තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව සටනක් දී පරාජය වෙයි

264
Sri Lanka v South Africa 4th ODI report

දකුණු අප්‍රිකාව සමඟ පැවති සිව්වැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාවට ජය මාවත සොයා ගැනීමට නොහැකි වුවද කලින් තරග තුනේදීම නොතිබුණු ආකාරයේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් ඊයේ (08) ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දක්නට ලැබුණි. ඒ අනුව ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔවුන් පරාජය ලැබුවේ ලකුණු 40කිනි.

ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ආරම්භය විශාල පරාජයකින්

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායම, අද පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පවතී පළමු තරගයේදීම ඉන්දියාව හමුවේ ලකුණු 114කින් පරාජයට පත්විය.

කේප්ටවුන් තණතීරුව මතදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගත්තේ නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳ සංග්‍රහයක් කිරීමේ සූදානමෙනි. ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලකුණු 3කදී බිඳ වැටුනද නමගිය පිතිකරුවන් සය දෙනෙකු සහිත දකුණු අප්‍රිකානුවන් තම අරමුණ වෙනස් කලේ නැත. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 50ක් ගතවන තැන ලකුණු 367ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නේ ඒ අනුවයි.

ෆැෆ් ඩූ ප්ලෙසිස් ඊයේ තම එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 185ක් රැස් කළේය. ඔහු සමඟ එකතු වී ශතක සබඳතාවයකට මුලපිරූ නායක ඩිවිලියර්ස් ලකුණු 64ක් රැස් කළේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 30ට වඩා රැස්කල පිතිකරුවන් සියලු දෙනාම පන්දුවට පහර දීමේ වේගය 100ට වැඩියෙන් තබාගෙන තිබුනේ වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාව යනු කුමක්දැයි මනාව අවබෝධ කොට ගනිමිනි. ප්‍රතිවාදීන්ගේ දරුණු ප්‍රහාරයෙන් ආරක්ෂා වුනු එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙස සචිත් පතිරණ තම පන්දුවාර 10 තුලදී ලකුණු 55ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙලීය.

දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ලකුණු 368ක අති දැවැන්ත ඉලක්කය හඹා යෑමට නම් ශ්‍රී ලංකාවට වාර්තා බිඳ වැටෙන ආකාරයේ සුපිරි පිතිකරණයක යෙදීම ‍අත්‍යාවශ්‍යව පැවතුණි. එවන් හඹා යාමකට උචිත ආකාරයේ විශිෂ්ට ආරම්භයක් ලබා දුන් තරංග සහ දික්වැල්ල ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 136ක ප්‍රවේගකාරී සබඳතාවයක් නිර්මාණය කළහ. එතැන් පටන් තරංග සමඟින් පිටියේ එක්වුනු කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 203කට එක් කඩුල්ලක් වනතෙක් ඉහළ නැංවීමට සමත් විය. තරගය සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙන්නේ එතැන් සිටයි. සාර්ථක ආරම්භය සුපිරි අවසානයක් කරා රැගෙන යාමට සිටි මැදපෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යාම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 327කින් සෑහීමකට පත්වීමට සිදුවිය.

ඉතාමත් අසීරු ඉලක්කයක් යථාර්ථයක් බවට පත්කිරීමට දැඩි සටනක් ලබා දුන් නායක උපුල් තරංග හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 119ක් රැස් කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 58යි. ඉනිමේ අවසන් භාගයේදී පිටියට පිවිසි සඳුන් වීරක්කොඩි තම මංගල එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 58ක් රැස් කළත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. අවශ්‍ය කරන ලකුණු වේගය ද පාලනය කරගෙන ඉනිමක් ඇදගෙන යාමට හැකි දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු ශ්‍රී ලංකාව සතු නොවීමේ අඩුව තරගය පුරාවට කැපී පෙනුණි.

පන්දු යැවීමේදී වේන් පාර්නෙල් ලකුණු 58කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර රබාඩා, තහීර් සහ ප්‍රිටෝරියස් අතරේ ඉතිරි කඩුලු 6 බෙදී ගියේය. තරගයේ වීරයා සම්මානය කලාතුරකින් දැකිය හැකි ආකාරයේ විශිෂ්ට එක්දින ඉනිමක් ක්‍රීඩා කල ෆැෆ් ඩූ ප්ලෙසිස්ට හිමිවිය. දෙරට අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා (10) සෙන්චූරියන් හිදී ආරම්භ වේ.

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 367 (පන්දුවාර 50): ෆැෆ් ඩූ ප්ලෙසිස් 185, ඒ. බී. ඩිවිලියර්ස් 64, ක්වින්ටන් ඩි කොක් 55, ෆර්හාන් බිහාර්ඩියන් 36*, ජේ. පී. ඩුමිනි 20, සචිත් පතිරණ 2/55, ලහිරු කුමාර 2/73, ලහිරු මධුශංක 1/69.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 327 (පන්දුවාර 48.1): උපුල් තරංග 119, නිරෝෂන් දික්වැල්ල 58, සඳුන් වීරක්කොඩි 58, අසේල ගුණරත්න 38, කුසල් මෙන්ඩිස් 29, වේන් පාර්නෙල් 4/58, කාගිසෝ රබාඩා 2/50, ඩ්වේන් ප්‍රිටෝරියස් 2/55, ඉම්රාන් තහීර් 2/76.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට