ඉන්දීය ක්‍රිකට් දඩබිමේ ශ්‍රී ලාංකිකයෝ නැවතත් අසරණ වේ

487
Sri Lanka V India 3rd Test Day 1
AFP PHOTO

දඩබිමක සිදුවන දඩයමක දී දුර්වලයාට කිසිදු ඉඩක් නොතැබීම ප්‍රබලයාගේ ගතියයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද එයාකාරයෙන් ම සිදු වේ. ඉන්දීය භූමියේ දී එම දඩයම සිදුවෙන්නේ නම් එය අතිශය භයානක ය. විශේෂයෙන්ම විරාත් කෝලි වැනි දඩයක්කරුවෙක් ඉදිරියේ ශ්‍රී ලංකාවේ සියල්ලෝම දුර්වලයෝ ය. ඊට මුරලි විජේ වැන්නෝ ද එක් වේ නම් තත්ත්වය තවත් භයානයක ය.

තෙවන ටෙස්ට් තරගයෙන් තිරිමාන්න ඉවතට?

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය පසුගිය දා අවසන් නිමා වූයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ලබාගත් දරුණුතම පරාජයක්…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ නිමා වූ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දණ ගස්වමින්  ඉන්දීය ක්‍රිකට් දඩයක්කරුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 371ක් ලබා ගත්තේ එකී නියතය නැවත නැවතත් පසක් කරමිනි.

අද (02) තරගයේ දී කෝලි තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කළේ එවැන්නක් අඩුම තරග සංඛ්‍යාවකින් කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා වෙමිනි. කෝලි මේ සහභාගී වෙන්නේ තම 105 වැනි තරගයට ය. දිනය නිමා වන විට කෝලි පන්දු 186කට මුහුණ දී හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 156ක් ලබා සිටියි.

කෝලි සහ මුරලි විජේ අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 283කි. මුරලි විජේ ලකුණු 155ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වනවාත් සමඟින් ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 361ක් විය. මුරලි විජේ අද රැස් කරනු ලැබුවේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිට ලබාගත් දෙවැනි ශතකයයි. එමෙන්ම තමන්ගේ ටෙස්ට් තරග දිවියේ ලකුණු 150 කඩඉම ඉක්ම වූ සිව්වැනි ඉනිමයි. ඔහුගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන්නේ ද 167කි.

ඉන්දීය දඩයක්කරුවන් ගැනම ලියැවුණු තරගයේ පළමු දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමකින් හෝ සැනසුමක් ලැබුණේ දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා තම ටෙස්ට් ක්‍රිකට් තරග දිවියේ කඩුලු 100 වාර්තා කිරීමයි. මෙම කඩුලු ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලබා ගත් ඉක්මන්ම කඩුලු ශතකය ද වන්නේ ය. මුත්තයියා මුරලිදරන්ට කඩුලු 100ක් ලබා ගැනීමට තරග 27ක් වැය වී තිබුණි. නමුත් දිල්රුවන් මේ සහභාගී වෙන්නේ 25 වැනි ටෙස්ට් තරගයට ය.

ක්‍රිකට් පිටියේ උන්මාදනීය සුදු හමුදාව – The Barmy Army

මිචෙල් ජොන්සන් රැන්ඩ්වික් අන්තයේ යාර 30 සීමාව අසල පන්දුව අතැතිව පිතිකරු මයිකල් කාබෙරි දෙස එක එල්ලේ බලා සිටියි…

ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් නිමාවේ දී ම 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් අද (02දා) දිල්ලි ක්‍රීඩාංගණයේ තණතිල්ල මත දී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාත් කෝලි පළමු වෙන් පන්දුවට පහර දීම තම කණ්ඩායමට බාර ගත්තේ කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් දෙකක් කරමිනි.

ඒ ආරම්භක පිතිකරු භූමිකාවට ලෝකේෂ් රාහුල් වෙනුවට ශිකර් ධවාන් ද උමේෂ් යාදෙව් වෙනුවට මොහොමඩ් සමී ද එක්කර ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 3ක් සිදුව තිබුණි. ඒ අනුව අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට 29 හැවිරිදි රොෂේන් සිල්වා සමත් විය. පළමු පෙළ තරග 103කට ක්‍රීඩා කර ඇති රොෂේන් සිල්වා ශතක 18 සහ අර්ධ ශතක 50ක් සමඟින් ලබා ඇති පළමු පෙළ ලකුණු සංඛ්‍යාව 6433කි. ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් සම්ප්‍රාප්තිය වෙනුවෙන් කණ්ඩායමෙන් ඉවතට විසි වූයේ ලහිරු තිරිමාන්න ය.

ලහිරු තිරිමාන්න සමඟින් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දසුන් ශානක සහ රංගන හේරත් ද තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කර තිබුණි. ඒ වෙනුවට ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවා තිබුණි.

<

ඉන්දීය ආරම්භක පිතිකරුවන්ගේ භූමිකාව එතරම් සාර්ථක නොවූයේ ලකුණු පුවරුව 42 තිබිය දී ශිකර් ධවාන් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වීම නිසා ය. සුරංග ලක්මාල් විසින් රැකගත් උඩ පන්දුව හේතුවෙන් ධවාන්ට අද රැස්කර ගත හැකි වූයේ ලකුණු 23ක් පමණි. එම ඉනිමට පන්දු 35ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 4ක් ඇතුලත් කර තිබුණි.

අනතුරුව පිටියට පිවිසි ටෙචෙස්වර් පුජාරාට ද පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. ඔහු ලහිරු ගමගේ ගේ පන්දුවකට සධීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඉන්දීය ඉනිම ලකුණු 78 රැඳී තිබුණ අතර ඔහුගේ ඉනිමට එක්ව තිබූ ලකුණු සංඛ්‍යාව 23කි.

ඉන්දීය ඉනිමේ ලකුණු 100 පන්දු 144ක දී වාර්තා වූයේ කඩුලු දෙකක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමෙන් අනතුරුව ය. එහෙත් ඊට පසුව නැවත වතාවක් හිස එසවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉඩ නොතැබූ ඉන්දීය පිතිකරුවෝ තරගය තම ග්‍රහණයට ගත්තේ ඉතාම සටන්කාමී ඉනිමකට නිරත වෙමිනි. දහවල් විවේකයට තරගය නතර කරන විට ඉන්දීය ඉනිම කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 116ක් ලෙසිනි.

අනතුරුව දිවා විවේකයේ සිට තේ විවේකය දක්වා වන කාර්තුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කළ කෝලි සහ මුරලි එතැන දී එක් කළ ලකුණු සබඳතාව 129කි. තේ විවේකයට පෙර මුරලි විජේ තම ටෙස්ට් තරග දිවියේ 11 වැනි ශතකය වාර්තා කළේ ය. ඒ පන්දු 163කට මුහුණ දෙමින් ඉන් පන්දු 9ක් ම හතරේ සීමාව පසු කරවමිනි. 

“නායකයෙකුගේ දැක්ම පසුපස බැලීම නොව ඉදිරිය බැලීමයි” – තිසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී, එළඹෙන ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ…

තේ විවේකයෙන් අනතුරුව ලක්ෂාන් සඳකැන් විසින් යැවූ 29 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවේ දී මුරලි විජේ දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂාන් දික්වැල්ලගේ ක්ෂණික කඩුලු බිඳ දැමීමත් සමඟිනි. ඒ ආකාරයෙන්ම වූ කඩුලු බිඳ දැමීමක් හේතුවෙන් සිව්වැනි කඩුල්ලත් සඳකැන්ගේ ඊළඟ පන්දු වාරයේ දී ද සිදුවෙමින් අජින්ක්යා රහනේ එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යැවුණි.

දිනය නිමා වන විට විරාත් කෝලි සමගින් අනෙක් අන්තයෙන් රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 6ක් රැස් කරගෙන සිටියේ ය. දිනයේ දැවී ගිය කඩුලු 4න් දෙකකම හිමිකරු වූයේ ලක්ෂාන් සඳකැන් ය. සඳකැන් මේ සඳහා පන්දු වාර 23ක් යැවුණ අතර ලබා දුන් ලකුණු සංඛ්‍යාව 110කි.

අනෙකුත් කඩුලු අතරින් දිල්රුවන් පෙරේරා සහ ලහිරු ගමගේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගිය අතර සුරංග ලක්මාල්ට සහ ධනංජය ද සිල්වාට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට හැකි වූයේ නැත.

හෙට (02දා) තරගයේ දෙවැනි දිනයයි.   

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 371 (90.0) මුරලි විජේ 155, ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි නොදැවී 156, ලක්ෂාන් සඳකැන් 2/110

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <