ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගෙන් අභියෝගයක්

630
Rangana Herath

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබා සිටියි.

දෙවැනි දිනය: සිම්බාබ්වේ පිතිකරුවෝ හඹා යෑම අරඹති

ඊයේ දිනය සඳහා තරගය තාවකාලිකව නතර කරන විට කඩුලු 2කට ලකුණු 126ක් ලබා සිටි සිම්බාබ්වේ පිතිකරුවන් ඒ වන විටත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක නොබිඳුණු සබඳතාවක් තබා තිබුණි.

අද පළමු සැසියේ වේලාසනින්ම පන්දුව අතට ගත් නායක රංගන හේරත්, ක්‍රේග් අර්වයින් විසින් එල්ල කල පහරකට උඩ පන්දුවක් සඳහා ඉල්ලීමක් කල අතර එය විනිසුරු ඉයන් ගූල්ඩ් දැවීයමක් ලෙස සටහන් කරන ලදී. නමුත් DRS අවස්ථාව ලබා ගත් අර්වයින් එය සාර්ථකව ආපසු හැරවීමට සමත් විය. පුනරූපන මගින් පෙන්නුම් කෙරුනේ එය පිත්ත මගහැර යන පන්දුවක් බවයි.

නමුත් මෙම සිදුවීම තම වාසියට පෙරලාගන්නට අර්වයින් සමත් වූයේ නැත. ඒ ඊළඟ පන්දුවාරය දියත් කළ සුරංග ලක්මාල් යැවූ දක්ෂ පන්දුවකට ස්ලිප් හි සිටි දිමුත් කරුණාරත්න රැක ගත් උඩ පන්දුව නිසා ඔහු ලකුණු 64ක් ලබා සිටියදී දැවී ගිය බැවිනි. ඒ වන විට ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සබඳතාවයක් පවත්වා තිබුණි.

ඉන් අනතුරුව සිම්බාබ්වේ ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 80ක් රැස් කරගෙන සිටි බ්‍රයන් චාරී දැවී යන්නේ රංගනගේ විශිෂ්ට පන්දුවක් පිට ඉන්නේ දැවටීම හේතුවෙනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියල්ලන්ම පාහේ බොහෝ උත්සාහ දැරුවත්, ආසන්න අවස්ථා කිහිපයක් උදා වූවා මිස ඔවුන් කිසිවෙකු කඩුල්ලක් දවා ගැනීමට තරම් වාසනාවන්ත නොවන බව පෙනෙන්නට තිබුණි. නමුත් දිවා විවේකයට මොහොතකට පෙර නැවත වරක් ක්‍රියාත්මක වූ රංගන හේරත්, මැල්කම් වොලර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වීමත් සමඟ දිවා විවේකය සඳහා තරගය නතර කෙරිණි.

දෙවැනි සැසියේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 58ක් ලබා සිටි ශෝන් විලියම්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය. ඔහු ඒ වන විට හතරේ පහර 8ක් සමඟින් දිගු ඉනිමකට අඩිතාලම දමා තිබුනු නිසා මෙම කඩුල්ල ශ්‍රී ලංකාව පැත්තෙන් අතිශය වැදගත් විය. කලින් තරගයේ ලකුණු අතරට පැමිණි ග්‍රැහැම් ක්‍රීමර්ව අද ලකුණු 3කට සීමා කිරීමට නැවත වරක් ක්‍රියාත්මක වූ දිල්රුවන් සමත් විය. කඩුලු රකින ක්‍රීඩක පීටර් මුවර්ට අද ලබා ගත හැකි වූයේ ලකුණු 33ක් පමණි.

සිම්බාබ්වේ අවසන් කඩුලු 5 ලකුණු 19ක් තුල බිඳ හෙලූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ ග්‍රහණය සියතට ගන්නට සමත් විය. රංගන හේරත් කඩුලු 5ක් ද දිල්රුවන් පෙරේරා කඩුලු 3ක් ද බිඳ හෙලමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කරන ලදී. රංගන හේරත් අද සියලුම ටෙස්ට් කණ්ඩායම් වලට එරෙහිව කඩුලු 5 බැගින් බිඳ හෙලා ඇති පන්දු යවන්නන් අතරටද පැමිණීමට සමත් විය. මෙම දස්කම මීට පෙර දක්වා තිබුනේ මුත්තයියා මුරලිදරන් සහ ඩේල් ස්ටේන් යන ක්‍රීඩකයින් පමණි. සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රයන් චාරී ලකුණු 80යි.

සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන වරට පන්දුවට පහර දීමට කැදවිය හැකි වුවත් ශ්‍රී ලංකා නායක රංගන හේරත්ගේ තීරණය වූයේ නැවත වරක් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිස සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග සහ ධනංජය සිල්වා ලකුණු 20 සීමාවට ලඟා වීමටත් පෙර දවා ගන්නට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් විය. හුදකලා ඉනිමක නිරත වන දිමුත් කරුණාරත්න පමණක් දිනය නිමාවන විට නොදැවී ලකුණු 54ක් ලබාගෙන ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට යම් ජීවයක් ගෙන දීමට සමත්ව සිටියි. අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන අසේල ගුණරත්න ලකුණු 6යි. මේ වන විට ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 334ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 6ක් අතැතිවයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4): ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, උපුල් තරංග 79, කෞෂාල් සිල්වා 37, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136, හැමිල්ටන් මැසකඩ්සා 2/34.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 82.1): බ්‍රයන් චාරි 80, ක්‍රේග් අර්වයින් 64, ශෝන් විලියම්ස් 58, රංගන හේරත් 5/89, දිල්රුවන් පෙරේරා 3/51, සුරංග ලක්මාල් 2/55.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 102 (පන්දුවාර 40): දිමුත් කරුණාරත්න 54*, උපුල් තරංග 17, ධනංජය සිල්වා 9, කෞෂාල් සිල්වා 6, කාල් මුම්බා 3/31.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට