ලහිරු කුමාරගේ වේග පන්දුවෙන් දකුණු අප්‍රිකානුවන්ට තර්ජනයක්

3486
Sri Lanka vs South Africa

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (19) දිනය ගෙවී ගියේ පන්දුවට සහ පිත්තට සමතැන් හිමිකර දෙමිනි. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලියස් ඩූ ප්ලෝයි බිඳ වැටෙමින් තිබූ දකුණු අප්‍රිකා ඉනිම නැවත ගොඩනැගූ අයුරු කැපී පෙනුණි. නමුත් ලහිරු කුමාරගේ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානුවන්ගේ හඹා යෑම එතරම් සාර්ථක වූයේ නැත.

පසුගිය ලිපි: දිමුත් සහ කෞෂාල්ගෙන් ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක්

ඊයේ දිනය නිමාවන විට කඩුලු 6කට ලකුණු 328ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 373ක් දක්වා ඔසවා තබන්නට ධනංජය සිල්වා ප්‍රමුඛ පසුපෙළ පිතිකරුවන් අද සමත් විය. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය සිල්වා හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් වාර්තා කර සිටියදී ඔලිවියර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය.

නිමාවූ සිම්බාබ්වේ සංචාරයේදී නායකත්වයද ඉසිලූ උපුල් තරංගට මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 20ක් පමණි. එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු බලාපොරොත්තුව වන රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා අද පිත්තෙන් ලකුණු 13 බැගින් රැස් කළහ. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක ඵල නෙලාගත් ඩුවාන් ඔලිවියර් ලකුණු 54කට කඩුලු 4ක් බිඳ හෙලීය. ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු කිහිපයේම හිමිකරු බවට පත්වූ ජෝර්ජ් ලින්ඩ් සිය පන්දු යැවීම නිමා කළේ ලකුණු 85ට කඩුලු 3ක් වශයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගත් පිතිකරණ සාර්ථකත්වය නිසාම යම් තරමක පීඩනයකින් යුතුව පිති හරඹයේ යෙදීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවිය. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය අද ලකුණු අතරට පිවිසීමට අසමත් වූ අතර දකුණු අප්‍රිකානු ඉනිම එකට එක්කාසු කොට තබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට තවමත් 21 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු වන ලියස් ඩු ප්ලෝයි සමත් විය. පන්දු 159කට ලකුණු 142ක් ලෙස සටහන් වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 25ක් අන්තර්ගත වූ අතර පන්දුවට පහර දීමේ වේගය 89.30 වැනි ඉහළ අගයක රඳවා ගැනීමටද ඔහුට හැකි විය. ඔහු හැරුණු කොට ලකුණු 25 සීමාවට පවා ලඟා වීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණි. ඒ කායා සොන්ඩෝ සහ දිනය නිමාවන විටත් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ජෝර්ජ් ලින්ඩ් පමණි. ඒ අනුව දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වන විට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 285ක් ලකුණු පුවරුව මත සටහන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත වේග පන්දු බලාපොරොත්තුවක් වන 19 වියැති ලහිරු කුමාර ලකුණු 36ට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැඟින් බිඳ හෙලූහ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ටෙස්ට් ජයග්‍රහණයන් රැසක් පසුපස සිටින මහා පොදු සාධකය වන රංගන හේරත්ට අද දිනයේ එකදු කඩුල්ලක් හෝ හිමි නොවීම විශේෂත්වයකි. එසේම ආබාධයකට ලක්ව සිට සුවය ලබා නැවතත් කණ්ඩායම සමඟ එක්වුණු දුෂ්මන්ත චමීරට සහ ප්‍රථම වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම් වුණු විකුම් සංජයටද මේ වන තෙක් කඩුලු දඩයම ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

දින තුනකින් සමන්විත පුහුණු තරගයේ දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වන විට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තවත් කඩුලු 2ක් අතැතිව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 88ක් පිටුපසින් පසුවේ. හෙට තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 98.5): කෞෂාල් සිල්වා 80, කෞෂාල් සිල්වා 71, ධනංජය සිල්වා 62, කුසල් මෙන්ඩිස් 51, කුසල් ජනිත් පෙරේරා 25, දිනේෂ් චන්දිමාල් 23, ඩුවාන් ඔලිවියර් 4/54. ජෝර්ජ් ලින්ඩ් 3/85, ජේසන් ස්මිත් 1/37,

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 285 (පන්දුවාර 67): ලියස් ඩු ප්ලෝයි 142, කායා සොන්ඩෝ 25, ජෝර්ජ් ලින්ඩ් 25*, ලහිරු කුමාර 3/36, ඇන්ජෙලෝ මැතිව්ස් 2/15, දිල්රුවන් පෙරේරා 2/22, නුවන් ප්‍රදීප් 1/37.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට