ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමට අද (10) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ 2010 වසරේ පාකිස්තානු පිළ මැද පෙරදිග තරග කිරීම පටන් ගත්දා සිට මේ වන තෙක් වූ දීර්ඝ කාල සීමාව තුල දී පළමු වරට පාකිස්තානය, මැද පෙරදිග දී පැවති ටෙස්ට් තරගාවලියකින් පරාජය කරමිනි.

එය ද යන්තමින් ලබාගත් සාමාන්‍යය තරගාවලි ජයක් නොවන අතර තරග 2-0ක් ලෙස වාර්තා වූ විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණයකි. මීට පෙර ටෙස්ට් රටවල් 6ක් මෙවන් දස්කමක් දැක්වීමට දැඩි උත්සාහයක නිරත වුවද අවසානයේ සාර්ථකත්වයට පත්වූයේ ශ්‍රී ලංකාව පමණි.

ශ්‍රී ලංකා පිළේ ජය ගමනට සෆ්රාස් – ශෆීක් අකුල් හෙලයි!

පාකිස්තානු මැදපෙළ ශක්තිමත් කරමින් නායක සෆ්රාස් අහමඩ් සහ අසාද් ශෆීක් නිර්මාණය කළ නොබිඳුණු ශතක සබඳතාවය නිසා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය…

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මීට දින 5කට ඉහත දී ඇරඹුණු මෙම තරගය ශ්‍රී ලංකා පිළේ මංගල දිවා – රාත්‍රී ටෙස්ට් තරගය ලෙස ද ඉතිහාසයට එක්විය. එහි දී ටෙස්ට් තරග දෙකක දී රෝස පන්දුව හසුරුවා අත්දැකීම් ඇති පාකිස්තානුවන් එහි වාසිය ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරක මත පළවිය. කෙසේ වෙතත් අබුඩාබි හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පෙරළිකාර ජයක් ලබාගත් සිංහ පැටවුන් මෙම තරගය සඳහා පිවිසියේ “ජයගෙන මිස ආපසු නොහැරෙමි” යන දැඩි අධිෂ්ඨානයෙනි. ඒ වෙනුවෙන් කණ්ඩායමට තරුණ ජවයෙන් පිරිපුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මුල් වරට ඇතුළත් කිරීමට ද කළමනාකාරිත්වය පසුබට නොවීය.

ඒ 2016/17 ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම සහ තර්ජනාත්මක වේග පන්දු යවන්නෙකු ලෙස දේශීය පිටියේ ප්‍රසිද්ධ ලහිරු ගමගේයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළ වගකීමක් දැරිය හැකි පිතිකරුවන් 6කගෙන් සහ ඉනිමක් විනාශ කළ හැකි පන්දු යවන්නන් 5කගෙන් සමන්විත විය. පාකිස්තානු පිළ මෙම තරගයේ දී එක් වෙනසක් සිදු කරමින් වමත් වේගපන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් කැඳවා තිබුණි. ඒ ආබාධයකට ලක්වුණු හසන් අලි වෙනුවටයි.

දිමුත්ගේ 90 ගැටලු විසඳන්නට හෂාන්ගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරය දරන හෂාන් තිලකරත්න දක්‍ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා…

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිළ ප්‍රථම තරගය අනුව යමින් මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 482ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගූහ. ඒ පාකිස්තානුවන්ට තවත් තරග පරාජයක සුවඳ දැනෙන්නට ඉඩ හරිමිනි. මේ දිනවල සුපිරි රිද්මයක පසුවන දිමුත් කරුණාරත්න මෙම විශාල ලකුණු පුවරුව පසුපස සිටි දැවැන්තම චරිතය බවට පත්විය. තම මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 4ක් තිබිය දී අවාසනාවන්ත ලෙස දැවී ගිය ද ඔහුගේ අධිෂ්ඨානශීලී ඉනිම දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගේ නොමද පැසසුමට හේතු විය. දිමුත්ගේ සුපිරි ඉනිමට තම සහයෝගය ලබා දුන් දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා අර්ධ ශතකය බැගින් රැස් කර ගත්හ.

ශ්‍රී ලංකා පිළෙන් එල්ල වූ ලකුණු පුවරුවේ පීඩනය මැද පාකිස්තානු කණ්ඩායමට තම මුල් ඉනිම වෙනුවෙන් රැස් කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණි. එහි දී අසාර් අලි සහ හැරිස් සොහෙල් අර්ධ ශතක වාර්තා කර ගත්හ. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දෙදෙනා මැනවින් තම වගකීම් කොටස ඉටු කරමින් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. ඔවුන්ට දෙවැනි වීමට අකමැති වූ සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ ද කඩුලු ද්විත්වය බැගින් දවා ගත්හ. එහි දී තම මංගල ටෙස්ට් තරගයේ දී ම සුවිශේෂී දස්කම් පෑ ලහිරු ගමගේ තමන් ටෙස්ට් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු බවට ඔප්පු කළේය.

මේ අනුව ලකුණු 220ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිළට නැවතත් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානු පිළට ලබා දීමට හැකි වුවද දඟ කැවෙන තණතිල්ලේ සිව්වැනි ඉනිම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය අභියෝගයට ලක්කර ගැනීමට ශ්‍රී ලංකා නායකයා කැමති නොවීය. ඒ අනුව දෙවැනි ඉනිම වෙනුවෙන් මුලින් පිටියට පිවිසියේ ශ්‍රී ලංකා පිළයි. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේ දී පෙරට වඩා වෙනස්ම මුහුණුවරකින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළේ සියළුම කඩුලු ලකුණු 96ක් තුල දී බිඳ වැටුණේ වියැකී යමින් තිබූ පාකිස්තානු ජයග්‍රහණ බලාපොරොත්තු බලට නැවතත් පණ පොවමිනි.

ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම වෙනුවෙන් පිටියට පිවිසියේ මෙම තරගය ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරව නිමාකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත් පාකිස්තානු මුල්පෙළ විනාශ කර දැමූ දිල්රුවන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තානු පිළේ මුල් කඩුලු 5ම ලකුණු 52ක් තුල දී දවා ගත්හ. ඒ ඊයේ දිනයේ දී ම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට පසුබිම සකසමිනි.

සංගා වෙනස් විදිහේ ක්‍රිකට් තරගයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශාහීඩ් අෆ්රිඩි, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් මොර්ගන් හා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග්…

කෙසේ වෙතත් ඊයේ රාත්‍රි ආහාරයෙන් පසුව පරීක්ෂාකාරී ලෙස පිත්ත හැසිරවූ නායක සෆ්රාස් අහමඩ් සහ අසාද් ශෆීක් තමන්ගේ බල ප්‍රදේශයේ තමන් දණ ගැස්වීම එතරම් පහසු නොවන බව සනාථ කරමින් අද දිනය දක්වාම නොබිඳුණු දැවැන්ත සබඳතාවක් ගොඩ නැගූහ. මෙම සුපිරි ක්‍රියාන්විතය නිසා පාකිස්තානය ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා පිළ ලබාදුන් ඉලක්කයට ආසන්න වෙද්දී ශූරයින්ගේ කුසලානයේ දී සිදු වූ අයුරින් අවාසනාවන්ත පරාජයක් උරුම වේදෝ යන සැකය ක්‍රීඩාලෝලීන්ගේ සිතට නැගෙන්නට විය.

නමුත් ඒ සියලු සැක සංකා දුරුකළ දිල්රුවන් පෙරේරා නායක සෆ්රාස් අහමඩ්ව ක්‍රීඩාගාරයට හරවා යවමින් ශ්‍රී ලංකා පිළ නැවතත් ජය මාවතට රැගෙන ගියේය. හතරේ පහර 5ක් සමඟින් ලකුණු 68ක් රැස්කළ සෆ්රාස්ගේ ඉනිම නිමා කිරීමට නුවන් ප්‍රදීප් දුවගොස් රැකගත් විශිෂ්ට උඩපන්දුව ද හේතු විය. තරගයේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි මෙම දැවී යාම නිසා ලකුණු 173ක විශිෂ්ට සබඳතාවයට ද නැවතීමේ තිත තැබුණි. ඉන් අනතුරුව පාකිස්තානු පසුපෙළ පිතිකරුවන් එකිනෙකා ඉවත් කරමින් ටෙස්ට් කුසලානය කරා යන ගමන ශ්‍රී ලංකාවට එතරම් අසීරු නොවීය.

පාකිස්තානු පිළේ අභිමානය අභියෝගයට ලක්වුණු මෙම මොහොතේ හුදකලා සටනක නිරත වුනු අසාද් ශෆීක් අද තම ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කර ගත්තේය. හතරේ පහර 10ක් සමඟින් ලකුණු 112ක් ලබා සිටි ශෆීක්ව දවා ගත්තේ සුරංග ලක්මාල් විසිනි. ඒ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අනර්ඝ උඩපන්දුවක් රැක ගත්තේය. ඒ අනුව පාකිස්තානු ප්‍රේක්ෂකයින් ජයග්‍රහණයක් පිලිබඳ තබා තිබූ සියලුම බලාපොරොත්තු සුන්වී ගියේය. අවසානයේ වහාබ්‍ රියාස් ලබා දුන් උඩපන්දුව ශ්‍රී ලංකා නායකයා සතුටින් රැක ගැනීමත් සමඟම මිලියන විස්සක ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටු විය.

Photo Album – Sri Lanka vs Pakistan – 2nd Test Day 5

ශ්‍රී ලංකා පිළ මෙම තරගය ලකුණු 68කින් ජය ගැනීමත් සමඟ තරග 2-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි විය. මෙම සාර්ථකත්වය පසුපස සැඟවුණු රහස වූයේ කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර තිබූ සහෝදර බැඳීම බව තරගය නැරඹූ කාහටත් පැහැදිලි විය. වෙනදා නොතිබූ උද්‍යෝගයකින් කණ්ඩායමේ සෑම දෙනාම තමන්ට හිමිවී ඇති වගකීම් අකුරටම ඉටු කිරීම නිසා මෙවන් විශිෂ්ට ජයක් ලබා ගැනීම කිසිසේත්ම සිහිනයක් නොවීය. එහි දී දිනේෂ් චන්දිමාල් නිරන්තරයෙන්ම කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින් තරගය ජය ගැනීමට කළ සැලසුම් විශිෂ්ට නායකත්වයක ලක්ෂණ ප්‍රකට කළේය.

මේ වන විට කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින දිමුත් කරුණාරත්න තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ අතරතුර කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කළ තවත් ක්‍රීඩකයෙකු ද සිටියේය. ඒ තම ප්‍රවීණතම දඟපන්දු සහකරු වන රංගන හේරත් තරමක් විපිළිසර වී සිටිය දී දෙවැනි ඉනිමේ දී කඩුලු 5ක් ද සමඟින් තරගය පුරාවට කඩුලු 8ක් බිඳ දමමින් පාකිස්තානු පිතිකරුවන් මට්ටු කළ දිල්රුවන් පෙරේරායි.

මෙම ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක 6 දක්වා ඉහළට පැමිණි අතර පාකිස්තානයට හිමිව ඇත්තේ අංක 7 ස්ථානයයි. දැන් ශ්‍රී ලංකාව කළ යුතු වන්නේ මෙම ජයග්‍රහණයෙන් ඇතිවූ පිබිදීමත් සමඟ ක්‍රිකට් ලෝකයේ නැතිවී ගිය තම අභිමානය නැවත ගොඩනගා ගැනීමට උත්සාහ දැරීමයි. ඒ සඳහා ලැබෙන හොඳම අවස්ථාවක් ලෙස ලබන 13 වැනිදා ඩුබායි හිදීම ඇරඹෙන තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලිය සැලකිය හැකිය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 262 (පන්දුවාර 90.2): අසාර් අලි 59, හැරිස් සොහෙල් 56, සැමී අස්ලාම් 39, යසීර් ෂා 24, ශාන් මසූඩ් 16, වහාබ් රියාස් 16, දිල්රුවන් පෙරේරා 3/72, රංගන හේරත් 3/84, ලහිරු ගමගේ 2/38, සුරංග ලක්මාල් 2/41.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 26): කුසල් මෙන්ඩිස් 29, නිරෝෂන් දික්වැල්ල 21, රංගන හේරත් 17, වහාබ්‍ රියාස් 4/41, හැරිස් සොහෙල් 3/1.

පාකිස්තානු (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 90.2): අසාද් ශෆීක් 112, සෆ්රාස් අහමඩ් 68, ශාන් මසූඩ් 21, අසාර් අලි 17, දිල්රුවන් පෙරේරා 5/98, රංගන හේරත් 2/57.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න