තරංගගේ ශතකය අපතේ හරිමින් ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!

325

එක්දින තරග ගණනාවක් මුළුල්ලේ පැවතගෙන එන ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපලය නිසා ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි එක්දින තරගයත් අද (16) නිමාව දුටුවේ පරාජයකිනි.

අද දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හඹා යා හැකි තරමේ ලකුණු සංඛ්‍යාවකට පාකිස්තානු කණ්ඩායම සීමා කළ ද ශ්‍රී ලංකා මැදපෙළ කඩා වැටීම මෙම නොසිතූ පරාජයට ඉනිමං බඳින ලදි. අද තරගය පුරාවට බාබර් අසාම් සහ උපුල් තරංග පිත්තෙන් දැක්වූ දක්ෂතා මෙන්ම යොවුන් ක්‍රීඩක ශදාබ් කාන් තුන් ඉරියව්වෙන්ම පෑ හපන්කම් කැපී පෙනුණි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට අකිල ධනංජයගෙන් පාඩමක්!

පාකිස්තානු පිතිකරුවන් ශතක වාර්තා කරමින් දස්කම් පෑ තණතිල්ලේ ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ වීම නිසා අද (13) පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගයෙන්…

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් කිසිදු පැකිලීමකින් තොරව පිතිකරණයේ යෙදීම තෝරා ගත්තේ ඔවුන් පෙර තරගයේදීත් මුලින් පිත්ත අතට ගෙන සුපිරි දස්කම් දක්වා තිබීම නිසාවෙනි. පළමු එක්දින තරගය අතරතුරේ දී සුළු ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් අද තරගය සඳහා සහභාගි නොවෙන බවට වාර්තා පළ වුවත් අද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වී තිබුණේ කණ්ඩායම් සංයුතියේ කිසිදු වෙනස් කමකින් තොරවයි. පාකිස්තානු කණ්ඩායම ද තම ජයග්‍රාහී කණ්ඩායමේ කිසිදු වෙනසක් කිරීමට තීරණය කොට තිබුණේ නැත.

පාකිස්තානු පිළ ලකුණු 300කට වඩා වැඩි ඉලක්කයක් පිළිබඳ සිහින මවමින් පිටියට පිවිසිය ද අද තණතිල්ලේ ස්වභාවය අනුව එය සිහිනයක්ම පමණක් වන බව වැඩි වේලාවක් ගත වන්නට පෙරම පැහැදිලි විය. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ පාකිස්තානු මුල්පෙළ අන්ත අසරණ කරන දක්ෂ පන්දු යැවීමක යෙදුණු බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පා ඉන්න දෙසට එල්ල කළ පහරක්, ස්ලිප් හි පන්දු රැකි කුසල් මෙන්ඩිස් රැක ගැනීමත් සමඟ ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ ඉනිම නිමා විය. ඒ ඔහු ලකුණු 11ක් ලබා සිටිය දීයි. මෙම වටිනා කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ නවක ක්‍රීඩකයෙකු ලෙස සුපිරි දස්කම් පාන ලහිරු ගමගේයි.

ඉන් අනතුරුව අහමඩ් ශෙෂාඩ් එල්ල කළ පහරක් පොයින්ට් හි පන්දු රැකි මිලින්ද සිරිවර්ධනගේ දෑතේ රැඳීම නිසා සුරංග ලක්මාල්ට දිනයේ පළමු කඩුල්ල හිමි විය. කලින් තරගයේ දී ලකුණු නොලබාම දැවී ගිය ශෙෂාඩ් අද රැස්කර ගත්තේ ලකුණු 8ක් පමණි. නැවතත් පන්දුව අතට ගත් ලහිරු ගමගේ පවර්ප්ලේ පන්දුවාර 10 නිමා කරමින් යැවූ අවසන් පන්දුවේ දී ලකුණු 8ක් ලබා සිටි මොහොමඩ් හෆීස්ව දවා ගත්තේ ශ්‍රී ලංකාවට තරගයේ පාලනය ලබා දෙමිනි. ඒ වන විට පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 40ට කඩුලු 3ක් ලෙස දිස්විය.

කලින් තරගයේ දී ප්‍රහාරයකට ගොදුරු වුවද අද තම නායකයා තමා පිළිබඳව තැබූ විශ්වාසය අකුරටම සුරැකි තිසර පෙරේරා අද ඉතාමත් වටිනා කඩුලු දෙකක් වන ශොයිබ් මලික් (11) සහ නායක සෆ්රාස් අහමඩ් (05) ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. ඒ පාකිස්තානු කණ්ඩායමට ලකුණු 150 සීමාව පසු කිරීම ද පහසු නොවන බව පසක් කරමිනි. පාකිස්තානු කඳවුරේ තත්ත්වය තවත් නරක අතට හරවමින් ලකුණු 10ක් පමණක් ලබා සිටි ඉමාඩ් වසීම් ද පිටිය හැර යන්නේ ඉන් අනතුරුවයි. ජෙෆ්රි වැන්ඩර්සේ මෙම කඩුල්ල දවා ගත්තේ විනිසුරු තීරණය පවා අභියෝගයට ලක් කරමිනි.

කොදෙව් දඟයන් ශ්‍රී ලංකාව පරාජයට ඇද දමයි

ඩේමියන් ජේකබ්ස්ගේ දකුණත් පා දඟපන්දු හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක…

ලකුණු 101ට කඩුලු 6ක් බිඳ වැටුණු පාකිස්තානු ඉනිම වේදනාත්මක පරාජයක සලකුණු හඟවද්දී අදත් කලින් තරගයේ දී ශතකයක් වාර්තා කළ දකුණත් පිතිකරු බාබර් අසාම් ඔවුන්ගේ ගැලවුම්කරුවා බවට පත්විය. ඔහු අංක 8 පිතිකරු ශදාබ් කාන් සමඟ එක්වී සත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක සබඳතාවක් ගොඩ නැගුවේ පාකිස්තානයෙන් ගිලිහෙමින් තිබූ තරගය යම් පමණකින් රැක දෙමිනි. එහි දී තම මංගල එක්දින අර්ධ ශතකය ලෙසින් නොදැවී ලකුණු 52ක් රැස්කළ ශදාබ් කාන්ගෙන් පාකිස්තානයට ඉටු වූ සේවය ද සුළුපටු නොවීය.

අදත් පාකිස්තානු ඉනිම ශතකයකින් වර්ණවත් කළ බාබර් අසාම් ලකුණු 101ක් රැස්කර ගත්තේ මනරම් හතරේ පහර 6ක් ද සමඟිනි. අති දැවැන්ත පීඩනයක් මැද ගොඩ නැගුණු මෙම විශිෂ්ට ඉනිම සැබැවින්ම එක්දින ක්‍රීඩකයෙකු සතු විය යුතු සංයමයත්, ප්‍රහාරයත් එක ලෙස කැටිවුනු ප්‍රශස්ත ඉනිමක් ලෙස සඳහන් කළ හැකිය. ඒ තම කණ්ඩායම ඉතාමත් අඩු ලකුණකට දැවී යන්නට තිබූ දැඩි අවදානම මග හරවා කඩුලු 9කට ලකුණු 219ක් වැනි බලාපොරොත්තු සහගත ලකුණකට ඔහු තම කණ්ඩායම රැගෙන ආ බැවිනි. පන්දු යැවීමේ දී ලහිරු ගමගේ ලකුණු 57ට කඩුලු 4ක් බිඳ හෙලද්දී තිසර පෙරේරාට කඩුලු 2ක් හිමි විය.

පන්දුවාර 50කට ලකුණු 220ක් යනු පහසුවෙන්ම හඹා යෑ හැකි ඉලක්කයක් වුවද අද අබුඩාබි තණතිල්ල හැසිරුණු අයුරු සැලකීමේ දී එය දෙපිළටම එක ලෙස වාසි ගෙනදිය හැකි මධ්‍යස්ථ ඉලක්කයක් විය. එය පාකිස්තානයට වැඩි වාසි ගෙන දෙන ඉලක්කයක් බවට පත් කළේ වගකීම් විරහිත ශ්‍රී ලංකා පිතිකරුවන් විසිනි. කලින් තරගයේ දී පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා රටාව බිඳකින්වත් වෙනස් නොකළ ශ්‍රී ලංකා පිතිකරුවන් අද ලකුණු 187ක් තුල දී දැවී ගියේ පාකිස්තානු කණ්ඩායමට ඉතාමත් පහසු ජයක් බන්දේසියේ තබා පිළිගන්වමිනි.

අද ශ්‍රී ලංකා පිළේ මුල්ම කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ලකුණු 3ක් පමණක් ලබා සිටිය දීයි. ඒ ජුනෙයිඩ් කාන් මැද ඉන්න කෙලින්ම එවූ පන්දුවක් පා ආවරණයේ දවටා ගැනීම නිසයි. වැඩි පන්දු ගණනකට අඩු ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය කර තිබියදීත් කඩුල්ල ආරක්ෂා කර ගනු වෙනුවට මල්වෙඩි සංදර්ශන පෙන්වීමට ගිය කුසල් මෙන්ඩිස්ට දෙවනුවට කඩුල්ල අහිමි විය. අදත් ඔහුගේ කඩුල්ලට හිමිකම් කීවේ කුසල්ගේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයා බවට පත්ව සිටින හසන් අලි විසිනි. කුසල් ක්‍රීඩා කර ඇති අවසන් එක්දින තරග 10 දී ඔහු රැස් කරගෙන ඇත්තේ ලකුණු 98ක් පමණි

Can Sri Lanka avoid a 9th straight ODI defeat? – 2nd ODI preview

The 2nd ODI between Sri Lanka and Pakistan will take place on the Monday, 16th October at the Sheikh Zayed Stadium in….

ඉන් අනතුරුව ලහිරු තිරිමාන්න සහ උපුල් තරංග අතරේ ලකුණු 40ක සබඳතාවයක් ගොඩ නැගුණද යන්තමින් කඩුල්ලේ දැවටෙන පන්දුවකට විනිසුරු දැවී යාම සටහන් කළ නිසා තිරිමාන්නට ආපසු හැරී යන්නට සිදු විය. ඒ වන විට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 12ක් පමණි. ශ්‍රී ලංකා පිළේ මැදපෙළ දුර්වල වී ඇති අයුරු ලොවක් ඉදිරියේ නිරාවරණය කරමින් දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන ශදාබ් කාන්ගේ දඟ පන්දුවට ගොදුරු වන්නේ ඉන් අනතුරුවයි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස හැඳින්වෙන තිසර පෙරේරාටත්, කලින් තරගයේ දී අර්ධ ශතකයක් රැස්කළ අකිල ධනංජයටත් වැඩි වේලාවක් පිටියේ රැඳෙන්නට අද ඉඩක් ලැබුණේ නැත.

ලකුණු 93ට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගෞරවාන්විත මට්ටමකට හෝ ගෙන එන්නට උපකාරී වූයේ නායක තරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර ගොඩ නැගුණු ලකුණු 76ක සබඳතාවයයි. ඒ වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 22ක් රැස් කරමින් පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නංවන්නට අවශ්‍ය මෙහෙය ඉටු කළේය. මෙම සබඳතාවය නිසා අවසන් පන්දුවාර 10 තුල දී ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයට පැමිණියද මැදපෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු දායකත්වය අවම වීම නිසා නිරන්තරයෙන්ම තරගයේ පාලනය පැවතුනේ පාකිස්තානුවන් සතුවයි.

කලකට පසු නැවතත් ලකුණු අතරට පිවිසි උපුල් තරංග අද තම 15 වැනි එක්දින ශතකය ලෙසින් නොදැවී ලකුණු 112ක් රැස් කළේය. ඒ හතරේ පහර 14ක් සමඟිනි. ඔහු ශතකය වාර්තා කළ මොහොතේම සහයක පිතිකරු සුරංග ලක්මාල් දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට දුක – සතුට මුසුවුණු අමුතුම හැඟීමක් ගෙන දෙමිනි. කෙසේවෙතත් ආරම්භය බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48ක් අවසානයේ ලකුණු 187ක් ලබා සිටියදී නිමාව දිටීය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම දෙවැනි එක්දින තරගය ජය ගත්තේ ලකුණු 32කිනි.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් නොදැවී ලකුණු 52ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් බිඳ හෙලූ ශදාබ් කාන්ට හිමි විය. මෙම තරගය පරාජය වුවත් ඉන් ඉගෙන ගත හැකි පාඩම් ඉදිරි තරගවල දී හෝ ප්‍රගතියක් අත්කර ගැනීමට වැදගත් වනු ඇත. වර්තමානයේ එක්දින තරග රටාව තුල ලකුණු අතර නොසිටින ක්‍රීඩකයින් ආදී කාලීන දක්ෂතා පදනම් කරගෙන කණ්ඩායමට ඇතුළත් කර ගැනීම පළක් නොවන බව වටහා ගැනීමට මෙම තරගය කදිම නිදසුනකි. මේ වනවිට පිට පිටම එක්දින තරග 9ක් පරාජය වී සිටින ශ්‍රී ලංකාව දැන්වත් මෙම සරල සත්‍යය වටහා ගතහොත් ඉදිරි තරගාවලිවල දී හෝ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින්ගේ සංකලනයක් දැකගත හැකි වනු ඇත.

පාකිස්තානය – කඩුලු 9ක් දැවී ලකුණු 219 (පන්දුවාර 50): බාබර් අසාම් 101, ශදාබ් කාන් 52*, ෆකාර් සමාන් 11, ශොයිබ් මලික් 11, ඉමාඩ් වසීම් 10, ලහිරු ගමගේ 4/57, තිසර පෙරේරා 2/34, සුරංග ලක්මාල් 1/42.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 48): උපුල් තරංග 112*, ජෙෆ්රි වැන්ඩර්සේ 22, ලහිරු තිරිමාන්න 12, කුසල් මෙන්ඩිස් 10, ශදාබ් කාන් 3/47, ශොයිබ් මලික් 1/17.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න