පෙරළිකාර ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව අවසන් 4ට

1283
Pic Credit: Sri Lanka v Malaysia - 11th Asian Netball Championship 2018 (Photo Credits - Netball Singapore)

සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ පිටියේ දී පැවැත්වෙන 11 වන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ කුසලාන වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (5) මැලේසියානු කණ්ඩායම සමඟ පැවති අතර  අතර එම තරගය ලකුණු 62-59ක් ලෙස ජය ගැනීමට ශ්‍රී කණ්ඩායම  සමත් විය.

ප්‍රබල සිංගප්පූරුව ශ්‍රී ලංකාව හමුවේ දණ නමයි!

11 වන වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ තවත් තීරණාත්මක හා වැදගත් තරගයක් ශ්‍රී ලංකාව…

ඊයේ (4) පැවති තරගයේ දී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම නිසා ඔවුන් මේ තරගය සඳහා අවතීර්ණ වූයේ ඉතාමත් ජවසම්පන්න මානසිකත්වයකිනි. නමුත් තරගයේ පළමු කාර්තුව තුල ගියවර ශූරතාවය දිනා ගත් මැලේසියානු කණ්ඩායම ලකුණු 13-15ක් ලෙස ලකුණු දෙකකින් පෙරමුණේ සිටින ලදි. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා – සිංගප්පූරු තරගයේ පළමු කාර්තුවේ දී ද ශ්‍රී ලංකාව තරමක පසුබැස්මක් පෙන්නුම් කළේය.

පළමු කාර්තුව තුල වූ අඩුපාඩුකම් හා මැලේසියානු කණ්ඩායම භාවිතා කරන දැල්පන්දු ක්‍රීඩාවේ දියුණු තාක්ෂණික උපක්‍රම ඉතාමත් ඉක්මනින්ම හඳුනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ දෙවන කාර්තුව තුල ලකුණු 19ක් ලබාගත්තේ මැලේසියානු ලකුණු කිහිපයක්ම අවහිර කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවන කාර්තුවේ දී සිය ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 12ක් පමණි.

ශ්‍රී ලංකාවේ ගෝල විදින්නිය වන ප්‍රබල ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් හට මේ කාර්තුව තුල වැඩි බරපැනක් ඇදීමට සිදු වූ බව පෙනෙන්නට වූයේ කාර්තුවේ නියමිත මිනිත්තු 15ක කාලය තුල ගෝල 19ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකත් වීම නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩිකාවන් වන නායිකා චතුරංගි ජයසූරිය හා ගයනි දිසානායක කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් හා එක්ව සිය වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කරනු දැක ගන්නට ලැබිණි.

පළමු අර්ධය අවසානයේ: ශ්‍රී ලංකාව 32 – 27 මැලේසියාව

ලකුණු 5ක අවාසියක් සහිතව පිටියට පැමිණි මැලේසියානු ක්‍රීඩිකාවන් තෙවන කාර්තුවේ දී හෝ නැවතත් තරගයට අවතීර්ණ වීමට ප්‍රබල ලෙස වෑයම් කළත් ශ්‍රී ලංකාවේ තර්ජනී ගෝල ලබා ගැනීම වැළැක්වීමට මැලේසියානු දස්කම් ප්‍රමාණවත් නොවීය. මේ තියුණු තරගයේ තෙවැනි කාර්තුවේ දී මුළු ලකුණු 48-42ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේ තෙවන කාර්තුවේ දී මැලේසියාව ලබාගත් ගෝල 15ට එරෙහිව ගෝල 16ක් ලබා ගෙනයි.

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉන්දියාවත් මට්ටු කරති

11 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වතාවටත් ලකුණු 100යේ සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ…

තරගයේ තීරණාත්මක හා අවසන් කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ උපක්‍රම තරමක් දුරට හඳුනා ගැනීමට මැලේසියානු ක්‍රීඩිකාවන් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස එම කාර්තුවේ ශ්‍රී ලංකාව රැස්කරගත් ගෝල 14 අභිබවා ගෝල රැස්කර ගැනීමට මැලේසියානු ක්‍රීඩිකාවෝ සමත් වූයේ ගෝල 17ක් රැස්කර ගනිමිනි.

නමුත් තරගයේ දෙවන හා තෙවන කාර්තුවල දී ශ්‍රී ලංකාව තබා ගත් වැඩි ගෝල පරතරය නිසා සම්පූර්ණ කාලය අවසානයේ ගෝල 3ක තියුණු පරතරයක් තබාගෙන මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මේ ලබාගත් ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මෙතෙක්  සිටින අපරාජිත කණ්ඩායම බවට පත්විය.

සම්පූර්ණ කාලය අවසානයේ: ශ්‍රී ලංකාව 62 – 59 මැලේසියාව

මේ තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට (6) හොං කොං කණ්ඩායම සමඟින් පැවැත්වේ. එහි ප්‍රතිඵලය මත  අවසන් පූර්ව තරග කාලසටහන නිකුත් වෙනු ඇත. එම තරගයේ තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<