ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලියක් නිතර දකින කුකුලාගේ සුදුවට පෙනෙන කරමලයක් වැනි තත්ත්වයට පත් වූ වකවානුවක්ද තිබූ නමුත්, මේ අසල්වැසියන්ගේ ක්‍රිකට් ප්‍රතිවාදීත්වය පූර්ණ තරගාවලියක් ලෙස දිගහැරෙන්නේ වසර 8කට පසුවයි.

ටෙස්ට් ක්‍රිකට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ 3 වන ස්ථානයේ පසුවන කණ්ඩායමයි. එබැවින් ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 7 වන ස්ථානය දක්වාත්, එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ 8 වන ස්ථානය දක්වාත් පසු බැස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය අතිශය ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පිලේ නායකත්වය ලහිරු තිරිමාන්නට

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර හෙට (21) ආරම්භ වීමට…

ඉන්දීය කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ගාලු ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගය පරාජයේ මාරු කටින් බේරාගෙන අනපේක්ෂිත ජයග්‍රහණයක් වෙත රැගෙන යන්නට දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත්ගේ විශිෂ්ට දක්ෂතා මගින් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද ඉතිරි තරග දෙකම ජය ගනිමින් තරගාවලිය ජයග්‍රහණය කරමින් තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගන්නට ඉන්දීය ක්‍රීඩකයන් සමත් විය.

ටෙස්ට් තරගාවලියේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය නායක විරාත් කෝලි පැවසුවේ එවක ආධුනික මට්ටමේ පසුවූ තම කණ්ඩායම පරිණත මට්ටමට පත්වීමේ ආරම්භක පියවර ලෙස එම ටෙස්ට් තරගාවලිය සැලකිය හැකි බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහභාගී නොවුනේ ඔහුට උණ රෝගය වැළඳී තිබීම හේතුවෙනුයි. කෙසේ වෙතත් චන්දිමාල් පීඩා විඳින්නේ ඩෙංගු රෝගයෙන් නොවන බව පරීක්ෂණයකින් තහවුරු කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා මෙහි දී පැවසීය.

චන්දිමාල් වෙනුවට එක්දින සහ පන්දුවාර 20 නායක උපුල් තරංග පැමිණ සිටි අතර ඔහු පැවසුවේ සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද එක්දින පරාජයෙන් පහත වැටී තිබූ ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය ටෙස්ට් තරගයේ දී ප්‍රදර්ශනය කළ වාර්තාගත හඹා යාම හේතුවෙන් වැඩි දියුණු වූ බවයි.

ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාව හමුවේ තරග වැදීම සඳහා ඇති එකම සැලසුම ක්‍රීඩකයන්ගේ කුසලතා දියුණු කර ගැනීම පමණක් බව පෙන්වා දුන් උපුල් තරංග වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ ද, ලොව අංක එකේ කණ්ඩායම ලෙස මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානුවන් තරග 3 – 0ක් ලෙස පරාජය කළ ආකාරයෙන්ම ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමේ හැකියාවක් ද ක්‍රීඩකයන් සතුව තිබිය හැකි බවයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න ඉන්දීය තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා මෙහි දී අනාවරණ කළ අතර ඔහු වැඩි දුරටත් පැවසුවේ ධම්මික ප්‍රසාද් යලි සිය පුහුණුවීම් ආරම්භ කර ඇති නමුත් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට තරම් ඔහුගේ සූදානමක් නොමැති බවයි. මේ අතර ශාමින්ද එරංගගේ පන්දු යැවීමේ නව ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අනුමත කර තිබුණ ද, ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන පුහුණු තරගය සඳහා හෝ ඔහු නම් කර නොමැත.

”මෙය පූර්ණ තරගාවලියක් නිසා අපිට තිබෙන්නේ ප්‍රබල අභියෝගයක්. නමුත් කණ්ඩායමක් විදිහට අපි කැමතියි ඒක භාර ගන්න. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ දී පරාජය කිරීම ඉතා අසීරු කාර්යයක්. අපි තරගාවලිය පුරාවටම ඒ බව මතක තබා ගත යුතුයි. ඔවුන් මේ දිනවල තරමක් පහළ මට්ටමක පසු වන බව ඇත්ත. නමුත් කිසිම කණ්ඩායමක් සුළු කොට තැකිය නොහැක. ඕනෑම කණ්ඩායමක් එකම පිතිවලින් සහ පන්දුවලින් තමයි  ක්‍රීඩා කරන්නේ.” ඉන්දීය නායක විරාත් කෝලි තරගාවලිය පිළිබඳ සිය අදහස් පල කළේ එලෙසින්.

ඉන්දීය කණ්ඩායමේ නව  පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතා ද ශ්‍රී ලංකාව පිළිබඳ සිය මතකයන් අවදි කළේ මෙලෙසින්. ”මගේ ගමන් බලපත්‍රයේ වැදුණු පළමු මුද්‍රාව තමයි ශ්‍රී ලංකාව. ඒ මගේ පළමු 19න් පහළ සංචාරයේ දී. ඉන් අනතුරුව විස්තර විචාරකයෙකු ලෙස මගේ පළමු සංචාරය ලැබුණෙත් ශ්‍රී ලංකාවට. ඒ වගේම ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියන තනතුර යටතේ මගේ පළමු සංචාරයත් ශ්‍රී ලංකාවටයි.”  

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ දෙදින පුහුණු තරගය අද (21) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 26 වැනි බදාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<