ශ්‍රී ලංකා පිළේ ජය ගමනට සෆ්රාස් – ශෆීක් අකුල් හෙලයි!

387

පාකිස්තානු මැදපෙළ ශක්තිමත් කරමින් නායක සෆ්රාස් අහමඩ් සහ අසාද් ශෆීක් නිර්මාණය කළ නොබිඳුණු ශතක සබඳතාවය නිසා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පස්වැනි සහ අවසන් දිනය දක්වා ගෙන යාමට පාකිස්තානු කණ්ඩායමට හැකි විය.

ජය කණුව සොයා ගිය ශ්‍රී ලංකාවට නොසිතූ අභියෝගයක්!

පාකිස්තානු කණ්ඩායම සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුහුණ පා සිටින්නේ නොසිතූ…

ඒ අනුව සෑම දිනයක් පාසාම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙම ටෙස්ට් තරගාවලියේ අවසන් දිනය දක්වාම ජයග්‍රාහකයෙකු තීරණය කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇත. අද දිනයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අවැසි නම් ඔවුන් ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගත යුතු අතර, පාකිස්තානුවන්ට තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ ටෙස්ට් ජයක් වාර්තා කිරීමට නම් තවත් ලකුණු 119ක් රැස්කර ගත යුතුව ඇත.

ඊයේ දිනය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 34ට කඩුලු 5ක් ලෙස සටහන් වෙද්දීයි. දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම වැනි තීරණාත්මක පිතිකරුවන් කිහිප දෙනෙකුම පෙර දිනයේදීම දැවී යාම නිසා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විනාශ වීම ආරම්භ වූයේ ඊයේ උදෑසන නම් නොවේ. ඒ අනුව නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස්ට සහ නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ දැවැන්ත වගකීමක් පැවරී තිබුණි.

කෙසේ වෙතත් දිනයේ මුල් පන්දුවාර කිහිපයේ දී වැඩිපුර පිතිකරණ අවස්ථාව ලබාගත් නිරෝෂන් දික්වැල්ල නිදහසේ පිත්ත හසුරුවමින් හතරේ පහර 4ක්ම එල්ල කරන ලදි. නමුත් ඔහුගේ දැවී යාම සටහන් වන්නේ වහාබ්‍ රියාස් යැවූ කඩුල්ලෙන් ඉවත ඇදී යන පන්දුවකට පිත්ත යොමු කිරීමට යාමෙනි. ඒ දික්වැල්ලගේ පිත්තේ ගැටුණු පන්දුව කඩුල්ල පිටුපස සිටි සෆ්රාස් අහමඩ් සුරැකිව රැකගත් නිසයි. ඒ වනවිට දික්වැල්ල රැස් කරගෙන සිටියේ ලකුණු 21ක් පමණි.

ඉන් අනතුරුව පිටියට පිවිසියේ ප්‍රථම ඉනිමේ වටිනා අර්ධ ශතකයක් රැස් කරගත් දිල්රුවන් පෙරේරායි. කෙසේ නමුත් දෙවැනි ඉනිමේ දී ඔහුට රිසිසේ පිත්තෙන් පෙළහර පෑමට ඉඩ නොදුන් යසීර් ෂා පළමු පන්දුවෙන්ම ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. දිල්රුවන්ගෙන් පසු පිටියට පිවිසි රංගන හේරත් හතරේ පහර තුනක් සමඟින් ඉක්මන් ලකුණු 17ක් රැස්කර ගත්තේ තමන්ට වැඩි වේලාවක් පිටියේ රැඳෙන්නට ඉඩ නොලැබෙන බව වටහා ගනිමිනි.

එය සනාථ කරමින් හැරිස් සොහෙල් යැවූ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී රංගනට තම කඩුල්ල අහිමි විය. සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නෙකුට එරෙහිව භාවිතා කළ හැකි හොඳම පහරක් වශයෙන් හැඳින්වුවද යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්ටත් (29) අද අවාසනාව ගෙන ආවේ ඉහළින්ම එල්ල කිරීමට උත්සාහ දැරූ ස්වීප් පහරකි. එය යාර 30 සීමාවවත් පසුකර නොගිය අතර කඩුලු රකින්නා විසින්ම සුරැකිව රැක ගන්නා ලදි.

දිමුත්ගේ 90 ගැටලු විසඳන්නට හෂාන්ගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරය දරන හෂාන් තිලකරත්න දක්‍ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

හැරිස් සොහෙල් ක්‍රියාත්මක කළ මෙම පන්දුවාරයේ දී ශ්‍රී ලංකා පිළේ කඩුලු 3ක්ම බිඳ වැටුනේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ විනාශය සම්පූර්ණ කරමිනි. පාකිස්තානු පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවට තම දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 98ක් පමණි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ රැස් කරගත් 9 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.

පන්දු යැවීමේ දී වමත් වේග පන්දු යවන ක්‍රීඩක වහාබ්‍ රියාස් ලකුණු 41ට කඩුලු 4ක් දවා ගනිමින් වැඩි දක්ෂතා දැක්වීය. මීට අමතරව හැරිස් සොහෙල් කඩුලු 3ක් ද, යසීර් ෂා කඩුලු 2ක් ද දවා ගත්තේය. දෙවැනි ඉනිම මේ අයුරින් අසාර්ථක වුවද ප්‍රථම ඉනිමේ දී ශ්‍රී ලංකාව රැස් කරගත් ලකුණු 482 නිසා පාකිස්තානුවන්ට හිමි වූ ඉලක්ක දැවැන්ත ලකුණු 317කි. අවසන් දින දෙකේ දී කඩතොළු වූ තණතිල්ලක් මත දී එය කිසිසේත්ම සුළුවෙන් තැකිය හැකි ඉලක්කයක් නොවේ.

තේ විවේකය සඳහා තරගය නතර කිරීමට පෙර පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 9ක් ක්‍රීඩා කිරීමට සිදු වූ අතර එහි දී එක් කඩුල්ලක් සොරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ එක් ලකුණක් පමණක් ලබා සිටි සැමී අස්ලාම්ගේ කඩුල්ලයි. අද දිනයේ අසාර්ථක වුවද සැමී අස්ලාම් යනු පාකිස්තානුවන් සතු සිව්වැනි ඉනිමේ වැඩිම සාමාන්‍යය හිමි පිතිකරුවායි. ඔහුගේ කඩුල්ල තම මංගල ටෙස්ට් තරගයට එක්වී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලහිරු ගමගේට දවා ගැනීමට හැකිවිය.

තේ විවේකයෙන් අනතුරුව ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම එකපිට එක කඩුලු දවා ගත්තේ ඊයේ දිනය නිමාවීමටත් පෙරම තරග ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණෙනි. එහි දී පාකිස්තානු පිළේ වටිනාම කඩුල්ල වන අසාර් අලිව දවා ගැනීමට නුවන් ප්‍රදීප්ට හැකියාව ලැබුණි. ප්‍රථම ඉනිමේ දී කඩුලු කිසිවක් දවා නොගත්ත ද ඊයේ දිනයේ ඔහු දවාගත් එම කඩුල්ල ශ්‍රී ලංකා පිළට තිබූ දැවැන්ත හිසරදයක් නිමා කිරීමට තුඩු දුන්නේය. අසාර්ගේ දැවී යාමෙන් පසුව නව ජවයකින් පන්දුව අතට ගත් දිල්රුවන් පෙරේරා පිට පිටම ක්‍රියාත්මක කළ පන්දුවාර 2කදී ප්‍රතිවාදී මුල්පෙළ කඩුලු තුනක් දවා ගත්තේය.

වමත් පිතිකරුවන්ට එරෙහිව කවදත් දක්ෂතා දක්වන දිල්රුවන් එහි දී හැරිස් සොහෙල් සහ ශාන් මසූඩ්ව කඩුල්ලෙන් පිටතට දඟ කැවුණු පන්දු දෙකක් මඟින් දවා ගත්තේය. පිටිය මැද සිදුවන දේ දැක වික්ෂිප්ත වී චකිතයෙන් යුතුව ක්‍රීඩා පිටියට පියමන් කළ දකුණත් පිතිකරු බාබර් අසාම්ගේ කඩුල්ල ද දිල්රුවන් විසින් දවා ගන්නේ ඉන් අනතුරුවයි. එහිදී කඩුල්ල අසල පන්දු රැකි කෞෂාල් සිල්වා ක්ෂණයකින් රැකගත් දක්ෂ උඩපන්දුව ද දිල්රුවන්ට සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීම සඳහා උපකාරී විය. ඒ වනවිට ලකුණු 52කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ පාකිස්තානු ඉනිම ඉඟි පළ කලේ ඊයේ සන්ධ්‍යාවේ දීම ලබන ඓතිහාසික ටෙස්ට් ජයක් පිළිබඳවයි.

කෙසේ වෙතත් රාත්‍රී ආහාරයෙන් පසු තරගය ආරම්භ කළ මොහොතේ පටන් පාකිස්තානු ඉනිම ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපවුණු අසාද් ශෆීක් සහ සෆ්රාස් අහමඩ් පරාජය වෙත යමින් තිබූ තරගය ගොඩ ගැනීමට දැවැන්ත උත්සාහයක් ගත්හ. ඒ ලකුණු 146ක නොබිඳුණු දැවැන්ත සබඳතාවක් ගොඩ නංවමිනි. මේ දක්වාම සාර්ථක වූ මෙම උත්සාහය ජයග්‍රහණයකින් කෙළවර වේ දැයි දැකගත හැකි වන්නේ අද දිනයේදීයි. කෙසේ වෙතත් ‍රාත්‍රී කාලයේ දී ඇතිවන පින්න නිසා පන්දුව නිසි පරිදි ග්‍රහණය කර ගැනීමේ අපහසුතා නිසා කඩුලු දඩයම සාර්ථක නොවූවද ශ්‍රී ලංකා පිළද තවමත් සිටින්නේ ජයග්‍රහණ බලාපොරොත්තු පොදි බැඳගෙනයි.

සංගා වෙනස් විදිහේ ක්‍රිකට් තරගයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශාහීඩ් අෆ්රිඩි,

ඊයේ දිනය නිමා වන විට මෙම සුපිරි සබඳතාවයේ කොටස් කරුවන් බවට පත්ව සිටින සෆ්රාස් අහමඩ් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටින අතර අසාද් ශෆීක් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 86ක් වාර්තා කරගෙන සිටියි. මේ දක්වා සාර්ථකම පන්දු යවන්නා වී ඇති දිල්රුවන් පෙරේරා ලකුණු 76කට කඩුලු 3ක් දවාගෙන ඇති අතර ලහිරු ගමගේ සහ නුවන් ප්‍රදීප් අතරේ ඉතිරි කඩුලු 2 බෙදී ගියේය. පස්වැනි දිනයේ පිතිකරණයේ යෙදීම කිසිසේත්ම පහසු නොවූවත්, පාකිස්තානු පිතිකරුවන් දෙදෙනාම පිටියේ ස්ථාවර වී සිටින නිසා තවමත් තරග ජයග්‍රාහකයෙකු පිලිබඳ අනාවැකි පැවසීම ඉතාමත්ම දුෂ්කර වී තිබේ. කෙසේ වෙතත් අද දිනය රටවල් දෙකක ඉරණම විසඳෙන අතිශයින්ම තීරණාත්මක දිනයක් වන බව නම් නොඅනුමානය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 262 (පන්දුවාර 90.2): අසාර් අලි 59, හැරිස් සොහෙල් 56, සැමී අස්ලාම් 39, යසීර් ෂා 24, ශාන් මසූඩ් 16, වහාබ් රියාස් 16, දිල්රුවන් පෙරේරා 3/72, රංගන හේරත් 3/84, ලහිරු ගමගේ 2/38, සුරංග ලක්මාල් 2/41.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 98 (පන්දුවාර 26): කුසල් මෙන්ඩිස් 29, නිරෝෂන් දික්වැල්ල 21, රංගන හේරත් 17, වහාබ්‍ රියාස් 4/41, හැරිස් සොහෙල් 3/1.

පාකිස්තානු (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 198 (පන්දුවාර 73): අසාද් ශෆීක් 86*, සෆ්රාස් අහමඩ් 57*, අසාර් අලි 17, ශාන් මසූඩ් 21, දිල්රුවන් පෙරේරා 3/76, නුවන් ප්‍රදීප් 1/6.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න