණු රැස්කල ක්‍රීඩකයින් තිදෙනාම ලකුණු 110 බැගින් රැස් කිරීමද විශේෂිත සිදුවීමකි.

ඒ අනුව තරග ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට අවසන් දිනයේදී ලකුණු 412ක ඉලක්කයක් හිමිවූ අතර ශ්‍රී ලංකාවට කඩුලු 10ක් දවා ගැනීමට අවශ්‍ය විය. එම අභියෝගයට සාර්ථක ලෙස මුහුණදෙන බව පෙන්නුම් කල ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවා විවේකය වනවිට කඩුලු 5ක් දවාගෙන නැවතත් පෙරමුණට පැමිණියත් දෙවැනි සැසියේදී ඔවුන්ට දවා ගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණක් වීම නිසා තරගයේ තීරණය නැවතත් අවිනිශ්චිත විය.

කෙසේ වෙතත් තේ විවේකයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ප්‍රබල වෙහෙසක් දරා තවත් කඩුලු 2ක් දවාගත් නමුත් ප්‍රථම ඉනිමේදී ද ශතකයක් රැස් කල ග්‍රැහැම් ක්‍රීමර් දෙවැනි ඉනිමේදී ද හිසරදයක් බවට පත්වෙමින් කාල් මුම්බා සමග එක්වෙමින් ලකුණු සබඳතාවයක් ගොඩ නගන්නට පටන් ගත්තේය.

නමුත් දිනය නිමාවීමට පන්දුවාර 11ක් ඉතිරිව තිබියදී පන්දුව අතට ගත් රංගන හේරත් ක්‍රීමර්ව දවාගත්තේ තවමත් ශ්‍රී ලංකාව සතු ටෙස්ට් තරග දිනවන්නා තමන් බව සැමට පසක් කරමිනි. තම සංයමය බිඳ දමාගෙන ඉදිරියට පැන අනවශ්‍ය පහරක් එල්ල කිරීමට උත්සාහ කල ක්‍රීමර්, කුසල් පෙරේරා අතින් ස්ටම්ප් කිරීමකට ලක්වන විට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 43කි. දිල්රුවන් යැවූ පන්දුවක් ම්පොෆුගේ කඩුල්ල සිප ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායට ලකුණු 225ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවූ අතර රංගන හේරත් නායකයෙකු ලෙස ඔහුට පැවරුණු වගකීම අති සාර්ථකව නිමා කරන්නට සමත් විය. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් ලකුණු 153ක් සහ පන්දුවෙන් කඩුලු 4ක් බිඳ හෙලූ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ට හිමිවිය.

ප්‍රථම ටෙස්ට් තරගය ඉතාමත් උණුසුම් අයුරින් පස්වන දිනයේ අවසානය තෙක්ම ඇදී ගිය නිසා ශ්‍රී ලංකාවත් සිම්බාබ්වේ කණ්ඩායමත් අතර ලබන 6වැනිදා හරාරේ හිදීම ඇරඹීමට නියමිතව ඇති දෙවැනි ටෙස්ට් තරගයද කුතුහලයෙන් පිරුණු, ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය නෙතු අද්දර මවන්නක් බවට පත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතී.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 537 (පන්දුවාර 155)
උපුල් තරංග 110*, කුසල් පෙරේරා 110, දිමුත් කරුණාරත්න 56, කෞෂාල් සිල්වා 56, අසේල ගුණරත්න 54, ග්‍රැහැම් ක්‍රීමර් 4/142, ක්‍රිස්ටෝපර් ම්පොෆු 2/96.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 107.5)
පීටර් මුවර් 79, ග්‍රැහැම් ක්‍රීමර් 102*, ඩොනල්ඩ් තිරිපානෝ 46, රංගන හේරත් 3/97, සුරංග ලක්මාල් 3/69, දිල්රුවන් පෙරේරා 2/66.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 247 (පන්දුවාර 61.5)
දිමුත් කරුණාරත්න 110, ධනංජය සිල්වා 64, කුසල් මෙන්ඩිස් 19, අසේල ගුණරත්න 16*.

සිම්බාබ්වේ (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 90.3)
ග්‍රැහැම් ක්‍රීමර් 43, ෂෝන් විලියම්ස් 40, ටීනෝ මවෝයෝ 37, රංගන හේරත් 3/38, සුරංග ලක්මාල් 2/43, දිල්රුවන් පෙරේරා 3/34, ලහිරු කුමාර 2/45.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට