ආමීර් – මලික් සුසංයෝගය 3-0ක විස්සයි විස්ස ජය තහවුරු කරයි

156
AFP PHOTO

ඊයේ (29) පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති අවසන් එක්දින තරගයෙන් ද ලකුණු 36ක පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි විස්ස තරගාවලිය ද 3-0ක් ලෙසින් සම්පූර්ණයෙන්ම පරාජයට පත්විය. ඒ අනුව ජාත්‍යන්තර තරග 10ක දීර්ඝ සංචාරයක් සඳහා මැද පෙරදිග කලාපය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එහි දී ජය ගැනීමට හැකි වූයේ ටෙස්ට් තරග ද්විත්වය පමණි.

පාකිස්තානයේ දී ශ්‍රී ලංකා පිළේ ආරක්ෂාවට විසි දහසක්!

අද (29) ලාහෝර් නුවර දී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවැනි විස්සයි විස්ස තරගයට සහභාගි.

ඊයේ දිනයේ ගඩාෆි තණතිල්ල මත දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. රාත්‍රි කාලය උදාවීමත් සමඟම පින්න පතිත වීම වැඩි වීම නිසා පන්දුව ග්‍රහණය කර ගැනීමට අපහසු වීමත්, කලින් තරග දෙකේ දී ම මුලින් පිතිකරණයේ යෙදී ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නොහැකි වීමත් යන කරුණු කාරණා මත ඔහු එම තීරණයට එළඹුණු බව අනුමාන කළ හැකිය. ඊයේ තරගයට එක්වූ ශ්‍රී ලංකා පිළට අශාන් ප්‍රියන්ජන් වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා කැඳවා තිබුණි. චතුරංග ඊයේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට එක්වූයේ ප්‍රථම වතාවටයි.

පාකිස්තානු කණ්ඩායම ද වෙනස්කම් දෙකක් සිදු කරමින් උමාර් අමීන් සහ මොහොමඩ් ආමීර් කණ්ඩායමට කැඳවා තිබුණි. ඒ අහමඩ් ශෙෂාඩ් සහ උස්මාන් කාන් වෙනුවටයි. ඊයේ පාකිස්තානු ඉනිම ඇරඹූ ෆකාර් සමාන් සහ උමාර් අමීන් පළමු කඩුල්ලටම අර්ධ ශතක සබඳතාවක් ගොඩ නගමින් විශාල ලකුණු ගණනකට අවශ්‍ය පදනම දැමූහ. ඉන් අනතුරුව ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෆකාර් සමාන් (31) දැවී ගියේ ඩිල්ශාන් මුණවීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. අනෙක් අන්තයේ සිටි උමාර් අමීන් හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 45ක් රැස්කර සිටිය දී දැවී ගියේය.

සිංහ පෝතකයින් කොදෙව් බිමේ ජය කෙහෙලි නංවයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නිල..

කෙසේ නමුත් පාකිස්තානු පිතිකරුවන් සියලු දෙනාම තමන් කණ්ඩායමට කැඳවූ තීරණයට සාධාරණයක් ඉටු කරන අයුරු ඊයේ දිනයේ දී දැක ගන්නට ලැබුණි. ඒ අනුව බාබර් අසාම් නොදැවී ලකුණු 34ක් ද, අවසන් මොහොතේ පිටියට පිවිසුණු ෆාහීම් අශ්රාෆ් නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්හ. මේ සියල්ල මැද පන්දු 24කින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා තරගය උඩු යටිකුරු කළේ ශොයිබ් මලික්ගේ සුපිරි පිතිකරණයයි. ඒ නිසාවෙන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 180ක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට පාකිස්තානුවන්ට හැකි විය.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් කිසිදු පන්දු යවන්නෙකු ඊයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර ඩිල්ශාන් මුණවීර පමණක් ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගනිමින් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන ලදි. තරගයේ මුල් කොටසේ දී හොඳින් පන්දු යැවූ විකුම් සංජයට ද ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පාකිස්තානු පිතිකරුවන් අතින් දැඩි ප්‍රහාරයකට ලක් වන්නට සිදු විය. කෙසේ නමුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වී සිටින සීක්කුගේ ප්‍රසන්නට එකදු පන්දුවාරයක් හෝ යැවීමට ඊයේ ඉඩකඩක් ලැබුණේ ද නැත!

පාකිස්තානය අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය උදුරා ගනියි

ඉතාමත් උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ තියුණු සටනකින් අනතුරුව දෙවැනි විස්සයි විස්ස…

ඒ අනුව ලකුණු 181ක දැවැන්ත ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු 3 ලකුණු 21ක් තුල දී බිඳ වැටුණේ තවත් පරාජයකට අවශ්‍ය කරුණු කාරණා සම්පූර්ණ කරමිනි. එහි දී ගුණතිලක, මුණවීර සහ සමරවික්‍රම යන මුල්පෙළ පිතිකරුවන් තිදෙනාටම ලකුණු 10 සීමාවටවත් ළඟා වීමට හැකි නොවිය. කලකට පසු ජාත්‍යන්තර තරග බිමට පිවිසි මහේල උඩවත්ත ද ඊයේ ලකුණු 13කට දැවී ගියේ ලැබුණු අවස්ථා තුනෙන්ම කිසිදු ප්‍රයෝජනයක් ලබා නොගනිමිනි. ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් පෙරේරා සහ අසේල ගුණරත්න නැවතත් කණ්ඩායම සමඟ එක්වීමෙන් පසු ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයි සිතිය නොහැකිය.

ශ්‍රී ලංකා ඉනිමේ එකම ධනාත්මක ලකුණ ලෙස ඊයේ දසුන් ශානක පන්දු 36ක් තුල දී ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟයි. ශානක ඊයේ දිනයේ වාර්තා කර ගත්තේ තම මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ඊයේ මංගල තරගයට ක්‍රීඩා කළ චතුරංග ද සිල්වාව විශාල තරග අත්දැකීම් ගොන්නක් ඇති තිසර පෙරේරාට සහ සීක්කුගේ ප්‍රසන්නට කලින් පිටියට එවීම ද ඊයේ ශ්‍රී ලංකාව ගත් ඉතාම අදූරදර්ශී තීරණයක් විය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු වේගය ඉතාමත් ඉක්මනින් වැඩි වෙමින් තිබිය දී ප්‍රහාරක පිතිකරුවෙකු පිටියේ නොසිටීමේ ප්‍රතිඵලය වූයේ ඉනිමේ අවසාන කොටසට ළඟා වීමටත් පෙර ලබා ගැනීමට අපහසු ආකාරයේ ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වීමයි!

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 144ක් ලෙස සටහන් විය. මෙම තරගාවලිය පුරා පාකිස්තානු කණ්ඩායම ප්‍රයෝජනයට නොගත් මොහොමඩ් ආමීර් ඊයේ තමාට ලැබුණු අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගනිමින් ලකුණු 13කට කඩුලු 4ක් බිඳ දැමීය. ෆහීම් අශ්රාෆ් ලකුණු 19කට කඩුලු 2යි. ඒ අනුව තෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 36කින් ජය ගත් පාකිස්තානුවන් තරගාවලිය ජය ගත්තේ තරග 3-0ක් වශයෙනි. තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද තුන් ඉරියව් ක්‍රීඩක ශොයිබ් මලික්ට හිමි විය.

පාකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 180 (පන්දුවාර 20): ශොයිබ් මලික් 51, උමාර් අමීන් 45, බාබර් අසාම් 34*, ෆකාර් සමාන් 31, ෆහීම් අශ්රාෆ් 13*, ඩිල්ශාන් මුණවීර 1/26, ඉසුරු උදාන 1/32.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 144 (පන්දුවාර 20): දසුන් ශානක 54, චතුරංග ද සිල්වා 21, සීක්කුගේ ප්‍රසන්න 16, සචිත් පතිරණ 14, මහේල උඩවත්ත 11, මොහොමඩ් ආමීර් 4/13, ෆහීම් අශ්රාෆ් 2/19.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<