ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාව සියතින් ගෙල සිඳ ගනියි!

4511
Sri Lanka v Zimbabwe 4th ODI

සිව්වැනි එක්දින තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් අද්විතීය ලෝක වාර්තාවක් පවා බිහිකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් (08) පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදු විය.

ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

අද (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් පන්දුවට පහර දෙමින්…

ඒ සුපිරි ආරම්භයෙන් අනතුරුව මැදපෙළ දියාරු පිතිකරණයක යෙදීමත්, පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා කිසිවක් ප්‍රකට නොවීමත් නිසාවෙනි. ඒ හේතුවෙන් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 2 – 2ක් ලෙස සම තත්වයේ පසුවෙයි.

සංචාරක සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් අද පිට පිටම අටවැනි වතාවටත් කාසියේ වාසිය පරාජය වීමත් සමඟ ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ නිමාවුණු තරග ත්‍රිත්වයම ජය ගත්තේ මුලින් පන්දු යැවූ කණ්ඩායමයි. කෙසේ වෙතත් තණතිල්ලේ වාර්තාව ලබා දුන් රසල් ආනල්ඩ් අද සවස් භාගයේ දී තණතිල්ල මන්දගාමී වෙමින් දඟ පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා නායකයාගේ තීරණය සමඟ 100%ක්ම ගැළපුණි.

තෙවැනි එක්දින තරගයේ දී ශතකයක් ලබා ගත් හැමිල්ටන් මැසකඩ්සාගේ වටිනා කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් සුපිරි උඩපන්දුවක් ලබාගත් නුවන් ප්‍රදීප් එහි දී පාදයේ ආබාධයකට ලක්වීම නිසා අද මංගල එක්දින වරම් දිනා ගැනීමට 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අවස්ථාව උදා විය. විචාරකයින් අද මෙම දකුණත් වේග පන්දු යවන්නා කණ්ඩායමට එක්වූ හේතුව කුමක් දැයි ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ “ඔහු ඉතා වේගයෙන් පන්දු යවන” බවයි. සිම්බාබ්වේ කණ්ඩායම ද දණහිසේ ආබාධයකට ලක්වූ කාල් මුම්බා වෙනුවට ක්‍රිස්ටෝපර් ම්පොෆු කැඳවා තිබුණි.

නිමාවුණු තරගයේ දී මංගල ශතක දෙකක් සමඟින් සුපිරි ද්විත්ව ශතක සබඳතාවයක් ගොඩ නැගූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද දිනයේදීත් එහි පුනරූපනයක් සූරියවැව ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කිරීම තරගයේ සිදු වුනු සුවිශේෂීම සිදුවීම බවට පත්විය. කිසිදු සිම්බාබ්වේ පන්දු යවන්නෙකු මායිම් නොකළ ඔවුන් දෙදෙනා අද ක්‍රියාත්මක කළ මෙම සුපිරි පිතිකරණය නිසා තවත් අසමසම ලෝක වාර්තාවක් ලක් මවගේ නාමය ඉදිරියෙන් ලියැවුණි. ඒ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු පිට පිටම ද්විත්ව ශතක සබඳතා දෙකක් ගොඩ නැගූ ප්‍රථම සහ එකම අවස්ථාව ලෙසයි.

තම පාද චලනයන්ගෙන් සිම්බාබ්වේ පන්දු යවන්නන් රවටමින් පිටිය සිසාරා මනරම් පහරවල් රැසක් එල්ල කළ නිරෝෂන් දික්වැල්ල අද පිට පිටම තම දෙවැනි එක්දින ශතකයත් වාර්තා කර ගත්තේය. ඒ හතරේ පහර 8ක් තම ඉනිම තුලට අන්තර්ගත කරමිනි. වොලර් ඉතාමත් සෙමින් යැවූ පන්දුවක් තම කඩුල්ල සිප ගැනීම සමඟ ලකුණු 87ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම නිමා වුවද ඔහු දීර්ඝ වේලාවක් එක් අන්තයක් රැක ගනිමින් ශ්‍රී ලංකා පිළට ලබා දුන් ආරම්භය අතිශයින්ම ප්‍රශංසනීය විය. ඔහුගේ දැකුම්කළු ඉනිම අද හතරේ පහර 7කින් වර්ණවත් විය.

කෙසේ වෙතත් මැල්කම් වොලර් මෙම කඩුලු දෙකටම වගකීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වටා යම් පීඩනයක් ගොඩ නැගුණු අතර ඊට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ගේ නායකත්වය ද බොහෝ දුරට හේතු විය. මෙම තරගාවලිය පුරාවටම නොදැවී සිටිමින් තම වගකීම අකුරටම ඉටු කළ උපුල් තරංග පවා අද ලකුණු 22කට දැවී යන්නේ ඒ අනුවයි. දඟ පන්දු යවන්නන්ට පහසුවෙන් පහර දෙන ඇන්ජෙලෝ මැතිව්ස් දඩයම් කර ගැනීම සඳහා ක්‍රිස්ටෝපර් ම්පොෆුව යොදාගත් සැලැස්මට අද හසුවූයේ නවක පිතිකරු අසේල ගුණරත්නයි. ඔහුගේ කෙටි ඉනිම එක් ලකුණකට සීමා විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා සාර්ථක වීමත් සමඟ පිතිකරණ ලැයිස්තුවේ අංක 6 දක්වා පහළට ගිය කුසල් මෙන්ඩිස් ද අද තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දීම දැවී ගියේ ශ්‍රී ලංකා පිළ තවදුරටත් අසරණ කර දමමිනි. ඒ අනුව පළමු කඩුල්ල දැවී යන විට ලකුණු 209ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ ලබා ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 300ක් පමණි. ඉනිමේ අවසන් පන්දුවේ දී නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42කට දැවී යද්දී තම මංගල එක්දින ඉනිම ක්‍රීඩා කළ වනිඳු හසරංග නොදැවී ලකුණු 19ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වෙඩිමුරය එල්ල කළ මැල්කම් වොලර් සහ ක්‍රිස්ටෝපර් ම්පොෆු කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් විය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ දී මුල සිටම තරගයේ වාසිය ලබා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. කිසිදු අවස්ථාවක දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා නොදුන් ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් එක් කරමින් සවිමත් අත්තිවාරමක් මත තම ඉනිම ගොඩ නැංවූහ. ඒ මුල සිටම තම ප්‍රවේගකාරී පිතිකරණ රටාව කිසි ලෙසකින්වත් වෙනස් නොකරමිනි. දෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ අසිත ප්‍රනාන්දු එක්දින දිවියේ යැවූ පළමු පන්දුවටම හ‍යේ පහරක් එල්ල කර සොලමන් මිරේ අද වේගවත් ලකුණු 43ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

අවසානයේ යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම දවා ගනිමින් සටනට අවතීර්ණ වූවත් ඔහුට අනෙක් අන්තයේ පන්දු යැවූ කිසිවෙකුගෙන් සහයක් හිමි නොවීය. ඒ අනුව පන්දුවාර 21ක් අවසන් වී සූරියවැව ක්‍රීඩාංගණයට වැසි පතිත වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3කට ලකුණු 139ක් රැස් කරගෙන ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන ඩක්වර්ත් ලුවිස් ලකුණු ගණනට වඩා ලකුණු 9ක් ඉදිරියෙන් සිටීමට ද සමත්කම් දැක්වූහ. පැයකට පමණ පසුව තරගය නැවත වරක් ආරම්භ වූයේ ඔවුන්ට පන්දුවාර 31කදී ලකුණු 219ක ඉලක්කයක් හිමිකර දෙමිනි.

ඒ වන විට ක්‍රීඩාංගණයට අඳුර ගලා එමින් තිබුනත් පන්දුව මත නිවැරදිව ඇස රඳවාගත් සිම්බාබ්වේ පිතිකරුවන් තම ආක්‍රමණශීලී පිතිකරණ රටාව නොකඩවා පවත්වාගෙන ගියහ. එහි දී වමත් මැදපෙළ පිතිකරු ක්‍රේග් අර්වින් සිම්බාබ්වේ පිළේ ගැලවුම්කරුවා ලෙස නොදැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 69කි. ඊට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. සිකන්ඩර් රාසා සහ මැල්කම් වොලර් ද ඉනිමේ අවසන් කොටසේ දී වේගවත් ලෙස ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු දියකර හැරීමට සමත් වූහ.

පන්දු යැවීමේ දී නවක ක්‍රීඩක වනිඳු හසරංග පමණක් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර අනෙක් බොහෝ පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්වනු දැකිය හැකි විය. මීට අමතරව දුවද්දී දවා ගැනීමේ අවස්ථා කිහිපයක් මඟ හරිමින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් සිම්බාබ්වේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් සහය ද සුළුපටු නොවේ. කෙසේ හෝ අවසානයේ තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක ජයක් තහවුරු කර ගත් සිම්බාබ්වේ ක්‍රීඩකයින් තරගාවලිය සම තත්ත්වයට ගෙන එන්නට සමත් වූහ.

මෙම ජයග්‍රහණය පසුපස සිටි දැවැන්තම සිම්බාබ්වේ චරිතය බවට පත්වූ ක්‍රේග් අර්වයින් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. කෙසේ වෙතත් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබඳතාවයක් පවා පිහිටුවා තිබිය දී උරුම වූ මෙම පරාජය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වලතාවයන් නිසා අත්වූවක් මිස සිම්බාබ්වේ පිළේ දැවැන්ත නැගිටීමක් නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතුය. තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය වන අවසන් එක්දින තරගය ලබන 10 වැනිදා සූරියවැව ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

Sri Lanka - BattingToss: Sri Lanka
Niroshan DickwellaLBW b Waller116 (118)
Danushka Gunathilakab Waller87 (101)
Angelo Mathewsc Masakadza b Chatara42 (40)
Upul Tharangab Raza22 (21)
Asela Gunarathnec Williams b Mpofu 1 (3)
Kusal Mendisc Waller b Mpofu0 (1)
Wanindu HasarangaNot Out19 (17)
Dushmantha Chameera
Lakshan Sandakan
Lasith Malinga
Asitha Fernando
TotalExtras (13)300/6 (50 overs)
Zimbabwe - BowlingOMRW
Christopher Mpofu90612
Tendai Chatara50321
Sikandar Raza90561
Sean Williams50370
Solomon Mire30210
Graeme Cremer90470
Malcolm Waller100442
Zimbabwe - BattingToss: Sri Lanka
Hamilton Masakadzac Hasaranga28 (36)
Solomon Mirec Mathews b Hasaranga43 (30)
Tarisai Musakandac Dickwella b Chameera30 (23)
Craig ErvineNot Out69 (55)
Sean Williamsst Dickwella b Gunarathne6 (9)
Sikandar Razac & b Hasaranga10 (10)
Malcolm Wallerc Gunathilaka b Sandakan20 (13)
PJ MoorNot Out 0 (0)
Graeme Cremer
Christopher Mpofu
Tendai Chatara
TotalExtras (13)219/6 (29.2 Overs)
Sri Lanka - BowlingOMRW
Lasith Malinga41180
Asitha Fernando20220
Dushmantha Chameera50321
Asela Gunarathne 70411
Wanindu Hasaranga60403
Lakshan Sandakan3.20451
Danushka Gunathilaka20160