සඳකැන් සහ මැතිව්ස් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරගුළු විවරකරයි

573
Sri Lanka v South Africa 2nd T20 report

දීර්ඝ කාලයක සිට පැවති පරාජයේ ඉඩෝරය නිමා කරමින් අද (22) දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරට ජයග්‍රහණයේ වැසි පතිත විය. ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගයටයි. අවසන් පන්දුවාරය තෙක්ම ඇදී ගිය එම උණුසුම් තරගය කඩුලු 3කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගෙන ඒමට සමත් විය.

දකුණු අප්‍රිකාවේදී ජය සොයන මෙහෙයුම තවදුරටත් අසාර්ථකයි

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගන්නට නව මුහුණුවරකින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් සමත් විය.

සාමාන්‍ය දකුණු අප්‍රිකානු තණතීරුවකට වඩා මන්දගාමී, දඟ කැවීමක් සහිත තණතීරුව මතදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නව නායක ෆර්හාන් බිහාර්ඩියන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීම තමන් සතුකර ගත්තේ කලින් තරගයේදී මෙන්ම මල්වෙඩි සංදර්ශනයක් අද දිනයේදී ද පෙන්නුම් කිරීමේ බලාපොරොත්තු ඇතිවයි. නමුත් අද තරගය පැවති තණතීරුව එවන් කාර්‍යයක් සඳහා උචිත නොවන බව වැටහෙන විට ඔවුන් ප්‍රමාද වැඩිවී තිබුනි.‍

කල් තියාම තණතිල්ලේ හැසිරීම ගැන අවබෝධ කරගෙන තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් සහ වමත් මද වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කණ්ඩායමට කැඳවා තිබීම ශ්‍රී ලංකාවට සුපිරි වාසියක් සැපයීය. දකුණු අප්‍රිකානුවන් කණ්ඩායමේ කිසිදු වෙනසක් කර නොතිබුණි. මුල සිටම දකුණු අප්‍රිකානුවන්ට සිතුසේ පහරවල් කරා යාමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නිවැරදි ස්ථාන වල පන්දුව පතිත කරමින් පීඩනයක් ගෙන දුන්හ. එහි ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකානු ඉනිම පුරාවට කඩුලු බිඳ වැටීමයි.

ඒ අනුව පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ දකුණු අප්‍රිකානු ඉනිම දැක්වුනේ සියල්ලන්ම දැවී ලකුණු 113ක් වශයෙනි. එය සටහන් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානුවන් රැස්කල අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම ජොහැන්ස්බර්ග් පිටියේ වාර්තා වුනු අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙනි. අසාර්ථක දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් හීනෝ කූන් ලකුණු 29ක් ද, නායක ෆර්හාන් බිහාර්ඩියන් ලකුණු 27ක් ද එක් කළහ. තම මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කල ලක්ෂාන් සඳකැන් දකුණු අප්‍රිකානුවන් සියල්ලම පාහේ සිය පන්දුවෙන් තැතිගන්වමින් ලකුණු 23කට කඩුලු 4ක් දවාලීය. මීට අමතරව කලකට පසු ජාතික කණ්ඩායම සමගින් එක්වුනු ඉසුරු උදාන ද කඩුලු 3ක් බිඳ හෙලමින් දක්ෂතා දැක්වීය.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 114ක පහසු ඉලක්කයක් හිමිවුනු ශ්‍රී ලංකා පිළ එය පහසුවෙන් හඹා යනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කලත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ තත්වයෙන් උසස් පන්දුකරණය නිසාවෙන් එය ක්‍රම ක්‍රමයෙන් අසීරු වන්නට විය. කලින් තරගයේදී ද කැපී පෙනෙන පිතිකරණය නියැලුණු නිරෝෂන් දික්වැල්ල අද පන්දු කිහිපයක්ම හතරේ සීමාවෙන් එපිටට යවමින් සුබවාදී ආරම්භයක් ලබා ගත්තද දකුණු අප්‍රිකාවේ නවක වේග පන්දු යවන්නෙකු වන  ලුන්ගිසානි නගිඩිගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා මුල්පෙළ බිඳ වැටෙන්නට වැඩි කාලයක් ගත නොවීය.

එම අවස්ථාවේ වගකීම කරට ගත් ශ්‍රී ලංකා නායකයා සහ උප නායකයා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 51 තරගයේ තීරණය ශ්‍රී ලංකාවට හිතකර එකක් වීමට අතිශයින්ම වැදගත් විය. නවක පිතිකරුවන් නුපුරුදු තණතීරුවක් මතදී තම කඩුල්ල කැප කරමින් ආපසු ක්‍රීඩාගාරයට හැරී යනවිට පරිණත නායකයෙකු වශයෙන් කඩුල්ලේ රැඳී සිටි ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව ජය කණුව කරා ගෙන යාමට ප්‍රබල උත්සාහයක් දැරීය.

ඒ අතරතුරදී දුවද්දී දැවී යන්නට ගිය අවස්ථාවක් මග හැරීමට යාමේදී ඔහුගේ පාදයේ මස්පිඬු ආබාධය නැවත වරක් උත්සන්න විය. නමුත් පාදයේ වේදනාවට වඩා මිලියන 20ක ජනතාවගේ ජයග්‍රහණයේ ප්‍රීතිය උතුම් කොට සැලකූ ඇන්ජෙලෝ මැතිව්ස් දිගටම කඩුල්ලේ රැඳී සිටියේ තරගය කෙලවර කිරීමට වෙනත් පළපුරුදු පිතිකරුවෙකු ඉතිරිව නොසිටි බැවිනි. කඩුලු අතර දිවීම අපහසු නිසා අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 7 දැවැන්ත හයේ පහර දෙකක් මගින් සපුරාගත් ඇන්ජෙලෝ මැතිව්ස් දිගින් දිගටම ලද පරාජයන් වැලකින් තොලකට වියලී ගොස් තිබූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ව ජයග්‍රහණයේ මීවිතෙන් සැනසීමට සමත් විය. සුපිරි ජයග්‍රහණයක් සමගින් තරගය නිමාවට පත්වන විට නායක ඇන්ජෙලෝ මැතිව්ස් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 54ක් ලබා සිටියේය.

කෙසේවෙතත් මැතිව්ස්ගේ ආබාධයේ තත්වය අනුව ඔහුට සති දෙකක පමණ විවේකයක් අපේක්ෂා කරන බැවින් දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයක පවතී. විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රාහකයින් තීරණය කරන එම උණුසුම් තරගය ලබන බදාදා (25) කේප්ටවුන් හිදී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

දකුණු අප්‍රිකාව – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 19.3): හීනෝ කූන් 29, ෆර්හාන් බිහාර්ඩියන් 27, ආරෝන් ෆන්ගීසෝ 13, ලක්ෂාන් සඳකැන් 4/23, ඉසුරු උදාන 3/13, නුවන් කුලසේකර 2/10.

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 119 (පන්දුවාර 19.4): ඇන්ජෙලෝ මැතිව්ස් 54, නිරෝෂන් දික්වැල්ල 22, දිනේෂ් චන්දිමාල් 22, ලුන්ගිසානි නගිඩි 4/19, වේන් පානෙල් 1/16.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට