දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!

2547
Sri Lanka v India test series 2017 1st Test day 2 report

තණතිල්ලේ ස්වභාවය අනුව අවසන් මොහොතේ කණ්ඩායමට නම් කළ දසුන් ශානකගේ සුවිශේෂී පන්දු යැවීම නිසා අද (17) දිවා විවේකය වන විට තවත් කඩුලු දෙකක් දඩයම් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අනුව තරග 3කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දී මේ වන විට කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටින්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.

සුරංග ලක්මාල්ගේ පන්දු යැවීමෙන් ප්‍රේක්ෂකයෝ අන්දමන් වෙති

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය, …

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනය පන්දුවාර 11.5කට සීමා වුවද අද උදෑසන නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට අවකාශය උදා විය. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ චෙටෙස්වර් පුජාරා සමඟින් අජින්ක්‍යා රහානේයි. දිනය ආරම්භ කරන විටත් ලකුණු 17කට කඩුලු 3ක් බිඳ වැටී තම ප්‍රේක්ෂකයින් ඉදිරියේම අසීරුතාවයට පත්වී සිටි ඔවුන් ඉනිම ගොඩ නැගුවේ ඉතාමත් මන්දගාමී ලෙසයි. ඊයේ දිනයේ කිසිදු ලකුණක් ප්‍රතිවාදීන්ට ලබා නොදෙමින් කඩුලු 3ක් බිඳ හෙලූ සුරංග ලක්මාල්ට එරෙහිව ඔවුන් පළමු ලකුණ රැස් කළේ ද ඔහු ක්‍රියාත්මක කළ 8 වැනි පන්දු වාරයේදීයි!

දිනය ආරම්භ වී වැඩි කල්වේලා යන්නට පෙර නායක දිනේෂ් චන්දිමාල් තරමක් පෙරළිකාර තීරණයක් ගත්තේ විශේෂඥ වේගපන්දු යවන්නෙකු වන ලහිරු ගමගේට වඩා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දසුන් ශානක පන්දු යැවීමට කැඳවමිනි. එය පුහුණුකරුවන්ගේ හෝ නායකත්වයේ තීරණයක් වේවා එහි විශිෂ්ට ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින්ම දැකගත හැකි විය. ඒ පාදයක් පෙරට තමා ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට ගිය අජින්ක්‍යා රහානේ දසුන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 4කට දැවී ගිය බැවිනි. යන්තමින් පිත්තේ දැවටුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල සුරැකිව රැක ගැනීමත් සමඟම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 30ට කඩුලු 4ක් බවට පත්විය.

පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම සමඟ එක්වුවද පසුව පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා දක්වමින් ශතක කිහිපයක් පවා රැස්කළ රවිචන්ද්‍රන් අශ්වින් ඉන් අනතුරුව පිටියට පිවිසියේ බිඳ වැටෙන ඉන්දීය ඉනිම සුරැකීමේ බලාපොරොත්තුවෙනි. පන්දු 29කට මුහුණ දෙමින් ඔහු කණ්ඩායමට තම දායකත්වය දැක්වීමට උත්සාහ දැරූව ද ඔහුටත් කඩුල්ල අහිමි වූයේ දසුන් ශානක යැවූ පන්දුවක් හමුවේයි. පාලනයකින් තොරව ඔහු එල්ල කළ ඩ්‍රයිව් පහර කෙළින්ම පොයින්ට් හි පන්දු රැකි දිමුත් කරුණාරත්න රැක ගැනීමත් සමඟ අශ්වින්ගේ ඉනිම ලකුණු 4කට සීමා විය.

ඉන් අනතුරුව පිටියේ එක්වුණු චෙටෙස්වර් පුජාරා (47*) සහ ව්‍රිදිමන් සහා (6*) අතරේ නොබිඳුණු ලකුණු 24ක සබඳතාවයක් මේ වනවිට ගොඩ නැගී තිබේ. මෙම ලකුණු සබඳතාවය ඉතාමත් කෙටි කාලයක් තුල වර්ධනය වීමට දිනේෂ් චන්දිමාල් පන්දුව දිමුත් කරුණාරත්නට භාර කිරීම ද වැඩි වශයෙන් හේතු විය. ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර දෙකේ දී ඉන්දියානුවන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 17ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව අද පෙරවරු 11 පමණ වන විට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 74ක් ලබා සිටියි.

ටී. එම්. සහ මහරූෆ් නිසා MAS යුනිචෙලා නැවත හිස ඔසවයි

සුපිරි තරගාවලියක අවසානයක පෙර නිමිති පහළ කරමින් අද (16) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ …

මෙම සටහන ලියැවෙන විටත් කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් පිටියට වර්ෂාව ඇද වැටෙමින් පවතින නිසා ඉතා ඉක්මනින් තරගය ආරම්භ වේ යැයි බලාපොරොත්තු විය නොහැකි වී තිබේ. කෙසේ වෙතත් තරගය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට පීඩනයෙන් මිදෙන්නට ඉඩ නොදෙමින් ඉතිරි කඩුලු කිහිපයත් සොරා ගැනීම වඩාත් වැදගත් වේ. ඒ පන්දු යවන්නන්ට වැඩි වාසි සලසන මෙම තණතිල්ල මත දී ලකුණු 175ක 200ක ඉලක්කයක් වුවද අභියෝගාත්මක විය හැකි බැවිනි.

ඉන්දියාව – කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 74 (පන්දුවාර 32.5): චෙටෙස්වර් පුජාරා 47*, ශිකර් ධවාන් 8, ව්‍රිදිමන් සහා 6*, සුරංග ලක්මාල් 3/5, දසුන් ශානක 2/23.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<