දිමුත්ට ශතකය අහිමි වුවත් දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට!

120

වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත්, නායක චන්දිමාල් සහ දික්වැල්ල සටන්කාමී ලෙස ගොඩ නැගූ ලකුණු 66ක නොබිඳුනු සබඳතාවයත් නිසා ශ්‍රී ලංකා – පාකිස්තාන ප්‍රථම ටෙස්ට් තරගයේ පළමු දිනය සංචාරක ශ්‍රී ලංකා පිළට වැඩි වාසි ගෙන දෙමින් අද (28) නිමාවට පත්විය. ඒ අනුව ප්‍රථම දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 227කි.

වාර්තා අලුත් වන තරගයට පෙර

නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාව තුළ දැනට සිටින දක්ෂ වේගපන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ප්‍රදීප් පාකිස්තානයට එදිරිව ඉනිම…

අබුඩාබි නුවර ශේක් ස‍යිඩ් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ තරගය සඳහා කණ්ඩායම් නම් කිරීමේ දී පාකිස්තානය යොවුන් ක්‍රීඩක හැරිස් සොහේල්ට මංගල ටෙස්ට් වරම් හිමිකර දී තිබුණ ද ශ්‍රී ලංකා පිළ සංචාරය සඳහා කැටුව ගිය සදීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා කෙරෙහි කිසිදු අවධානයක් යොමු කොට තිබුණේ නැත.

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකා පිළට මෙම අදූරදර්ශී තේරීමේ ප්‍රතිවිපාක වැඩිකල් නොයවාම දැක ගන්නට ලැබුණි. ඒ ජාත්‍යන්තර ටෙස්ට් තරගවල දී අඩු දක්ෂතා දැක්වීම නිසා කණ්ඩායමෙන් ඉවතට විසිවුණු කෞෂාල් සිල්වා (12) සහ ලහිරු තිරිමාන්න (00) ඉතාමත් ඉක්මනින් නැවත ක්‍රීඩාගාරයට හැරී ගිය බැවිනි.

ඔවුන් දෙදෙනාම නැවතත් ටෙස්ට් කණ්ඩායමට පිවිසීමට තරම් සුපිරි දක්ෂතාවයක් මෑතක දී පෙන්නුම් නොකිරීම නිසා තේරීම් කමිටුවේ මෙම තීරණය ඉතාමත් පුදුම සහගත විය. කෙසේ වෙතත් අවසානයේ එහි ප්‍රතිඵලය බවට පත්වූයේ ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ ඉතාමත් ඉක්මනින් බිඳ වැටී අසරණ වීමයි. එම තත්ත්වය තවදුරටත් නරක අතට හරවමින් යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් ද යසීර් ෂාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඒ ලකුණු 10ක් පමණක් ලබා සිටිය දීයි. ඒ අනුව දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුණේ ලකුණු 61කට කඩුලු 3ක් වශයෙනි!

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ එක්වුණු නායක දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න නොපසුබට උත්සාහයකින් යුතුව පිතිකරණයේ යෙදීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් අවදානම් කලාපයෙන් ඉවතට ගමන් කළේය. අද ඔවුන් දෙදෙනා අතරේ ගොඩ නැගුණු සබඳතාවය හරියටම ලකුණු 100ක් ලෙස සටහන් විය. සාමාන්‍යයෙන් ප්‍රථම ඉනිමේ දී අසාර්ථක වී දෙවැනි ඉනිමේ දී ලකුණු අතරට පිවිසෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ දිමුත් කරුණාරත්න අද ඊට හාත්පසින්ම වෙනස් ඉනිමක් ක්‍රීඩා කළේ ක්‍රීඩාලෝලීන්ගේ නොමද ප්‍රශංසාවට ලක් වෙමිනි. ඉතාමත් පරීක්ෂාකාරී ලෙස පන්දු තෝරා බේරාගත් දිමුත් අද ශතකයට ලකුණු 7ක් මෙපිටින් දුවද්දී දැවී යාම එම ප්‍රේක්ෂකයින්ගේ හදවත් මොහොතකට සසල කළ සිදුවීමක් බවට පත්විය.

පන්දුව මිඩ්-ඕන් කලාපය වෙත යොමු කරමින් වේගවත් ලකුණක් කරා දිවගිය දිමුත් වෙත අවධානය නොදක්වා නායක චන්දිමාල් පන්දුව කෙරේ දෑස් රඳවා ගෙන සිටීම මෙම අවාසනාවන්ත සිදුවීමට හේතු විය. කෙසේ වෙතත් අපමණ වෙහෙසක් දරා පන්දු 205කට නිවැරදිව මුහුණ දෙමින් දිමුත් ලබාගත් ලකුණු 93ට දර්ශනීය හතරේ පහර 5ක් ද ඇතුළත් විය. නමුත් තම සගයා දැවී යාමෙන් අනතුරුව සටන අත් නොහළ දිනේෂ් චන්දිමාල් අද දිනය නිමාවන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් ප්‍රථම දිනයේ වැඩි ගෞරවය පාකිස්තානු කණ්ඩායමෙන් උදුරා ගැනීමට සමත් විය. ඒ නොදැවී ලකුණු 60ක් රැස්කර ගනිමිනි.

චන්දිමාල්ගේ කඩුල්ල බිඳ දැමීමට පාකිස්තානුවන් DRS අවස්ථා කිහිපයක් පවා ලබාගත් නමුත් ඒ සෑම අවස්ථාවක දී ම තීන්දුව ලැබුණේ චන්දිමාල් නිවැරදිකරු බවට පත් කරමිනි. මීට අමතරව ලොව කීර්තිමත්ම විනිසුරුවරයෙකු වන රිචඩ් කෙට්ල්බ්‍රෝ විසින් චන්දිමාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරමින් ලබා දුන් දැවී යාමේ තීරණය ද ආපසු හරවන්නට ශ්‍රී ලංකා නායකයාට හැකි විය. චන්දිමාල්ගේ නොසැලෙන ඉනිමට කල්යල් මැන එල්ල කරන ලද පියකරු හතරේ පහර 6ක් ද ඇතුළත් විය.

අද දිනයේ ශ්‍රී ලංකා පිළට සාර්ථක අයුරින් දිනය නිමා කරන්නට දිමුත්ගෙන් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ලගෙන් ද හිමි වූයේ සුළුපටු සහයෝගයක් නොවේ. එක් අන්තයක් ආරක්ෂා කොටගෙන පිටියේ රැඳී සිටි තම නායකයාගේ පීඩනය ඉහිල් කළ ඔහු මැනවින් එල්ල කළ ස්වීප් පහරවල් රැසක් මඟින් පාකිස්තානු පන්දු යවන්නන් නිරුත්තර කළේය. එහි කූටප්‍රාප්තිය ඔහු සනිටුහන් කළේ ලොව භයානකම වේගපන්දු යවන්නෙකු ලෙසින් හැඳින්වෙන මොහොමඩ් ආමීර්ට එල්ල කළ කදිම හයේ පහරක් මඟිනි.

දිනය නිමා වන විට තව තවත් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු වේගය වැඩි කිරීමට දායක වූ ඔහු මේ වන විට පන්දු 63කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 42ක් රැස් කරගෙන සිටියි. ඒ වේගවත් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟිනි. යම් හෙයකින් නිරෝෂන් අද ඉතාමත් ඉක්මනින් දැවී ගියා නම් ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් සමඟින් ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාවට ළඟා වීම ද අසීරු වන්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකා පිළ සම්පූර්ණයෙන්ම අවදානම් කලාපයෙන් මිදී නොමැති නිසා හෙට උදෑසන සැලකිල්ලෙන් පිතිකරණයේ යෙදීම වැදගත් වේ. ඒ අද දින අපහසුවෙන් ගොඩ නගාගත් කීර්තිය හෙට උදෑසනින්ම පාකිස්තානුවන්ට පූජා කිරීම උචිත නොවන බැවිනි.

කෙසේ වෙතත් ලකුණු 61ට කඩුලු 3ක් දැවී ගිය ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4කට ලකුණු 227ක් දක්වා ඉහළට රැගෙන ඒමට දිමුත්, චන්දිමාල් සහ දික්වැල්ල දැක්වූ දක්ෂතාවයන් සැබවින්ම අගය කළ යුතුය. අනෙක් අතින් පාකිස්තානු පන්දු රකින්නන් අද දැක්වූ සුවිශේෂී කැපවීම නොවන්නට ප්‍රථම දිනය නිමා වන විට දී ම ශ්‍රී ලංකාවට ලකුණු 250 සීමාව පසු කිරීමට තිබූ බව ද පැහැදිලි සත්‍යයකි. කෙසේ වෙතත් සංචාරයේ පළමු දිනයම ගෙවී ගිය අයුරු සැලකීමේ දී ඉදිරියේ දී දෙපිළ අතර රසමුසු තැන් කැටිවුණු අපූරු තරග රැසක් දැක ගැනීමට හැකි වන බවට කල් තියාම අනාවැකි පළ කළ හැකිය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 227 (පන්දුවාර 90): දිමුත් කරුණාරත්න 93, දිනේෂ් චන්දිමාල් 60*, නිරෝෂන් දික්වැල්ල 42*, කෞෂාල් සිල්වා 12, කුසල් මෙන්ඩිස් 10, යසීර් ෂා 2/59, හසන් අලි 1/58.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට