අළු මතින් නැගී සිටි ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරදයි

8756
Sri Lanka v Scotland 2nd match report

මීට දින දෙකකට පෙර ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයේ අඳුරු මතකය අද සුපිරි ජයග්‍රහණයක සෙවනැල්ලෙන් වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ කඩුලු 9කින් ස්කොට්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. එහි දී ලක්ෂාන් සඳකැන් පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ අතර කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග පිතිකරණයෙන් සාර්ථක විය.

ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!

එළඹෙන ජූනි මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමඟින් පැවැත්වෙන එක්දින තරග දෙකෙන් පළමු තරගයට…

දෙවැනි වරටත් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා මෙවර තීරණය කරන්නේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ස්කොට්ලන්තයට භාර කිරීමටයි. මීට පෙර පැවති තරගයේ දී මුලින් පන්දුවට පහර දීමට ගොස් ලබාගත් අමිහිරි අත්දැකීම ඊට බොහෝ සෙයින් හේතු විය. ඒ අනුව ශතක දෙකක් රැස් කරමින් කලින් තරගය කණපිට හැරවූ මැතිව් ක්‍රොස් සහ කයිල් කෝට්සර් නැවතත් ස්කොට්ලන්ත ඉනිම ආරම්භ කළේ ඉරු දින සුපිරි ප්‍රහාරයේ පුනරූපනයක් අදත් මවා පෑමේ අටියෙනි.

නමුත් එම සියලු බලාපොරොත්තු බොඳ කරමින් ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සමත් විය. ඒ පසුගිය තරගයේ ලකුණු 118ක් රැස්කළ කයිල් කෝට්සර්ව එක් ලකුණකට දවා ගනිමිනි. මැතිව් ක්‍රොස් ලකුණු 27ක් රැස් කළ ද ඉන් ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකිය යුතු තරමේ තර්ජනයක් එල්ල නොවීය. රිචී බැරින්ටන් (15) සහ කොන් ඩි ලැන්ග් (11) සුපරීක්ෂාකාරී පිතිකරණයක යෙදෙමින් ලකුණු සබඳතාවයක් ගොඩ නැගීමට උත්සාහ කළ ද එම සැලසුම ද ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය හමුවේ ව්‍යර්ථ වී ගියේය.

ඒ අනුව ලකුණු 83ට කඩුලු 7ක් බිඳ වැටී අසරණ වුනු ස්කොට්ලන්තයට යම් තරමක හෝ සහනයක් ගෙන දුන්නේ අංක 6 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ක්‍රේග් වොලස් පමණි. ඒ ස්කොට්ලන්ත ඉනිමට ලකුණු 46ක් එක් කරමිනි. පන්දු 60කින් වාර්තා වුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. කලින් තරගයේ දී පන්දු යවන්නෙකු ලෙසින් දක්ෂතා දැක්වූ ඇලස්ඩෙයාර් එවන්ස් අංක 9 පිතිකරු ලෙසින් පිටියට පිවිස වොලස් සමඟින් එක්වී අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවේය. කෙසේ වෙතත් ප්‍රථම තරගයෙන් හිමිවුණු පරාජයෙන් අනතුරුව නැවතත් අළු ගසා දමා නැගී සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අද ස්කොට්ලන්තයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය. විශේෂයෙන්ම ස්කොට්ලන්ත පසුපෙළ පිතිකරුවන්ට ඔහුගේ පන්දුවල හැසිරීම වටහා ගැනීමට ඉතාමත් අසීරු වූ බව පැහැදිලි විය. මීට අමතරව කලින් තරගයට ක්‍රීඩා නොකළ පා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න සහ නුවන් කුලසේකර අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදී ගියේය.

ඒ අනුව පසුගිය තරගය පරාජය වීම නිසා ඇතිවුණු කළු පැල්ලම වසා ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 167ක පහසු ඉලක්කයක් හිමි විය. එම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දුවාර 22යි පන්දු 5ක් පමණි. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 5ක් සමගින් ලකුණු 29ක් රැස්කර සිටිය දී දැවී යාමෙන් අනතුරුව උපුල් තරංග සමගින් එක්වුණු කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ඉතාමත් පහසුවෙන් ජය කණුව කරා රැගෙන ගියහ.

තරගය නිමා වන විට ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ලබාගෙන සිටියේ ලඟ එන ශූරයින්ගේ කුසලානය පිළිබඳ නැවතත් ක්‍රීඩාලෝලීන්ට සුබ සිහින දල්වාලමිනි. වේගවත් පිතිහරඹයක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කරගත් අතර උපුල් තරංග නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය. පන්දු 51ක් තුල දී වාර්තා වුනු කුසල්ගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. හතරේ පහර 4කින් සහ එක් හයේ පහරකින් හැඩවුණු තරංගගේ ඉනිමට පන්දු 63ක් වැය විය. දැවී ගිය එකම කඩුල්ල ඇලස්ඩෙයාර් එවන්ස්ට හිමි විය.

ඒ සමගින් ස්කොට්ලන්තය සමගින් පැවැත්වුණු පන්දුවාර 50 තරග දෙකම අවසන් වන අතර ශූරයින්ගේ කුසලානයට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ලබාදෙන පුහුණු තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතව ඇත. එහි පළමු තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබන 26 වැනිදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ස්කොට්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 42.1): ක්‍රේග් වොලස් 46, මැතිව් ක්‍රොස් 27,  ඇලස්ඩෙයාර් එවන්ස් 22, රිචී බැරින්ටන් 15, ලක්ෂාන් සඳකැන් 4/39, නුවන් කුලසේකර 2/23, සීක්කුගේ ප්‍රසන්න 2/28, තිසර පෙරේරා 1/36.

ශ්‍රී ලංකාව – එක් කඩුල්ලක් දැවී ලකුණු 170 (පන්දුවාර 22.5): කුසල් මෙන්ඩිස් 74*, උපුල් තරංග 53*, නිරෝෂන් දික්වැල්ල 29, ඇලස්ඩෙයාර් එවන්ස් 1/29.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට

Full Scorecard
Scotland - BattingToss: Sri Lanka
Matthew Crossc Dickwella b Perera27 (32)
Kyle Coetzerc Mendis b Kulasekara1 (10)
Calum MacLoedc Prasanna b Kulasekara4 (9)
Richie Berringtonc & b Prasanna15 (27)
Con De Langec Kapugedara b Sandakan11 (22)
Craig Wallaceb Prasanna46 (60)
Dylan Budgec Tharanga b Sandakan2 (5)
Mark Wattc Dickwella b Sandakan5 (16)
Alasdair Evansc Pradeep b Sandakan22 (39)
Stuart WhittinghamRun Out0 (0)
Gavin MainNot Out10 (15)
TotalExtras (23)166/10 (42.1 overs)
Sri Lanka - BowlingOMRW
Nuwan Kulasekara71232
Nuwan Pradeep80300
Thisara Perera80361
Seekkuge Prasanna9.11282
Lakshan Sandakan101394
Sri Lanka - BattingToss: Sri Lanka
Niroshan Dickwellac Watt b Evans29 (23)
Upul TharangaNot Out53 (63)
Kusal MendisNot Out74 (51)
Dinesh Chandimal
Asela Gunarathne
Chamara Kapugedara
Seekkuge Prasanna
Thisara Perera
Nuwan Kulasekara
Lakshan Sandakan
Nuwan Pradeep
TotalExtras (14)170/1 (22.5 overs)
Scotland - BowlingOMRW
Alasdair Evans60291
Stuart Whittingham50370
Gavin Main30280
Mark Watt40250
Con De Lange3.50330
Dylan Bunge10120