ශ්‍රී ලංකාවට නවසීලන්ත උඳුවප් සීතලේ උණුසුම් විය හැකි වේද?

390

උඳුවප් සීතලත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට පිටත් වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ලත් 6 වැනි ස්ථානයේ සිටිය දී ය. නවසීලන්තය එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටී.  එකී තොරතුරුත් සමඟ ThePapare.com හි මේ උත්සාහය නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ සංක්ෂිප්තය විමසා බැලීම ය.

ධනුෂ්ක සහ තිරිමාන්නගෙන් දෙවැනි ඉනිමට හොඳ ආරම්භයක්

නවසීලන්ත තරග සංචාරයේ පුහුණු තරගයේ ආරම්භක …

මේ දක්වා

වසර 35ක ටෙස්ට් තරග ඉතිහාසයකින් හෙබි නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මෙතෙක් තරග 32ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉන් ජය ගත හැකිව ඇත්තේ තරග 8ක් පමණි. පරාජිත තරග සංඛ්‍යාව 14කි. තරග 10ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත.

මංගල තරගාවලිය

නවසීලන්තය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මංගල තරගයකට සහභාගී වෙන්නේ 1983 වසරේ මාර්තුවේ දී ය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් වරම් ලැබූ යම්තම් ක්‍රීඩා කර තිබුණේ තරග 5ක් පමණි.  ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩී. එස්. ද සිල්වා සතු විය. නවසීලන්ත කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ ජෙෆ් හොවාත් ය.

දෙරට අතර තරග දෙකකින් පැවති එම තරගාවලිය 2-0කින් ඉතා පහසුවෙන්ම ජය ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙන්නේ පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 25ක පරාජයක් ද සහ දෙවැනි තරගයෙන් කඩුලු 6ක පරාජයක් ද අප කණ්ඩායමට හිමි කර දෙමිනි.

ඉන් අනතුරුව

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පළමු වරට ජයග්‍රහණය ලබන්නේ 1992 වසරේ දී මෙරට දී ය. ඒ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ය. එස්. එස්. සී. පිටියේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කරන්නේ ය. එපමණක් නොව එම තරගාවලිය 1-0ක් සේ ජය ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

නවසීලන්තයේ දී

ශ්‍රී ලංකාව පළමු වරට නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කරන්නේ 1995 වසරේ දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේම ය. ටෙස්ට් තරග දෙකක තරග සංචාරයක් සඳහා පිටත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු 241ක ජයග්‍රහණයක් වාර්තා කරන අතර දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නේ ය. ඒ අනුව එරට දී ලැබූ මංගල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ද ලබා ගනිමින් අර්ජුන රණතුංග ඉතිහාසයට එක් විය.

අවසන් වරට

අවසන් වරට දෙපිලේ ක්‍රීඩකයන් එකිනෙකා හමුවී ඇත්තේ 2015 වසර අවසානයේ ය. ඒ එරට දී ය. තරග දෙකක තරග සංචාරයක් වෙනුවෙන් පිටත් වූ අපේ ක්‍රීඩකයන්ට එම තරගාවලියේ දී 0-2ක් පරාජයක් හිමි වේ. ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකයා වූ අතර බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්ත නායකයා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට නවසීලන්තය පරාජය කර තිබෙන්නේ 2012 වසරේ නොවැම්බරයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලත් කඩුලු 10ක ජයග්‍රහණයයි. එම තරගය මෙහෙයවීමේ ගෞරවය මහේල ජයවර්ධන සතු වෙන අතර රොස් ටේලර් ප්‍රතිවාදී නායකයා විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසන් වරට නවසීලන්ත ක්‍රීඩකයන්ට එරෙහිව නවසීලන්තයේ දී තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2006 වසරේ දෙසැම්බරයේ ය. ඒ වෙලිංටන් පිටියේ දී පැවති තරගයයි. මහේල ජයවර්ධන එම කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ අතර නවසීලන්තය වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් කටයුතු කළේය.

ඉනිමක වැඩිම සහ අඩුම ලකුණු

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නවසීලන්තයට එරෙහිව ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2005 වසරේ දී නේපියර් හිදී රැස් කරන ලද ලකුණු 498යි. නවසීලන්තය වෙනුවෙන් එය ලියැවී ඇත්තේ වෙලිංටන් හිදී කඩුලු 4ක් දැවී රැස් කරන ලද ලකුණු 671යි. ඒ 1991 වසරේ දී ය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නවසීලන්තය ඉදිරියේ ලබා ඇති අඩුම ලකුණු සංඛ්‍යාව වනුයේ වෙලිංග්ටන් හිදී ලබා ගත් ලකුණු 93යි. 1983 දෙරට අතර පැවති මංගල ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේ දී මේ අවාසනාවන්ත ඉනිම වාර්තා විය. නවසීලන්තය ශ්‍රී ලංකාව ඉදිරියේ දී අඩුවෙන්ම තම ඉනිම නිමා කරගෙන ඇත්තේ 1992 කොළඹ එස්. එස්. සී. පිටියේ දී ලකුණු 102කට දැවී යෑමයි.

පිතිකරු දක්ෂතා (ශ්‍රී ලංකාව)

නවසීලන්තය සමඟ තරගවල දී වැඩිම දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ මහේල ජයවර්ධන ය. ඔහු තරග 13කට ක්‍රීඩා කරමින් ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1028ක් ලබා ඇත. එහි දෙවැනි ස්ථානය කුමාර් සංගක්කාර (887) වෙතත්, තෙවැනි ස්ථානය අර්ජුන රණතුංග (824) වෙතත් හිමිව ඇත.

වර්තමාන කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස් එහි පළමුවැනියා වී සිටී. ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ලකුණු 494ක් ලබා සිටින්නේ අර්ධ ශතක 5ක් ද සමඟිනි.

නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී ක්‍රීඩක ගොන්නේ ප්‍රමුඛයෙක් ලෙසින් බ්‍රෙන්ඩන් කුරුප්පු හැදින්විය හැකිය. ඔහු 1987 දී තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී ද්විත්ව ශතකයක් ලබා ගන්නේ ය. පන්දු 548ක් පුරා පිටියේ රැඳී සිටිමින් ඔහු එම තරගයේ දී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 201කි.

නවසීලන්තයට එරෙහි ඉනිමක වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන්නේ අරවින්ද ද සිල්වා ය. ඔහු 1991 වසරේ ජනවාරියේ නවසීලන්තයේ වෙලිංටන් පිටියේ දී ලකුණු 267ක් ලබා ගන්නේ ය. පන්දු 380කට මුහුණ දුන් අරවින්ද තම ඉනිමට හතරේ පහර 40ක් ඇතුළත් කර ගන්නේ ය. එය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නවසීලන්තයේ දී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද වන්නේ ය.

කුමාර් සංගක්කාර නවසීලන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් සහ ශතක 3ක් රැස් කරමින් ශතකලාභීන් අතර පෙරමුණේ පසු වේ. ඔහු 2015 අවුරුද්දේ දී වෙලිංටන් පිටියේ දී ලකුණු 203ක් රැස් කරන්නේ ය. ඔහු නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී තවත් ශතක දෙකක් රැස් කරන අතර ඉතිරි ශතකය කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී රැස් කරන්නේ ය.

පන්දු යැවීමේ දක්ෂතා

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවසීලන්තයට එරෙහිව වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා ලෙසින් මුත්තයියා මුරලිදරන් පෙරමුණේ පසුවේ. ඔහු තරග 14ක දී ඉනිම් 25ක දී පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 82කි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2006 වසරේ දී වෙලිංටන් හිදී ලකුණු 87කට ලබා ගන්නා ලද කඩුලු 6යි.

එසේ වූවත් නවසීලන්තයට එරෙහිව ඉනිමක සහ තරගයක දී දක්ෂතම පන්දු යැවීම වාර්තා කරමින් ඉහළින් රැඳී සිටින්නේ රංගන හේරත් ය. ඔහු 2012 වසරේ දී ගාල්ලේ දී ලකුණු 43කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සන්තක කර ගන්නා අතර එම තරගයේ දී ලකුණු 108කට ලබා ගත් කඩුලු 11 තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා පොත් අතරට එක්කර ගෙන තිබේ.

පිතිකරු දක්ෂතා (නවසීලන්තය)

ශ්‍රී ලංකාව හා තරගවල වැඩිම ලකුණු ලාභී නවසීලන්ත ක්‍රීඩකයා වන්නේ ස්ටීවන් ෆ්ලෙමින් ය. ඔහු ටෙස්ට් තරග 13ක දී ඉනිම් 23ක දී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 1166කි. එම ලකුණු සංඛ්‍යාව දෙපිලේ ම ක්‍රීඩකයෙක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.  

ස්ටීවන් ෆ්ලෙමින්

ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කර ඇත්තේ ද ශ්‍රී ලංකාවට වීම විශේෂ ය. ඒ 2003 වසරේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී නොදැවී රැස් කරන ලද ලකුණු 274යි. එය දෙරට අතුරින් තනි ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතර සුරැකිව රැඳී ඇත්තේ ය.

පන්දු යැවීමේ දක්ෂතා  

නවසීලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා වන්නේ ඩැනියෙල් විටෝරි ය. ඔහු තරග 11කට ක්‍රීඩා කරමින් ඉනිම් 18ක දී පන්දු යවමින් කඩුලු 51ක් දවාගෙන තිබෙන්නේ ය. ඔහුගේ ශ්‍රී ලංකාවට එරෙහි ව හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ ලකුණු 130කට ලබා ගත් කඩුලු 7යි. එය ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත ක්‍රීඩකයෙක් දක්වන ලද ඉහළම දක්ෂතාව ද වන්නේ ය. එය ද වෙලිංටන් පිටියේ දී වාර්තා වී ඇති අතර අවුරුද්ද ලෙසින් සටහන් වෙන්නේ 2006 වසරයි.

තරගය හොඳම පන්දු යැවීමේ වාර්තාව ශ්‍රීමත් රිඩච් හැඩ්ලි සතු වේ. ඔහු 1984 වසරේ දී කොළඹ සී. සී. සී. පිටියේ දී ලකුණු 102කට කඩුලු 10ක් බිඳ හෙළන්නේ ය.  

ආරම්භ වන තරගාවලිය

මේ තරග වාර්තා මෙවර තරගාවලියේ දී කෙසේ තිබේ දැයි අපිට ඇත්තේ කුකුසකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝත්, නවසීලන්ත ක්‍රීඩකයෝත් තම උපරිමය යොදා මේ තරගාවලියේ දී තමන් වෙත තරගාවලිය නතු කර ගැනීමට උත්සාහ කරනු නොඅනුමාන ය.

එහි උපරිම වාසිය රැඳී ඇත්තේ නවසීලන්ත ක්‍රීඩකයන් වෙත ය. ඔවුන් මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී ද පසුවෙන්නේ ශ්‍රී ලංකාවට වඩා අදියර දෙකකින් ඉදිරියෙනි. අනෙක් අතට ඔවුන් මෙම තරගාවලියට සහභාගී වන්නේ පාකිස්තානය සමඟ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ උණුසුමේ ම ය.

කෙසේ වෙතත් ක්‍රිකට් ගැන අනාවැකි කීම නොහොබිනා කමකි. එය තමන් විසින් තමන්ගේ ම කීර්තිය කෙලසා ගැනීමක් වන්නේ ය. එහෙත් කවුරුත් නොසිතන යමක් වීමේ හැකියාවන් ද ක්‍රිකට් ලෝකයේ සුලබ ය. ශ්‍රී ලාංකික අපගේ බලාපොරොත්තුව වන්නේ ද එවැන්නකි.   

ටෙස්ට් තරගාවලියේ කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය; දෙසැම්බර් 15 සිට 19 දක්වා වෙලිංග්ටන් හිදි
  • දෙවැනි ටෙස්ට් තරගය; දෙසැම්බර් 26 සිට 30 දක්වා ක්‍රයිස්චර්ච් හිදි

ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග 3කින් යුත් එක් දින තරගාවලිය ජනවාරි මස 03 වැනිදා සිට ආරම්භ වීමට නියමිත අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය ජනවාරි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත ය.

මේ තරගාවලියේ තරග වාර්තා හා එසැණ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<