දකුණු අප්‍රිකානුවන්ගෙන් ලත් පරාජයන් වැලේ අල ගිය මුල ගිය තැන්

413

ඒ 2014 වසරේ ඇසළ මාසයයි. මේ වසරේ ද ඇසළ මාසය යාන්තම් ගෙවී ගියා පමණයි. කාලය අවුරුදු 4ක්. එදාත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයයි. මෙදාත් එය එසේ ම සංවිධානය වුනා. එදා පැවති තරගාවලියේ තෙවැනි තරගයේ සිට මෙදා තරගාවලියේ පැවති තෙවැනි තරගය දක්වාම දකුණු අප්‍රිකානුවෝ පරාජය කිරීමට අපට හැකි වුනේ නැහැ. ගණනින් තරග 11ක්. මේ ThePapare.com ඒ අතීතයට ගිය ගමනේ සොයාගත් දේ.  

‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ

“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා ඇති මෙය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය බැව් දැන් හැඟී යයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු පවුලකට අයත් නැත.

තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු තරගයෙන් පරාජය වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැලේ දී පැවති දෙවැනි තරගය ජය ගත්තේ ලකුණු 87කින්. සංචාරකයෝ ලැබූ ඒ පරාජයෙන් හෂීන් අම්ලාගේ ශතකයක් ද අපතේ ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නට ඩිල්ෂාන් තිලකරත්න සමත් වුනා. ඊට අමතර ව ලසිත් මාලිංග පන්දු යැවීමෙන් සුපිරි සහයෝගයක් ලබා දුන්නා.

ඒ ජයග්‍රාහී මතකය අපට අවුරුදු 4ක් තිස්සේම පෙට්ටගමේ දා වරින් වර එළියට ගෙන බලා සැනසීමට පමණක් හේතු වුනා. ඒ මතු සඳහන් එක දිගට පැවති තරග පරාජයන් හේතුවෙන්.  

පළමු පරාජිත තරගය

2014 ජූලි 12

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

දකුණු අප්‍රිකාවට ලකුණු 82ක ජයක්

—————————————

දකුණු අප්‍රිකාව; කඩුලු 5ක් දැවී 339 ( 50.0) ක්යින්ටන් ඩි කොක් 128, ඒ.බී. ඩි විලියර්ස් 108, රංගන හේරත් 2/48

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 257 ( 44.3) ඇන්ජලෝ මැතිව්ස් 58, රයන් මැක්ලරන් 3/37

තරගයේ වීරයා : ඒ. බී. ඩී. විලියර්ස්

මේ පරාජයේ දී ඩි කොක් සේ ම නායක ඩිවිලියර්ස් ශතක ලබා ගනිමින් අපේ ක්‍රීඩකයන් හෙම්බත් කළා. පළමු කඩුල්ල වෙනුවෙන් හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක් ලකුණු 118ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙහෙසට පත් කළා. අනතුරුව නායක ඒ. බී. ඩි විලියර්ස් සහ ජේ. පී. ඩුමිනි එක්ව සිව්වැනි කඩුල්ලට ද ලකුණු 80ක් එක් කළා.  

පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා නායක මැතිව්ස්  හැරෙන්නට අනෙක් පිතිකරුවන්ට මේ දැවැන්ත ඉලක්කය පසුපස යෑමේ දී අවශ්‍ය දායකත්වය දැක්වීමට හැකි වුනේ නැහැ.

තරගාවලියේ අවසන් තරගය ජය ගත් සංචාරකයෝ තරගාවලිය ද 2-1ක් සේ ජය ගත්තා. තරගයේ වීරයා ලෙසින් සංචාරක නායකයා නම් කෙරෙන අතර තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා හේතුවෙන් අම්ලා තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණා.

දෙවැනි පරාජිත තරගය

2015 මාර්තු 18

සිඩ්නි  ක්‍රිකට් ක්‍රීඩාංගණය, නිව්සවුත්වේල්ස්

දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

————————————-

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 133 (37.2) කුමාර සංගක්කාර 45, ඉම්රාන් තාහිර් 4/26

දකුණු අප්‍රිකාව; කඩුල්ලක් දැවී 134 (18.0) ක්යින්ටන් ඩි කොක් නොදැවී 78

තරගයේ වීරයා : ඉම්රාන් තාහීර්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගය වූයේ මෙම තරගයයි. පළමු පරාජයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර තරග 28කට පසුව දකුණු අප්‍රිකානුවෝ හමුවෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරගවලින් ජයග්‍රහණයන් වාර්තා කර සිටියේ තරග 13ක් පමණයි. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී අනෙක් තරග සියල්ල පරාජය වී සිටියා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඒ වන විට පරාජය වී සිටියේ ඕස්ට්‍රේලියාවට පමණයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය සහ ස්කොට්ලන්තය පරාජය කර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සෑම කෙනෙක්ම පාහේ ලකුණු අතරත් සිටියා. විශේෂයෙන‍ෙම කුමර් සංගක්කාර දකුණු අප්‍රිකාව හා තරගයට පෙර පැවති තරග හතරේ දී ශතක ලබා ගනිමින් සිටීම නිසා බොහෝ දෙනෙක්ගේ මතය වූයේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව පරාජය කරනු ඇතැයි කියා ය.

සුපුරුදු ලෙසින්ම මැතිව්ස් සහ ඩිවිලියර්ස් කණ්ඩායම් දෙකේ නායකයන් වී සිටියා. ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යෑමට තිබූ තීරණාත්මක තරගයක් වූවද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයේ දී දැක්වූ අදක්ෂතා පාසල් තෙවැනි පෙළ තරගයකටත් වඩා දරුණු වුනා. පෙර තරගයන් හී දක්ෂතා ද එම තරගය නිසා අවතක්සේරු වුනා. එම තරගය එකී ලෝක කුසලානයේ දුර්වලම තරගය බවට ද පත් වුනා. ජයග්‍රාහකයන් ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 18කින්. වැය කළේ එක් කඩුල්ලක් පමණයි.

ශ්‍රී ලංකාව මෙම තරගයේ දී රැස්කළ ලකුණු 113 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව තරගයක දී වාර්තා කළ අඩුම ලකුණු ප්‍රමාණයේ දෙවැනි තැන ගත්තා. ඊට පෙර 2011 වසරේ දී පාකිස්තානය ඉදිරියේ කොදෙව්වන් ලබා ගත් ලකුණු 112 පළමු තැනේ සිටියා.

තෙවැනි පරාජය

2017 ජනවාරි 12

සාන්ත ජෝර්ග්ස් පාක්,පෝර්ට් එලිසබෙත්

දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්

————————————

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 181(48.3) කුසල් මෙන්ඩිස් 62, ඉම්රාන් තාහිර් 3/26

දකුණු අප්‍රිකාව; කඩුලු 2ක් දැවී 185 (34.2) හෂීම් අම්ලා 57, ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී 55, අසේල ගුණරත්න 1/19

තරගයේ වීරයා : ඉම්රාන් තාහිර්

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්දින ජාත්‍යන්තර තරග 30කට ක්‍රීඩා කළ පසු නැවත දකුණු අප්‍රිකාව සමගින් තරගාවලියකට සහභාගී වෙන්නේ 2017 සීතල දුරුත්තේ. ඒ තරග 5ක සංචාරයක් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ යෙදෙමින්.

ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියට සහභාගී නොවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග වෙත හිමිව තිබුණා. එමෙන්ම මේ වෙද්දී අවසන් වරට දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ කණ්ඩායමට සාපේක්ෂව බොහෝ වෙනස්කම් කණ්ඩායමේ සිදුව තිබුණා. කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් වැන්නෝ තරග පිටිය හැර ගොස් සිටියා.

තරගාවලියේ පැවති පළමු තරගයේ දී ආරම්භක වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකාවේ 177 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රීඩකයා වීමේ වරම් ලබා ගත්තා.   

