මලික් – අසාම් ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!

1082

සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවට සුබ ඵල ගෙන දෙන බවට සැලකෙන සුප්‍රසිද්ධ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) ශ්‍රී ලංකාවට උරුම වූයේ ඉතාමත් දරුණු පරාජයකි. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට තරග 4-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ද පාකිස්තානු කණ්ඩායමයි. මේ වන විට ශ්‍රී ලංකා පිළට බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති පිතිකරුවන්ගේ අසාර්ථකත්වය අද දිනයේදීත් මෙවන් දැවැන්ත පරාජයක් කරා කණ්ඩායම මෙහෙය වූ මහ පොදු සාධකය බවට පත්විය.

පාකිස්තානු නවකයින් දෙදෙනෙක් පළපුරුදු ශ්‍රී ලංකාවට බැටදෙයි!

තරග 100කටත් වඩා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසක් පිරිවරාගත් ශ්‍රී ලංකා පිළ අසරණ කරමින් තෙවැනි එක්දින තරගයෙන් සහ එක්දින තරගාවලියෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඊයේ (18) පාකිස්තානු…

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3ක් සමඟින් අවතීර්ණ විය. ඒ මේ වන විටත් පරාජය වී ඇති තරගාවලිය ගෞරවාන්විතව අවසන් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. කලින් තරගය සඳහා ක්‍රීඩා නොකළ සුරංග ලක්මාල් අද තරගය සඳහා සහභාගි වූයේ දුෂ්මන්ත චමීර වෙනුවටයි. මීට අමතරව කුසල් මෙන්ඩිස් වෙනුවට සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවා තිබුණි. කලින් තරගයේ දී පන්දුව මුහුණේ වැදී ආබාධයකට ලක්වුණු චාමර කපුගෙදර වෙනුවට අද මංගල එක්දින වරම් හිමිකර ගත්තේ 23 හැවිරිදි දකුණත් මුල්පෙළ පිතිකරුවෙකු වන සදීර සමරවික්‍රමයි.

පාකිස්තානය අද තරගයට පිවිස තිබුණේ රුමාන් රයීස් වෙනුවට 23 හැවිරිදි උස්මාන් කාන්ට මංගල එක්දින වරම් හිමිකර දෙමිනි. අද දිනයේ තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා නායක උපුල් තරංගයි. ඔහු අද දිනයේ දී හෝ තම මැදපෙළ පිතිකරුවන් සාර්ථක වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. කෙසේ වෙතත් ඔහුගේ බලාපොරොත්තු තරගාවලිය තුල සිව්වැනි වතාවටත් බිඳ වැටෙනු අද දිනයේ දී දැකගන්නට ලැබුණි.

ODI Centuries on Debut – Let’s Talk Numbers

ThePapare.com Stats Man Thilina Galapatti providing interesting numbers on ODI Centuries on Debut following Pakistan…

එහි ආරම්භය උපුල් තරංග විසින්ම ලබා දීම දෛවෝපගත සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය. ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට උපුල් තරංග ලකුණු නොලබාම දැවී ගියේ අද එක්දින වරම් දිනාගත් උස්මාන් කාන්ට මංගල කඩුල්ල හිමිකර දෙමිනි. හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද නිරෝෂන් දික්වැල්ල අද දිනයේ දැවී ගිය දෙවැනි පිතිකරුවා බවට පත්විය. ඒ ලකුණු 22ක් ලබා සිටිය දී කවර් කලාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට යාමේ දීයි.

තරගය පුරාවට තෙවරක් අසාර්ථක වී සිටිය දී පවා නැවතත් අවස්ථාව හිමිවුණු දිනේෂ් චන්දිමාල් අද ලකුණු 16ක් රැස්කර සිටිය දී දුවද්දී දැවී ගියේ පාසල් ක්‍රිකට් තරගයක ආකාරයේ අතපසුවීමකිනි. ඊට අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් ලහිරු තිරිමාන්න ද වගකිව යුතු විය. අද මංගල එක්දින වරම් දිනාගත් සදීර සමරවික්‍රම දැවී ගියේ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙරයි. ඉමාඩ් වසීම්ගේ පන්දුවකට කඩුල්ල විවෘත කරමින් සදීර එල්ල කළ පහර කිසිසේත්ම සාර්ථක පිතිකරණයක ලක්ෂණ පෙන්නුම් කළේ නැත. කෙසේ වෙතත් තවමත් යොවුන් වියේ පසුවන, දේශීය පිටියේ හොඳින් දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා පිළිබඳ අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩිය.

ලකුණු අතර නොසිටි අවස්ථාවක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැඳවූ මිලින්ද සිරිවර්ධන අද ලකුණු 13ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ හසන් අලිගේ පන්දුවක් හමුවේ උස්මාන් කාන් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හමුවේයි. ඉන් අනතුරුව පන්දු යැවීම ආරම්භ කළ ශදාබ් කාන්ට සීක්කුගේ ප්‍රසන්න සහ තිසර පෙරේරා පිට පිටම තම කඩුලු දෙක පූජා කළේ තවත් දරුණු පරාජයකට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පූර්ණ කරමිනි. ඉනිමේ අවසන් කොටසේ දී ලහිරු තිරිමාන්න සහ අකිල ධනංජය අතරේ ලකුණු 43ක සබඳතාවයක් ගොඩ නැගුණ ද එය ශ්‍රී ලංකා පිළේ දෛවය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවීය.

දසුන්ගේ ශතකයෙන් පසු පන්දු යවන්නන් වැඩ අල්ලයි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර දෙවන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (19) ආරම්භ වුනේ ජැමෙයිකාවේ ෆ්ලොරන්ස්හීදී යි…

හුදකලා සටනක නිරත වූ ලහිරු තිරිමාන්න අද තම එක්දින දිවියේ 20 වැනි අර්ධ ශතකය ලෙසින් ලකුණු 62ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 4ක් සමඟිනි. ඒ හැරුණුකොට අකිල ධනංජය ලකුණු 18ක් සහ සුරංග ලක්මාල් නොදැවී ලකුණු 23ක් රැස් කරමින් තමන්ට හැකි පමණින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීම සඳහා දායක වූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම අද පන්දුවාර 43යි පන්දු 4ක් තුල දී නිමාවට පත්වූයේ ලකුණු 173ක් පමණක් රැස්කර තිබිය දීයි. පන්දු යැවීමේ දී හසන් අලි ලකුණු 37ට කඩුලු 3ක් ද, ඉමාඩ් වසීම් සහ ශදාබ් කාන් කඩුලු 2 බැගින් ද බිඳ හෙලූහ.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ඉතාමත් පහසු ඉලක්කයක් හිමිවුණු පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිදහස් මනසකින් ක්‍රීඩා පිටියට පියමන් කළ ද, සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ ඔවුන්ට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කලින් තරගයේ දී තම මංගල ශතකය වාර්තා කළ ඉමාම් උල්-හක් අද ලකුණු 2ක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. කලින් තරගයේ අයුරින්ම අකිල ධනංජයට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූ ෆකාර් සමාන් අද දැවී ගියේ ලකුණු 17ක් රැස් කරගෙන සිටියදීයි.

ඉන් අනතුරුව තවත් පන්දුවාර කිහිපයක් ගත වෙද්දී ලකුණු 9ක් ලබා සිටි මොහොමඩ් හෆීස්ව දවා ගැනීමට සීක්කුගේ ප්‍රසන්න සමත් විය. ඒ වන විට පාකිස්තානු ඉනිම දැක්වුණේ ලකුණු 58ට කඩුලු 3ක් ලෙසයි. එතැන් පටන් පිටියේ එක්වුණු බාබර් අසාම් සහ ශොයිබ් මලික් සුපරික්ෂාකාරී ලෙස පන්දුවට පහර දෙමින් නොබිඳුණු ශතක සබඳතාවක් සඳහා අවශ්‍ය පදනම දැමීය. ඒ හේතුවෙන් පාකිස්තානු කණ්ඩායම ලකුණු 177ක් ලබා තරගය ජය ගන්නා විට ඔවුන් දෙදෙනාම සිටියේ ලකුණු 69 බැගින් නොදැවී රැස්කර ගනිමිනි.

පන්දු 101ක් වැයවුනු බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5ක් අඩංගු වූ අතර පන්දු 81කට පමණක් මුහුණ දුන් ශොයිබ් මලික් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය. අද බාබර් අසාම් එක්දින දිවියේ 7 වැනි ශතකය වාර්තා කර ගනිද්දී ශොයිබ් මලික් ලබා ගත්තේ 41 වැනි අර්ධ ශතකයයි. පාකිස්තානු පිළේ සාර්ථකත්වයත් සමඟින් අද වාර්තා වූයේ ශ්‍රී ලංකා පිළ එක්දින තරගවල දී අඛණ්ඩව ලැබූ 11 වැනි පරාජයයි. තරගයේ වීරයා සම්මානය පාකිස්තානය පීඩනයෙන් මුදවාගත් බාබර් අසාම්ට හිමි විය.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 43.4): ලහිරු තිරිමාන්න 62, සුරංග ලක්මාල් 23*, නිරෝෂන් දික්වැල්ල 22, අකිල ධනංජය 18, දිනේෂ් චන්දිමාල් 16, මිලින්ද සිරිවර්ධන 13, හසන් අලි 3/37, ඉමාඩ් වසීම් 2/13, ශදාබ් කාන් 2/29.

පාකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 177 (පන්දුවාර 39): ශොයිබ් මලික් 69*, බාබර් අසාම් 69*, ෆකාර් සමාන් 17, මොහොමඩ් හෆීස් 9, ලහිරු ගමගේ 1/27, අකිල ධනංජය 1/29, සීක්කුගේ ප්‍රසන්න 1/44.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<