295න් නැවතු තෙවන ටෙස්ට් තරගයේ ප්‍ර‍ථම දිනය

526
Sri Lanka v South Africa

ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා 19 න් පහල කණ්ඩායම අතර 3 වන යොවුන් ටෙස්ට් තරගය ඊයේ (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු පල්ලෙකැලේ තණතීරුවේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක වියාන් මුල්ඩර් පන්දු යැවීම තෝරා ගන්නා ලදි.

පසුගිය ලිපි: ජාතික කණ්ඩායමේ අනාගත පිත්තට සුදු එලියක්

දකුණු අප්‍රිකා යෞවනයන් හොඳ ආරම්භයක් ලබා ගත්තේ රිකාඩෝ වැස්කොන්සෙලස් සහ ජෝෂුවා වැන් හීඩන් ආරම්භක කඩුල්ලට ගොඩනැගූ ලකුණු 69ක සබඳතාව හේතුවෙනුයි. මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම, සහ උප නායක සම්මු අශාන් ලකුණු 29ක් තුළ කඩුළු 3 ක් දවාගත්තේ ලකුණු පුවරුව 98/3 ක් ලෙස සටහන් කරමිනි. ප්‍රවීන් ලකුණු 22ක් ලබා සිටි වැන් හීඩන් සහ ජෙරොම් බෝසර් දවා ගැනීමට සමත් විය. අශාන් ලකුණු 56ක් ලබා සිටි වැස්කොන්සෙලස්ගේ ඉනිම අවසන් කරන්නට සමත් වුනා.

මේ තරගාවලියේ ලකුණු අතර සිටි රේනාඩ් වැන් ටොන්ඩර්, නායක මුල්ඩර් සමග එක්වී 4වන කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. ප්‍රවීන් මේ සබඳතාවත් බිඳ දැමුවේ තම 3 වන කඩුල්ල ලෙස රේනාඩ්ව ලකුණු 48 කට නැවත ක්‍රීඩාගාරය වෙත යවමිනුයි. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ තිලංග උදේශාන් තම මංගල යොවුන් ටෙස්ට් කඩුල්ල ලෙස දකුණු අප්‍රිකා නායකයා දවා ගත්තේ ලකුණු 66 කටයි.

ජෙසී ක්‍රිස්ටෙන්සන් පසුපෙළ පිතිකරුවන් සමග රැදී සිටිමින් වේගවත් ලකුණු 67 ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගිනි. මරදාන ශා. ජෝසප් විදුහල් තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් අගනා කඩුලු 3ක් දවා ගත්තේ ශ්‍රී ලංකාවට බලාපොරොත්තු එක් කරමිනි.

පසුගිය ලිපි: පැතුම් ගේ පැතුම් පිත්ත පත්තු වෙයි

කෙසේ වෙතත් කඩුළු 8කට ලකුණු 295ක් ලබා සිටියදී දකුණු අප්‍රිකා යෞවනයන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ, දිනයේ අවසන් පන්දුවාර කිහිපය තුළ ශ්‍රී ලංකා කඩුල්ලක් දවා ගැනීමේ අරමුණ ඇතිවයි. නමුත් ආරම්භක පිතිකරුවන් වගකීම් සහගතව එම අභියෝගය ජය ගන්නට සමත් වුනා.

අද (04) තරගයේ දෙවන දිනයයි.

දකුණු අප්‍රිකා 19න් පහළ – 295/8 (පන්දුවාර 84.1) : ජෙසී ක්‍රිස්ටෙන්සන් – 67, වියාන් මුල්ඩර් – 66, රිකාඩෝ වැස්කොන්සෙලස් – 56, රේනාඩ් වැන් ටොන්ඩර් – 48, ජෙහාන් ඩැනියල් – 3/53, ප්‍රවීන් ජයවික්‍රම – 3/95

ශ්‍රී ලංකා 19න් පහළ – කිසිවෙක් නොදැවී ලකුණු 7 යි. (පන්දුවාර 5)

මේ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් තවත් කඩුළු 10ක් අතැතිව දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා ලකුණු 288ක් පසුපසින් සිටිනවා.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට