තියුණු තරගයකින් සුපිරි ජයක් ලද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

331
CRICKET-SRI-WIS 1
AFP PHOTO

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය සඳහා පිවිසීමට දොරගුළු විවර කර දෙමින් තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා – කොදෙව් තරගය අද (23) නිමාවට පත්විය. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව දක්වාම කුතුහලය පිරුණු මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ එක් ලකුණකිනි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය වර්ෂාවට සේදී යයි

බුලවායෝ තණතිල්ල මතදී කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර ඔවුන් ඊට ප්‍රතිචාර දක්වමින් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 330ක් රැස් කරන ලදී. අද දින ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වන්නට තිබූ ශතක දෙකක්ම ශතකය පෙනෙන මානයේදී අවාසනාවන්ත ලෙස අහිමි වී යාම ප්‍රේක්ෂකයින් කණගාටුවට පත්කල කරුණක් බවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරදුන් ආරම්භක පිතිකරු ධනංජය සිල්වා අද ලකුණු 58ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු අද වාර්තා කලේ තම තුන්වැනි අර්ධ ශතකයයි. ඔහු සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් එක්කල නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 94ක් රැස් කලේය. ඔහු අද තම මංගල එක්දින ශතකය අහිමි කරගත්තේ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දර්ශනීයම ඉනිම ක්‍රීඩා කල යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් මනරම් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟ පන්දු 73ක් තුලදී ලකුණු 94ක් වාර්තා කළේය. ඔහුටත් අද තම මංගල එක්දින ශතකය අහිමි වූයේ ලකුණු 6කිනි. පන්දු යවන්නන් අතරින් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 57ට කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

ලකුණු 331ක තරමක් අසීරු ඉලක්කයක් යථාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන්ගෙන් ඉනිම ආරම්භයේ සිටම දැකගත හැකි වූයේ ප්‍රහාරාත්මක පිතිකරණ රටාවකි. එම පහරදීම හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන්ද තරමක් තිගැස්මකට ලක්වූ බව කිවහොත් නිවැරදිය. එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් කොදෙව් ආරම්භක පිතිකරු එවින් ලෙවිස් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 148ක් වාර්තා කළේය. දැවැන්ත පහරවල් රැසකින් සමන්විත වූ ඔහුගේ ඉනිමට පන්දු 122ක් ප්‍රමාණවත් විය.

නමුත් කොදෙව් පිළේ අපරීක්ෂාකාරී කඩුලු අතර දිවීම නිසාම ඔවුන්ගේ පිතිකරුවන් තිදෙනෙක්ම දුවද්දී දැවී යාම් වලට හසුවිය. ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් වූ එවින් ලෙවිස්ගේ කඩුල්ලද ඒ අතර විය. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව තරගය දෙපිළටම සම වාසි හිමිවන අන්දමින් ගලාගෙන ගිය අතර කොදෙව්වන් ලකුණු වේගය වැඩි කරන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඊට කඩුල්ලකින් ප්‍රතිචාර දැක්වූහ.

එබැවින් අවසන් පන්දුවාරය වන විට කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජේසන් හෝල්ඩර්ගෙන් සහ සුලෙයිමාන් බෙන්ගෙන් ලකුණු 10ක් රැක ගැනීමේ වගකීම නායකයා භාර කළේ නුවන් ප්‍රදීප්ටයි. ඔහු යැවූ මුල් පන්දු දෙකට එක් ලකුණක් පමණක් ලබාගත් කොදෙව්වන් තුන්වැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කලේ තරගයේ සියලු වාසි ඔවුන් වෙත අත්පත් කර ගැනීමට සමත් විය. එම හයේ පහර දඟ පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්දියක් උසුලන සුලෙයිමාන් බෙන්ගේ පිත්තෙන් වාර්තා වීම තවත් සුවිශේෂී සිදුවීමකි. තමා අතින් සිදුවූ වරද එක් ක්ෂණයකින් නිවැරදි කරගත් නුවන් ප්‍රදීප් පන්දුවාරයේ පස්වන පන්දුවේදී සුලෙයිමාන් බෙන්ව දවා ගැනීමට සමත් විය. ඒ අනුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට ලකුණු 3ක් ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ පන්දුවට මුහුණ දීමට අවස්ථාව හිමිවූයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ටයි.

නමුත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අමතක නොවෙන සුපිරි තරග අත්දැකීමක් හිමිකර දුන් නුවන් ප්‍රදීප් මැද ඉන්න කෙලින් පැයට කිලෝමීටර 144ක වේගයෙන් යෝකර් පන්දුවක් යවමින් කොදෙව්වන් ලකුණු 329කට සීමා කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟින් ලකුණු සටහනේ මුල් තැන දිනා ගනිමින් නොවැම්බර් 27 වැනිදා බුලවායෝ හිදී පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම නිසා අනිද්දා (25) දිනයේදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගය අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදියා තීරණය කරන උණුසුම් තරගයක් වන බවට දැනටමත් අනාවැකි පළකල හැක.

ශ්‍රී ලංකා – කඩුලු 7ක් දැවී ලකුණු 330 (පන්දුවාර 50): කුසල් මෙන්ඩිස් 94, නිරෝෂන් දික්වැල්ල 94, ධනංජය සිල්වා 58, උපුල් තරංග 26, ජේසන් හෝල්ඩර් 3/57.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 9ක් දැවී ලකුණු 329 (පන්දුවාර 50): එවින් ලෙවිස් 148, ජේසන් හෝල්ඩර් 45*, ජොන්සන් චාල්ස් 26, ශයි හෝප් 25, සුරංග ලක්මාල් 2/67, නුවන් කුලසේකර 2/73.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට