ශ්‍රී ලංකාව හමුවේ පිලිපීනය අසරණ වෙයි

1920
Photo Credits - Tiger Sports Media

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග මැලේසියාවේ ඉපෝ නුවර දී අද (14) ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනයට එරෙහිව තරග බිමට පිවිසුණි. එහි දී පළමු අර්ධය අවසානයේ ලකුණු 11-00ක් ලෙස පෙරමුණේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 24-13ක් ලෙස තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මැලේසියාවට

ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම ඊයේ රාත්‍රියේ මැලේසියාව බලා පිටත්ව ගියේය. පසුගිය තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරයින් වූ මැලේසියාවට මෙවරද පළමු කාණ්ඩයේ තරග පැවැත්වීමේ සත්කාරකත්වය හිමිව ඇත.

තරගය ආරම්භයේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වුවත් ඔවුන් තරගයේ අවසන් භාගයේ දී ප්‍රතිවාදීන්ට අවස්ථාවන් කිහිපයක්ම ලබා දෙන ලදි. පිලිපීන ‘වොල්කැනෝස්’ කණ්ඩායම තුළ දේශීය නොවන ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් ඔවුන්ව තමන්ගේ පාලනයට නතුකර ගන්නට සමත් විය. මහනුවර කණ්ඩායමේ තිලිණ විජේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම මීටර 30ක දුර සිට එල්ල කරන ලද දඬුවම් පහරකින් ආරම්භ කළේය. (ශ්‍රී ලංකාව 03 – 00 පිලිපීනය)

තරගයේ 14 වන මිනිත්තුවේ දී ප්‍රතිවාදීන්ගෙන් පන්දුව සොරා ගත් නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන ලී කීගල් පන්දුව රිචඩ් ධර්මපාල වෙත යොමු කළ ද ඔහු එහි දී ගත් වැරදි තීරණයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට හිමි වූ ප්‍රථම අවස්ථාව අහිමි විය. නමුත් මිනිත්තු කිහිපයකට අනතුරුව තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය දරන ධනුෂ්ක රන්ජන් සමත් වූ අතර එහි දී හිමි වූ ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට තිලිණ විජේසිංහ සමත් වූයේ නැත. (ශ්‍රී ලංකාව 08 – 00 පිලිපීනය)

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වරට නියෝජනය කරන CR&FC කණ්ඩායමේ තාරික් සලී ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය. ‘Rucking’ අවස්ථාවක දී පාදය පිටියේ තබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට විනිසුරුවරයා අවවාද කළ අතර තරගයේ 30 වන මිනිත්තුවේ දී ඔහු නැවතත් එම වැරැද්දම සිදුකිරීම හේතුවෙන් ඔහුව ‘sin-bin’ දඬුවමට යටත් කරන ලදි. මිනිත්තු කිහිපයකින් අනතුරුව විජේසිංහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ නැංවීමට සමත් විය. (ශ්‍රී ලංකාව 11 – 00 පිලිපීනය)

සලීව ‘sin-bin’ දඬුවමට යටත් කිරීම හේතුවෙන් මිනිත්තු 10ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකුගේ අඩුව සහිතව ක්‍රීඩා කිරීමට සිදුවූ අතර පළමු අර්ධයේ අවසාන භාගය තුළ පිලිපීන කණ්ඩායමට ලකුණු ලබා ගැනීම සඳහා අවස්ථා කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 11 (1T 2P) – 00 පිලිපීනය

දෙවන අර්ධය ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් පසුගාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඔවුන් පන්දුව මෙහෙය වීමේ දී ද එතරම් සාර්ථක වූයේ නැත. අනෙක් පසින් පිලිපීන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. පිලිපීන කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔවුන්ගේ උත්සාහක දිනුම් කලාපයට ආසන්න මීටර 22ක කලාපය තුළ ආරක්ෂාකාරීව ක්‍රීඩා කරමින් එම උත්සාහයන් ව්‍යර්ථ කරන්නට සමත් විය.

පිලිපීන ක්‍රීඩකයින් හට ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට මිනිත්තු 60ක කාලයක් ගත වූ අතර දඬුවම් පහර අවස්ථාවකින් ඔහුගේ එම ලකුණු වාර්තා විය. නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම දඬුවම් පහර අවස්ථාවක් දිනා ගැනීමට සමත් වූ අතර එය සාර්ථක කර ගන්නට විජේසිංහ සමත් විය.

මිනිත්තු කිහිපයකට පසුව විජේසිංහ පහරක් එල්ල පන්දුව නිෂෝන් පෙරේරා හට යොමු කළ අතර ඔහු මීටර 30ක දුරක් උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන ගොස් එය නායක රොෂාන් වීරරත්න වෙත භාර කරන ලදි. උත්සාහක දිනුම් කලාපයට මීටර 5ක පමණ දුරක් ඉතිරිව තිබිය දී ඔහුව නවතා ගන්නට පිලිපීන කණ්ඩායමේ ‘full back’ ක්‍රීඩකයින් සමත් වූ නමුත් එහි දී ඔහු වෙත පැමිණි රිචඩ් ධර්මපාල වෙත ඔහු පන්දුව යොමු කළ අතර ධර්මපාල පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය.

තරගයේ මුල සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ‘scrum’ අවස්ථාවන් හි දී දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය. තරගයේ අවසාන මිනිත්තු 10 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ බිඳ වැටුණු අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත් පිලිපීන ක්‍රීඩකයින් තරගයේ 73 වන හා 76 වන මිනිත්තු තුළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. කෙසේ නමුත් තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුළ පිලිපීන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට දඬුවම් පහර දෙකක් ලබා දුන් අතර එම අවස්ථාවන් දෙකම සාර්ථක කර ගන්නට විජේසිංහ සමත් විය. (ශ්‍රී ලංකාව 24 – 13 පිලිපීනය)

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 24 (2T 1C 4P) – 13 (2T 1P) පිලිපීනය

තරගය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆෙරට් වර්බුලා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ;

අපිට මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න තිබුණා. අපි ‘scrum’ අවස්ථාවන්වල දී තරමක් අපහසුතාවයකට පත්වුණා. අපි ඒ සඳහා සූදානම් වුණේ සති දෙකක වගේ කාලයකින්. තරගයේ වීඩියෝ පටය නරඹලා, අපි අතින් සිදුවුණ වැරදි නිවැරදි කරගෙන මීළඟ තරගයේ දී මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

ලකුණු ලාභීන්

  • ශ්‍රී ලංකාව : ධනුෂ්ක රන්ජන් 1T, රිචඩ් ධර්මපාල 1T, තිලිණ විජේසිංහ (4P 1C)
  • පිලිපීනය : ජස්ටින් කොවේනි 1T, රිකී කූෂියා 1T, බෙන්ජමින් මූඩි 1P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට