මැතිව්ස් – තිරිමාන්න සබඳතාවය ටෙස්ට් ජයක බලාපොරොත්තු දල්වයි!

1143
Sportskeeda.com

දිල්රුවන් පෙරේරා සහ ලහිරු ගමගේ අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලීමත්, තිරිමාන්න සහ මැතිව්ස් රැස්කළ අර්ධ ශතක දෙකත් නිසා සුපිරි ටෙස්ට් ජයක බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18) දිනය නිමා වන විට හැකි වී තිබේ.

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 7ක් පමණක් පිටුපසින් සිටින්නේ හෙට දිනයේ හොඳ ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිවයි.

දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!

තණතිල්ලේ ස්වභාවය අනුව අවසන් මොහොතේ කණ්ඩායමට නම් කළ දසුන් ශානකගේ සුවිශේෂී පන්දු යැවීම නිසා අද (17) දිවා විවේකය වන විට තවත් කඩුලු දෙකක් දඩයම්…

අද උදෑසන 9.30ට ශ්‍රී ලංකා කණ්ඩායම කල්කටා පිටියට අවතීර්ණ වෙද්දී ඔවුන්ට තිබූ අභියෝගය ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 හැකි ඉක්මනින් දවා ගැනීමයි. වර්ෂාවෙන් දැඩි බාධා ගෙන දුන් මුල් දින දෙකේ දී ලකුණු 74ට කඩුලු 5ක් බිඳ දමමින් ඔවුන් ඒ වන විට පැසසුම් සහගත කාර්‍යභාරයක් ඉටුකොට තිබුණි. අද දිනය ආරම්භ වී වැඩි වේලාවක් ගත වන්නට පෙරම වාර්තා වූ මුල්ම වැදගත් සිදුවීම වූයේ චෙටෙස්වර් පුජාරා තම 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගැනීමයි.

හතරේ පහර 10ක් අන්තර්ගත වූ පුජාරාගේ පරීක්ෂාකාරී ඉනිමට පන්දු 117ක් වැය විය. අර්ධ ශතකය වාර්තා කරගෙන වැඩි වේලාවක් ගතවන්නට පෙර පුජාරාගේ වටිනා කඩුල්ල බිඳ දැමුවේ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේයි. තණතිල්ල මත ගැටී ඉතාමත් පහතින් කඩුල්ල සොයා ඇදී ගිය පන්දුව පුජාරාගේ පිට ඉන්න බිම පතිත කළේ ඔහුට සිතන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි. ඒ වනවිට ලකුණු 79ට කඩුලු 6ක් ලෙස දිස්වුනු ඉන්දීය ඉනිමට ජීවය දුන්නේ රවින්ද්‍ර ජඩේජා සහ ව්‍රිදිමන් සහා අතරේ ගොඩ නැගුණු ලකුණු 48ක සබඳතාවයයි.

කෙසේ වෙතත් පන්දු යවන්නන්ගේ පාරාදීසයක් මත ගොඩ නැගෙමින් තිබූ මෙම සටන්කාමී සබඳතාවය අවසානයේ බිඳ දමන්නේ මුල්ම වරට අද පන්දු යැවීමට කැඳවූ දිල්රුවන් පෙරේරා විසිනි. එහි දී ලකුණු 29ක් ලබා සිටි ජඩේජාගේ කඩුල්ල ඩැහැ ගැනීමට විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමට ද ඔහුට සිදු විය. එහි දී පුනරූපන මගින් තහවුරු වූයේ මැද ඉන්න සහ පා ඉන්න අතරේ ගැටෙන්නට නියමිත පන්දුව ජඩේජාගේ පා ආවරණයේ ගැටෙන බවයි. එතකින් නොනැවතුනු දිල්රුවන් ලකුණු 29ක් ලබා සිටි ව්‍රිදිමන් සහාව ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් අතට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව ඉන්දීය ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස බුවනේශ්වර් කුමාර්ව දවා ගැනීමට සුරංග ලක්මාල්ගේ පන්දුවකට හැකි විය. වේගය, ඉපිලීම මෙන්ම දෝලනය ද යහමින් කැටිවුනු එම පන්දුව බුවනේශ්වර් වැනි පසුපෙළ පිතිකරුවෙකුට නම් කිසිසේත්ම මුහුණ දීමට හැකි පන්දුවක් නොවීය. කෙසේ වෙතත් මොහොමඩ් ශමී අවසන් මොහොතේ හතරේ පහර 3ක් සමඟින් ලබාගත් ලකුණු 24 නිසා ඉන්දීය කණ්ඩායමට ලකුණු 172ක් දක්වා තම ප්‍රථම ඉනිම ඉහළ නංවා ගැනීමට අවකාශය උදා විය. පන්දු යැවීමේ දී ඉනිම පුරාවටම ඉතාමත් විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු සුරංග ලක්මාල් කඩුලු 4ක් බිඳ හෙලද්දී දිල්රුවන්, දසුන් සහ ලහිරු අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදී ගියේය.

ඉන්දියානු පිතිකරුවන්ට අවාසනාව කැටුව ආ කල්කටා තණතිල්ල මත දී පමණට වඩා ආරක්ෂා වීමට නොගිය ශ්‍රී ලංකා පිතිකරුවන් තරමක් වේගවත් තරග රටාවක් අනුගමනය කරමින් ඉනිම ආරම්භ කළහ. ටෙස්ට්, එක්දින හෝ විස්සයි  විස්ස තරගයක් වේවා පන්දුවට රිදෙන්නට පහර එල්ල කිරීමට ඇලුම් කරන සදීර සමරවික්‍රම අද ලකුණු 23ක් රැස්කළේ පන්දු 22කදීයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර පිටියේ දී අනවශ්‍ය කලබලය පසුතැවිල්ලට හේතු වන බව ඔහු ඉක්මනින් වටහා ගන්නේ නම් ඔහුගේ අනාගත ක්‍රිකට් දිවිය සුරක්ෂිත වනු ඇත.

MAS යුනිචෙලා සහ ඩිමෝ අවසන් මහා සටනට

MAS යුනිචෙලා කණ්ඩායමේ ප්‍රවේගවත් වමත් පිතිකරු දමිත රඹුක්වැල්ලගේ ගිනි කෙළියකටත් එහා ගිය පිතිකරණය හේතුවෙන් MAS යුනිචෙලා කණ්ඩායමත්, තම සුවිශේෂී දක්ෂතා…

පසුගිය තරග රැසක දී ම හොඳින් ලකුණු අතර සිටිමින් ශ්‍රී ලංකාවට ජය මාවත පෙන්වූ දිමුත් කරුණාරත්නට අද දිනයේ දී සාර්ථක වන්නට ඉඩක් ලැබුණේ නැත. ඒ බුවනේශ්වර් කුමාර් එවූ ඇතුළට දෝලනය වූ පන්දුවක් ඔහු පහරක් එල්ල නොකරම පා ආවරණයේ දවටාගත් බැවිනි. ඒ අනුව නව ක්‍රිකට් නීතිරීති අනුව යමින් එය කඩුල්ල මුවා කිරීමක් ලෙස සළකා දැවී යාම සටහන් කිරීමට විනිසුරු නයිජල් ලෝන්ග් පියවර ගත්තේය. පිටියෙන් ඉවත් වන විට දිමුත් රැස් කරගෙන සිටියේ ලකුණු 8ක් පමණි.

මේ වන විට ලකුණු 34ට කඩුලු 2ක් බිඳ වැටීමෙන් බොඳව යමින් තිබූ ශ්‍රී ලංකා බලාපොරොත්තුවලට නැවතත් ජීවය දුන්නේ තිරිමාන්න සහ මැතිව්ස් අතරේ ගොඩ නැගුණු ලකුණු 99ක විශිෂ්ට සබඳතාවයයි. එහි දී කලකට පසු ජාත්‍යන්තර පිටියට පිවිසුණු ඇන්ජෙලෝ මැතිව්ස් සහ පසුගිය කාලයේ ටෙස්ට් පිටියේ ලකුණු අතර නොසිටි ලහිරු තිරිමාන්න යන දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීම ශ්‍රී ලංකා පිළේ සැනසිල්ලට හේතු විය. තම පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසින් තිරිමාන්න අද ලකුණු 51ක් රැස්කර ගත්තේ ඉතාමත් දර්ශනීය හතරේ පහර 8ක් සමඟිනි.

තිරිමාන්න දැවී යාමෙන් මොහොතකට පසු ලකුණු 52ක් ලබා සිටි ඇන්ජෙලෝ මැතිව්ස් ද පිටිය හැර ගියේ උමේෂ් යාදෙව්ගේ වේගපන්දුවකට ගොදුරු වීමෙනි. කෙසේ වෙතත් ඉතාමත් විශ්වාසවන්ත අයුරින් ඉනිම ගොඩ නගමින් සිටි මෙම පිතිකරුවන් දෙදෙනාම කෙටි කාලයක් තුල දැවී යාමෙන් ශ්‍රී ලංකාවට අත්වූයේ සුළුපටු පාඩුවක් නම් නොවේ. තත්ත්වය තවදුරටත් නරක අතට හරවමින් නිරෝෂන් දික්වැල්ල දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරමින් වැරදි විනිසුරු තීරණයක් හිමි වුවද එය DRS තාක්ෂණය ආධාරයෙන් ආපසු හරවා ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකි විය.

මේ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායමට අපක්ෂපාතී ලෙස ලැබුණු වැරදි විනිසුරු තීරණ කිහිපයක්ම ගෙවී ගිය දින තුන තුල දී දැකිය හැකි විය. කෙසේ වෙතත් අද අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන තුරුම තම කඩුලු ආරක්ෂා කරගෙන පිටියේ රැඳී සිටින නායක චන්දිමාල් (13*) සහ දික්වැල්ල (14*) නොබිඳුණු ලකුණු 27ක වටිනා සබඳතාවයක් ගොඩ නගා තිබේ. පන්දු යැවීමේ දී බුවනේශ්වර් කුමාර්ගේ දෝලනය සහ උමේෂ් යාදෙව්ගේ වේගය ඉදිරියේ ශ්‍රී ලංකා පිළේ කඩුලු දෙක බැගින් බිඳ වැටුණි.

තරගයේ තීරණාත්මක දිනය වන හෙට දිනයේ ශ්‍රී ලංකා පිළ ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අනුව තරගයේ අවසන් ජයග්‍රාහකයා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට ගොඩ නැගී තිබේ. ශ්‍රී ලංකා පිළ හෙට සන්ධ්‍යා කාලය දක්වාම පිතිකරණයේ යෙදෙමින් ලකුණු 300 සීමාව ඉක්මවා ගියහොත් ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමේ සුපිරි අවස්ථාවක් හිමි වන අතර වඩාත් වැදගත් වන්නේ පන්දු යවන්නන්ට වාසි ගෙන දෙන පස්වැනි දිනයේ දී ඉන්දීය කණ්ඩායම නැවතත් පිතිකරණය සඳහා කැඳවමින් ඔවුන් තවදුරටත් පීඩනයට ලක් කිරීමයි.

ඉන්දියාව – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3): චෙටෙස්වර් පුජාරා 52, ව්‍රිදිමන් සහා 29, මොහොමඩ් ශමී 24, රවින්ද්‍ර ජඩේජා 22, බුවනේශ්වර් කුමාර් 13, සුරංග ලක්මාල් 4/26, දිල්රුවන් පෙරේරා 2/19, දසුන් ශානක 2/36, ලහිරු ගමගේ 2/59.

ශ්‍රී ලංකාව – කඩුලු 4ක් දැවී ලකුණු 165 (පන්දුවාර 45.4): ලහිරු තිරිමාන්න 51, ඇන්ජෙලෝ මැතිව්ස් 52, නිරෝෂන් දික්වැල්ල 14*, දිනේෂ් චන්දිමාල් 13*, බුවනේශ්වර් කුමාර් 2/49, උමේෂ් යාදෙව් 2/50.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න