සිව්වැනි පරාජය

2017 පෙබරවාරි 01

කිංග්ස්මේඩ්, ඩර්බන්

දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ජයක්

—————————————

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 307 (50.0) ෆෆ් ඩු ප්ලෙසිස් 105, ඩේවිඩ් මිලර් 117, සුරංග ලක්මාල් 2/54

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 186 (37.5) දිනේෂ් චන්දිමාල් 36, ඉම්රාන් තාහිර් 2/26

තරගයේ වීරයා : ෆෆ් ඩු ප්ලෙසිස්

මෙම තරගයේ ප්‍රතිඵලයට ඩු ප්ලෙසිස් සහ මිලර් විසින් රැස් කරන ලද ශතකයන් වඩාත් හේතු වුනා. ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට එක් කළ ලකුණු 117ක සබඳතාව අපේ ක්‍රීඩකයන්ට දරා ගැනීමට නොහැකි වුනා. අනෙක් අතට කඩුලු 4ක් දැවී ලකුණු 108ක්ව තිබූ දකුණු අප්‍රිකා ඉනිම මේ සා දිගු ඉනිමක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම ද හේතු වුනා.

ඉලක්ක ගත ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පරාජය කෙරෙහි බෙහෙවින් බලපෑ අතර ඒ අතුරින් යම් තරමකින් හෝ සාර්ථක වූයේ චන්දිමාල් පමණයි.

පස් වැනි පරාජය

2017 පෙබරවාරි 4

ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණය

දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්

————————————-

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 163 (39.2) නිරෝෂණ දික්වැල්ල 74, ඩිවයින් ප්‍රිටෝරියස් 3/19

දකුණු අප්‍රිකාව; කඩුලු 3ක් දැවී 164 (32.0) ඒ. බී. ඩි විලියස් නොදැවී 60, ලහිරු මධුශංක 1/15

තරගයේ වීරයා : ඩිවයින් ප්‍රිටෝරියස්

මෙම තරගයේ දී 178 වැනි සහ 179 වැනි අංක යටතේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලෙසින් පිළිවෙළින් දකුණතින් වේග පන්දු යවන ලහිරු කුමාර සහ එම කර්තව්‍යම කරන ලහිරු මධුශංක ද කණ්ඩායමට කැදවූවා.

මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 163 ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ තෙවැනි තැන ගත්තා. ඊට ප්‍රථමයෙන් 1998 දී ලකුණු 105කට ද 2002 වසරේ දී ලකුණු 128කට ද ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගොස් තිබුණා.

නොදැවී ලකුණු 60ක් ලබා ගත් ඩිවිලයර්ස් තමන්ගේ එක්දින ජාත්‍යන්තර දිවියේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 100.85ක් බවට පත් කර ගැනීමට මෙම තරගයේ දී හැකි වුනා.

හයවැනි පරාජය

2017 පෙබරවාරි 7

නිව්ලන්ඩ්ස්, කේප් ටවුන්

දකුණු අප්‍රිකාවට ලකුණු 40ක ජයක්

—————————————

දකුණු අප්‍රිකාව; කඩුලු 5ක් දැවී 365 (50.0) ෆෆ් ඩු ප්ලෙසිස් 185, ඒ. බී. ඩි විලියර්ස් 64, ක්යින්ටන් ඩි කොක් 55, සචිත් පතිරණ 2/55

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 327 (48.1) උපුල් තරංග 119, නිරෝෂණ දික්වැල්ල 58, සඳුන් වීරක්කොඩි 58, වෙන් පනෙල් 4/58

තරගයේ වීරයා : ෆෆ් ඩු ප්ලෙසිස්

පෙරහැර ගිය පසු අඩව් අල්ලන්ට ලෑස්ති අපේ ක්‍රීඩකයෝ පෙර තරගයේ දී 0-3ක් ලෙසින් තරගාවලිය පරාජය වෙමින් පැවැති පළමු තරගයේ දී ඇදහිය නොහැකි දක්ෂතාවන්වලට පිවිසියා. තරගාවලියේ ප්‍රථම වරට අපේ ක්‍රීඩකයෝ ලකුණු 20 ඉක්ම වීමට සමත් වුනා.

එමෙන් ම දකුණු අප්‍රිකානුවෝ රැස් කළ ලකුණු 365 එම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු බවට පත් වුනා. ඊට පෙර එහි වාර්තාව තිබුණේ 2001 වසරේ දී කෙන්යාවට එරෙහිව රැස් කළ කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 354යි.

එමෙන් ම ඩු ප්ලෙසිස් ලබා ගත් ලකුණු 185 දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් වාර්තා වූ හොඳම පෞද්ගලික ඉනිම් හී දෙවැනි තැන ගැනීමට සමත් වුනා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ග්‍රේ ක්‍රිස්ටීන් නොදැවී රැස් කරන ලද ලකුණු 188 දකුණු අප්‍රිකාවේ හොඳම පෞද්ගලික ඉනිම වෙනවා. ඩු ප්ලෙසිස් ගේ ඉනිම ඔහුගේ තරග දිවියේ හොඳම ඉනිම බවට පත් වී අදටත් රැඳී තිබෙනවා.

සඳුන්ගේ මංගල අර්ධ ශතකය වෙන්නේ මෙම තරගයේ දී වාර්තා වෙනවා.

හත් වැනි පරාජය

2017 පෙබරවාරි 10

සුපර් ස්පෝර්ට් පාර්ක්, සෙන්චූරියන්

දකුණු අප්‍රිකාවට ලකුණු 88ක ජයක්

—————————————

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 384 (50.0) ක්යින්ටන් ඩි කොක් 109, හෂීම් අම්ලා 154, සුරංග ලක්මාල් 3/71

ශ්‍රී ලංකාව; කඩුලු 8ක් දැවී 296 (50.0) අසේල ගුණරත්න නොදැවී 114, සචිත් පතිරණ 56, ක්‍රිස් මොරිස් 4/31

තරගයේ වීරයා : හෂීම් අම්ලා

මෙම ජයග්‍රහණයත් සමඟින් දකුණු අප්‍රිකාව ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පළමුවැන්නන් බවට පත් වූ අතර ඔවුන් රැස් කරන ලද ලකුණු 384 එම ක්‍රීඩාංගණයේ රැස් කරන ලද දෙවැනි හොඳම ඉනිම බවටත් පත් වුනා. එහි වාර්තාව වෙන්නේ 2007 වසරේ පාකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකානුවෝ කඩුලු 6ක් දැවී රැස් කරන ලද ලකුණු 392යි.

අසේල ගුණරත්න තම එක්දින තරග දිවියේ මංගල ශතකය වාර්තා කළේ මෙම තරගයේ දීයි. අම්ලා රැස් කරන ලද ලකුණු 154 ඔහුගේ තරග දිවියේ දෙවැනි තැන් හී ගැනෙන තරගය වුනා.

තරගාවලියේ වීරයා බවට පත් වුණේ ෆෆ් ඩු ප්ලෙසිස්.

අටවැනි පරාජය

2017 ජුනි 3

කෙනින්ටන් ඕවල්, ලන්ඩන්

දකුණු අප්‍රිකාවට ලකුණු 96ක ජයක්

—————————————

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 299 (50.0) හෂීම් අම්ලා 103, ෆෆ් ඩු ප්ලෙසිස් 75, නුවන් ප්‍රදීප් 2/54

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 203 (41.3) උපුල් තරංග 57, ඉම්රාන් තාහිර් 4/27

තරගයේ වීරයා : ඉම්රාන් තාහිර්

පෙර තරගාවලියෙන් පසුව නැවත දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හමු වෙන්නේ මාස 3කට පමණ පසුව පැවැති අයි. සී. සී. තරගාවලියේ දී. ඒ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශය සමගින් තරග 3කින් යුත් තරගාවලියකට සහභාගී වී 1-1ක් ලෙසින් සම වී සිටියා.

නවවැනි පරාජය

2018 ජුලි 29

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

————————————

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 193 (34.3) කුසල් පෙරේරා 81, කගීසෝ රබාඩා 4/41

දකුණු අප්‍රිකාව ; කඩුලු 5ක් දැවී 196 (31.0) ජේ. පී. ඩුමිනි නොදැවී 53, අකිල දනංජය 3/50

තරගයේ වීරයා: තබ්‍රයිස් ශම්සි

දකුණු අප්‍රිකාව සමගින් සහභාගී වූ පෙර තරගයෙන් පසුව තරග 25කට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 7ක් පමණක් ජයග්‍රහණය කරමින් මෙම තරගයට සහභාගී වුනා. ඒ තරග 5කින් සමන්විත තරගාවලියකටයි.

පෙර තරගයේ නායකත්වයන් වෙනස් වී මෙම තරගවල දී නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් සහ ෆෆ් ඩු ප්ලෙසිස් වෙත හිමිව තිබුණා.

දස වැනි පරාජය

2018 අගෝස්තු 1

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්

————————————-

ශ්‍රී ලංකාව; කඩුලු 8ක් දැවී 244 (50.0) නිරෝෂණ දික්වැල්ල 69, ඇන්ජලෝ මැතිව්ස් 79, ඇන්ඩිල් පෙලුක්වායෝ 3/45

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 246 (42.5) ක්යින්ටන් ඩි කොක් 87, අකිල දනංජය 3/60

තරගයේ වීරයා : ක්යින්ටන් ඩි කොක්

මෙම තරගයේ දී ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ කසුන් රාජිතට වරම් ලැබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා පිළිවෙළින් 187 වැනි සහ 188 වැනි ක්‍රීඩකයන් බවට පත් වෙනවා.

සුරංග ලක්මාල් විසින් ඩේවිඩ් මිලර් දවා ගනිමින් තමන්ගේ එක්දින තරග දිවියේ ශතක කඩුල්ල වාර්තා කිරීමට සමත් වෙන්නේ මෙම තරගයේ දී යි.

එකොළොස් වැනි පරාජය

2018 අගෝස්තු 5

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දකුණු අප්‍රිකාවට ලකුණු 78ක ජයක්

—————————————

දකුණු අප්‍රිකාව; කඩුලු 7ක් දැවී 363 (50.0) හෂීම් අම්ලා 59, රීසා හෙන්ඩ්‍රික්ස් 102, ජේ. පී. ඩුමිනි 92, ඩේවිඩ් මිලර් 51, තිසර පෙරේරා 4/75

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 285 (45.2) ධනංජය ද සිල්වා 84, ලුන්ගි නිගිඩි 4/57

තරගයේ වීරයා: රීසා හෙන්ඩ්‍රික්ස්

තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී දකුණු අප්‍රිකානුවෝ 3-0ක් ලෙසින් ඉතා ලෙහෙසියෙන්ම තරගාවලියේ ඉදිරියට පැමිණියා. තරගයේ වඩාත්ම කැපී පෙණෙන ක්‍රීඩකයා වුනේ එක්දින වරම් හිමිකර ගත් රීසා හෙන්ඩ්‍රික්ස්. ඔහු මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කෝඩුකාර ක්‍රීඩකයෙක් ඉතා වේගයෙන් රැස් කරන ලද ශතකය රැස් කළා. ඒ පන්දු 88කින්.

ධනංජය ද සිල්වා රැස් කරන ලද ලකුණු 84 තමන්ගේ එක්දින දිවියේ හොඳම ඉනිම වුනා.

  • පරාජයන් වැලට තිත තැබීම

ඉන්ෙපසුව පැවැති තරගය ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරග ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුනා. එතෙක් තරග 11ක් පිට පිට පිරාජය වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැලේ දී අගෝස්තු 8 වැනි දා පැවැති තරගයෙන් තියුණු අවසානයකින් අනතුරුව ලකුණු 3කින් ජය ගන්නවා.

මේ ලැබූ ජයග්‍රහණය තව දුරටත් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශක්තිය ලැබේවායි අපේ පැතුමයි.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<