කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් පිටියේ අපේ ක්‍රිකට් ඉතිහාසය

747

වසර 22ක් වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරග සංඛ්‍යාව 17කි. එම තරග අතරින් තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වන අතර තරග 3ක ජයග්‍රහණ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සතු වෙති. අනෙක් තරග 6 ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.  

මේ එකී ඉතිහාසයේ සුවිශේෂී තැන් පිළිබඳව ThePapare.com තබන සටහනකි.

සුබවාදී ආකල්ප සමඟින් සිංහයින් කොදෙව් දේශයට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිකුරාදා (25) රාත්‍රියේ දිවයිනෙන්…

ශ්‍රී ලංකා නායකයෝ

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නායකයන් 7 දෙනෙක් විසින් දරා ඇති අතර ඉන් පළමු ශ්‍රී ලංකා නායකයා වන්නේ අර්ජුන රණතුංග ය. ඔහු නායකත්වය ඉසිලූ තරග සංඛ්‍යාව 3කි. දෙරට පැවති තරගය ජය පරාජයෙන් අවසන්ව ඇති අතර අර්ජුන රණතුංග විසින් මෙහෙයවූ අනෙක් තරග දෙකෙන් එකක් පරාජය වී ඉතිරි තරගය ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.

අනතුරුව නායකත්වයේ වගකීම දරා ඇත්තේ සනත් ජයසූරිය ය. ඔහු ද ටෙස්ට් තරග 3කට නායකත්වය දුන් අතර එම තරග ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. කොදෙව්වන්ට එරෙහි එකී දක්ෂතාවක් කළ පළමුවැන්නා වන්නේ ඔහුය.

හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ද තරග දෙක බැගින් නායකත්වය දරා ඇති අතර ඔවුන් අතුරින් හෂාන් එක් තරගයක් පරාජය වෙමින් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගනිද්දී, මාවන් තරග දෙකම ජයග්‍රහණය කිරීමටත්, මහේල තරගයක ජයග්‍රහණයක් සහ තවත් තරගයක පරාජයක් සමඟින් තරග නිමා කර තිබේ.

කුමාර සංගක්කාර ද තරග 3ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර එම සියලුම තරග නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අවසන් වරට නායකත්වයේ කටයුතු කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහු විසින් නායකත්වය දුන් තරග දෙකම ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා කැඳවා ඇත. ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග…

කණ්ඩායමක වැඩිම සහ අඩුම ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයමට එරෙහිව රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2001 වසරේ දී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී කඩුලු 9කට රැස් කරන ලද ලකුණු 627යි. ඔවුන් මේ සඳහා පන්දුවාර 197ක් වැය කර තිබුණි. එම ඉනිමේ දී හෂාන් තිලකරත්න නොදැවී ලකුණු 204ක් රැස් කළ අතර නායක සනත් ජයසූරිය, කුමාර සංගක්කාර, රසල් ආනල්ඩ් සහ තිලාන් සමරවීර අර්ධ ශතක ලබා ගනිමින් දැවැන්ත ඉනිමක් කරා කණ්ඩායම ගෙන යෑමට දායක වී තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දේශයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වෙන්නේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 476යි. පන්දුවාර 162ක් වැය වූ මෙම ඉනිමේ දී නායක මහේල ජයවර්ධන සහ මලින්ද වර්ණපුර ශතක ලබා වාර්තා කළ අතර මයිකල් වැන්ඩොට්, කුමාර සංගක්කාර සහ චමින්ද වාස් අර්ධ ශතක ලබා ගත්හ.

ශ්‍රී ලංකාව රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2005 වසරේ දී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 150යි. මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම ඉනිම පන්දුවාර 46.1ක දී නිමා වී තිබේ. එසේ වාර්තා පොත් අතරට මෙම තරගය ගිය ද තරගය නිමා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු 240ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

කොදෙව් සංචාරයේ කිසිදු වෙනසක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සඳහා කැරිබියන් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව තිබුණ ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ…

කොදෙව් දේශයේ දී සාන්ත ජෝන්ස් පිටියේ දී 1997 වසරේ දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද ලකුණු 152 ශ්‍රී ලාංකිකයන් විසින් එරට දී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වී තිබේ. මෙම ඉනිම පන්දු වාර 35.0ක දී නිමා වී තිබේ.  

  • කුමාර සංගක්කාර

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 55 දෙනෙක් ටෙස්ට් වරම් දිනා ඇති අතර ඉන් පිතිකරුවෙක් ලෙසින් වැඩිම දක්ෂතා දක්වා ඇත්තේ කුමාර සංගක්කාර ය. ඔහු 2001-2010 තරග සමයේ දී තරග 12කට සහභාගී වෙමින් ඉනිම 19ක දී ලකුණු 918ක් ලබා සිටින්නේය. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් ඇතුලත් වෙන්නේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකිකයන් රැස් කරන ලද ශතක 10න් ශතක 3කම හිමිකාරීත්වය සංගක්කාර සතු කර ගනිමින් ඔවුන්ට එරෙහිව වැඩිම ශතක ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් ද සංගක්කාර ඉතිහාස පොතට එක් වේ. එමෙන්ම ඔවුන්ට එරෙහිව එල්ල කරන ලද වැඩිම හතරේ පහර සංඛ්‍යාවේ හිමිකාරීත්වය ද සංගක්කාර සතු වෙයි. ඒ හතරේ පහර 110කි.

  • හෂාන් තිලකරත්න

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පළමු ශතකය සේ ම රැස් කරන ලද එකම ද්විත්ව ශතකයේ ද ගෞරවය දිනා සිටින්නේ හෂාන් තිලකරත්න ය. එම ඉනිම් දෙකම 2001 වසරේ දී මෙරට දී වාර්තා කිරීමට ඔහු සමත් වෙන්නේ නොදැවී පිටියේ රැඳී සිටිමිනි.

පළමු ශතකය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රැස් කරන හෂාන් තිලකරත්න ඊට සති දෙකක ඇවෑමෙන් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී ද්විත්ව ශතකය වාර්තා කරන්නේ ය. මෙම ඉනිම හෂාන් තිලකරත්නගේ ටෙස්ට් තරග ඉතිහාසයේ හොඳම ද වන්නේ ය. පන්දු 343ක් පුරා දිවගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 23ක් ඇතුලත්ව තිබුණි.

  • මාවන් අතපත්තු

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ දී ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ මාවන් අතපත්තු ය. ඒ 2003 වසරේ දී ය. ඩැරන් සමීගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මාවන් මෙම ශතකය රැස් කළේ සාන්ත ලුසියා හි පිහිටි ඩැරන් සමි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මංගල තරගයේ දී ය.

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි මාවන් අතපත්තු පන්දු 275ක් පුරා පිටියේ රැඳී සිටීමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 118ක් ලබා ගත්තේය.

ශතක රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ

බටහිර ඉන්දීය කොදෙව්වන් එරෙහිව ශතක රැස් කළ ක්‍රීඩකයන් වන්නේ,

දිමුත් කරුණාරත්න (186), කුමාර සංගක්කාර (157*-150-140), දිනේෂ් චන්දිමාල් (151), මහේල ජයවර්ධන (136), තිලාන් සමරවීර (125), මලින්ද වර්ණපුර (120), මාවන් අතපත්තු (118), හෂාන් තිලකරත්න (204*-105*).

  • මහේල ජයවර්ධන

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොදෙව් දේශයේ දී ඉනිමක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙසින් වාර්තා පොත් අතරට එක්ව සිටින්නේ මහේල ජයවර්ධන ය.

ඒ 2008 වසරේ දී ගයානා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ දී පන්දු 234කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් රැස් කළ ලකුණු 136යි. මෙම ලකුණු ප්‍රමාණය එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු වාර්තාවෙහි පළමු ස්ථානය ද ගන්නේය.

එරට දී එවැනි දක්ෂතාවක් කිරීමට මහේල ජයවර්ධන සමත් වූවද මෙරට දී එවැනි ඉනිමක් කරා යෑමට අවස්ථාවක් නොවූණි. එහෙත් ඔහු මෙරට දී කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන ලද ඉහළම ඉනිමේ දී සුවිශේෂී බවක් එක් කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඒ තමන් සහභාගී වී ඇති තරග 149ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 99කට දැවී ගිය පළමු සහ එකම අවස්ථාව කොදෙව්වන් ඉදිරියේ සිදු වීම නිසා ය.

2001 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වූ සිදුවීමේ දී මහේල දුවද්දී දැවී යන්නේ කුමාර සංගක්කාර සමඟ තෙවැනි කඩුල්ලට රැස් කළ ලකුණු 162කින් නිමා කරමිනි.

නෝනත් එකයි, පොල්ලත් එකයි; කාසියේ වාසිය ඉවතට?

කාසියේ වාසිය වසර 141ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු තරගයේ සිටම අප අත්දුටුවකි. ක්‍රිකට් සම්ප්‍රදායේ මූලික අංගයක් වන එය අපට නැවත දැකිය නොහැකි වේවිද? ටෙස්ට් ක්‍රිකට්…

  • මුත්තයියා මුරලිදරන්

ශ්‍රී ලංකාව වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා ලෙසින් ඉතිහාස ගත වන්නේ මුත්තයියා මුරලිදරන් ය.

ආරම්භක තරගයේ සිට තරග 12කට ක්‍රීඩා කර ඇති මුරලිදරන් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 82කි. ඔහු ඒ සඳහා පන්දුවාර 622.3ක් යවා ඇති අතර දී ඇති ලකුණු සංඛ්‍යාව 1609කි. මෙම කඩුලු ප්‍රමාණයෙන් කඩුලු 37ක් ම ලබාගෙන ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී වීම විශේෂ වේ. ඒ අනුව මුරලිදරන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි දී කොදෙව්වන්ට එරෙහිව වැඩිපුරම කඩුලු දවා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාස ගත වන්නේය.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ද මුරලිදරන් ය. ඒ 2005 වසරේ දී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී ලකුණු 46කට කඩුලු 8ක් ලබා ගනිමිනි. මෙය අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමෙහි දෙවැනි තැන ගන්නේය.

බටහිර ඉන්දීය කොදෙව් හිදී ඔවුන්ට එරෙහිව හොඳම පන්දු යැවීමේ හිමිකාරීත්වය දිනා ගන්නේ මුරලිදරන් ය. 1997 වසරේ දී මුරලිදරන් සාන්ත ජෝන්ස් පිටියේ දී පළමු ඉනිමේ දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර දෙවැනි ඉනිමේ කඩුලු 3ක එකතුවත් සමඟින් ලකුණු 106කට ලබා ගත් කඩුලු 8 තරගයක හොඳම ඉනිම ලෙසින් වාර්තා වන්නේය.

  • චමින්ද වාස්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ චමින්ද වාස් ය. ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන් හා 2001 වසරේ දී කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති තරගයේ දී ලකුණු 191කට කඩුලු 14ක් ලබා ගන්නේය. එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 120කට කඩුලු 7ක් ලබා ගන්නා වාස් දෙවැනි ඉනිමේ දී ලකුණු 71කට කඩුලු 7ක් දවා ගන්නේය.

දෙවැනි ඉනිමේ වාස් පෑ දක්ෂතාව ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා පොත් සරසන අතර තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ ද එම තරගයේ දී පෑ දක්ෂතාව ය.

මෙකී දක්ෂතාවලින් හැඩ වුන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග ඉතිහාසය නව මාවතකට ගෙන යන ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියක් ජුනි මස 6 වැනිදා සිට 27 වැනිදා දක්වා බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍යයේ දී පැවැත් වීමට නියමිත ය.

දිවා රාත්‍රී තරගයකින් ද සමන්විත එම තරගාවලියේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට මෙකී දක්ෂතා අභිබවා යෑමට හැකි වේද? ඒ පිළිබඳව අපට අද දවසේ දී අනාවැකි කීමට නොහැකි වූව ද තරගයෙන් තරගයට වන සජීව දක්ෂතා ThePapare.com තුළින් ඔබත් සමගින් බෙදා ගැනීමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<