ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය නිමා වීමට තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම තරගාවලි ජය තහවුරු කර ගන්නට අද (27) ඉන්දීය කණ්ඩායම සමත්කම් දැක්වීය. එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රාහ්, රෝහිත් ශර්මා සහ එම්. එස්. දෝනි දැක්වූ සුවිශේෂී දස්කම් කැපී පෙනුණු අතර ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තරගය අතරතුර දී සිදු කළ බාධා කිරීම් නිසා තරගය අතරමග නතර කිරීමට ද සිදු විය!

තරංගට තරග දෙකක් තහනම්; නව නායකයෙක්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ විස්සයි 20 කණ්ඩායමේ නායක උපුල් තරංග හට තරග දෙකක තහනමක් පැනවීමට ICCය තීරණය..

කෙටි කාල සීමාවක් තුල දී දෙවැනි වතාවටත් අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංගට තරග 2ක තහනමක් හිමිවූ අතර ඔහු වෙනුවට අද කණ්ඩායමේ නායකත්වය දැරුවේ දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරයි. එහි දී මෙම සංචාරයේ ගෙවී ගිය තරග 6ක් තුල දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමි කර දීමට ද ඔහු සමත්කම් දැක්වීය. ඒ අනුව ඔහු තීරණය කළේ කලින් තරගයේ දී සිදු කළ අන්දමින්ම මුලින් පන්දුවට පහර දීමටයි.

lahiru-thirimanneශ්‍රී ලංකා පිළේ නිත්‍ය ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම නිසා සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට අද කණ්ඩායමට එක්වී සිටියේ කලක් ශ්‍රී ලංකා පිළේ නිත්‍ය පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්නයි. මීට අමතරව උපුල් තරංගගේ හිඩැස පිරවීම සඳහා දකුණත් පිතිකරු දිනේෂ් චන්දිමාල් ද කණ්ඩායම සමඟ එක්වී තිබුණි. ඉන්දියානු කණ්ඩායම අදත් තරග බිමට පිවිසියේ තම ජයග්‍රාහී කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමිනි.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කැපී පෙනෙන වෙනස්කමක් සිදු කරමින් දකුණත් පිතිකරු දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසීම දිනයේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් බවට පත්විය. ඔහුගේ පිතිකරණ සගයා ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල අද දැවී ගියේ ලකුණු 13ක් පමණක් ලබාගෙන තිබියදීයි. ඒ වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රාහ් දියත් කළ පන්දුවාරයේ දී සාර්ථක DRS අවස්ථා දෙකක්ම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ලබාගත් අතර ඉන් දෙවැනි අවස්ථාවේ දී නිරෝෂන් දික්වැල්ලට තම කඩුල්ල අහිමි විය.

ඉන් සුළු මොහොතකට පසු බුම්රාහ්ගේ තවත් පන්දුවක් කුසල් මෙන්ඩිස්ට තම කඩුල්ල අහිමි කළ අතර ශරීරයට ඈතින් ඇදී ගිය පන්දුවකට නොසැලකිලිමත් ලෙස පිත්ත යොමු කිරීම ඔහු සිදු කළ වරද බවට පත්විය. මේ වන විට එක්දින කණ්ඩායමේ තම ස්ථානය පවා අභියෝගයට ලක්වී ඇති කුසල් මෙන්ඩිස් අදත් රැස්කර ගත්තේ එක් ලකුණක් පමණි. ඉන් අනතුරුව මාස 18කට පමණ පසු දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න ලකුණු සබඳතාවයකට මුල පිරූ නමුත් එක්දින තරගයක් සඳහා උචිත වේගයක් රඳවා ගැනීමට ඔවුන් දෙදෙනාට හැකි වූයේ නැත.

පන්දු 71කට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල් අද ලකුණු 36ක් පමණක් රැස් කරමින් දැවී ගියේ ඔවුන් දෙදෙනා අතරේ ඇතිවූ ලකුණු 72ක සබඳතාවය නිමාවට පත් කරමිනි. දීර්ඝ කාලයකට පසුව ජාතික කණ්ඩායම සමඟ එක්වූ ලහිරු තිරිමාන්න එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටිය දී ඔහුට සහයෝගය ලබා දීමට ඇන්ජෙලෝ මැතිව්ස් (11), චාමර කපුගෙදර (14) වැනි නිත්‍ය පිතිකරුවන් සමත් නොවීම ද දිනයේ සිදු වූ තවත් කණගාටුදායක සිදුවීමක් බවට පත්විය. මේ සියල්ල මැද තනිවම සටනක් ලබා දුන් ලහිරු තිරිමාන්න අද පන්දු 105ක් තුල දී ලකුණු 80ක් රැස්කර ගත්තේ සාධාරණ හේතුවකින් තොරව තමන්ව මාස 18ක කාලයක් එක්දින කණ්ඩායමෙන් ඉවත් කළ තේරීම් කමිටුවේ නළලත රැළි ගන්වමිනි. ඔහුගේ 17 වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට අයෙක් ඉතිරිව නොසිටි අතර මිලින්ද සිරිවර්ධන පන්දු 27කින් ලකුණු 29ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 217ක් දක්වා යාමට මාර්ගය තනා දුන්නේය. ඔහුගේ කඩුල්ල ද ඇතුළුව නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ලහිරු තිරිමාන්න වැනි තීරණාත්මක කඩුලු කිහිපයම අද දවා ගත්තේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ් විසිනි. ඔහු අද තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 27ට කඩුලු 5ක් දවා ගත්තේ නිලකුණු පන්දුවාර 2ක් ද සමඟිනි!

Jasprit-Bhumraඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වූයේ පන්දුවාර 50ක් තුල දී ලකුණු 218ක පහසු ඉලක්කයකි. කෙසේ වෙතත් එය හඹා යාමට පැමිණි ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ගේ කඩුල්ල ලකුණු 5කට බිඳ දමමින් පැරණි කෝන්තරයක් පිරිමසා ගැනීමට අද ලසිත් මාලිංග සමත් විය. ඒ වයස්ගත වීමත් සමඟම තමාගේ වේගය සහ ඉලක්කය දුර්වල වී ඇති බවට කියමින් ධවාන් සිදුකර තිබූ ප්‍රකාශයකට කදිම පිළිතුරක් ඔහුටම ලබා දෙමිනි!

ඉන් සුළු වේලාවක් ගතවෙද්දී ලකුණු 3ක් පමණක් ලබා සිටි විරාත් කෝලිව දවා ගැනීමට සමත් වන්නේ නවක ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු විසිනි. මේ වන විට ලොව සිටින සුපිරිතම ක්‍රීඩකයෙකු මෙන්ම ඉන්දියානු නායකයා ද වන කෝලිව තම මංගල එක්දින කඩුල්ල ලෙසින් දවා ගැනීමට හතරේ සීමාව ආසන්නයේ සිට දුෂ්මන්ත චමීර රැකගත් දර්ශනීය උඩපන්දුව ද හේතු සාධක විය. චමීර ද අද දිනයේ පැයට කිලෝමීටර් 145 ද ඉක්මවා පන්දු යැවූ නමුත් කඩුල්ලක් දවා ගැනීමට තරම් වාසනාවන්ත නොවීය.

ඉනිමේ මැද භාගයේ දී පන්දුව අකිල ධනංජය අතට භාර කිරීමට නායක චාමර කපුගෙදර පියවර ගත්තේ කලින් තරගයේ දී දැක්වූ විශිෂ්ට දක්ෂතා යළි දැක්වීමට ඔහුට ඉඩ හසර විවර කර දෙමිනි. ඒ අනුව අද දිනයේ අකිලගේ මැජික් පන්දුවට ගොදුරු වූ ලෝකේෂ් රාහුල්ට ලකුණු 17ක් ලබා සිටිය දී කඩුල්ල අහිමි විය. ඒ ආරක්ෂාවට වඩා ප්‍රහාරය උචිත බැව් සිහියට නගාගෙන ඔහු එල්ල කළ පුල් පහරක් ලහිරු තිරිමාන්නගේ දෑතේ රැඳීමත් සමඟයි. ඉන් අනතුරුව පිටියට පිවිසි කෙඩාර් ජාදෙව් ද කඩුල්ල කෙලින්ම පැමිණෙන පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් තම කඩුල්ල අකිලට පූජා කළේය.

ඒ වන විට ලකුණු 61ට කඩුලු 4ක් ලෙසින් දිස්වූ ඉන්දියානු ඉනිම ලකුණු 217කට මෙපිටින් නතර කළ හැකි බවක් පෙනෙන්නට තිබුණ ද සියල්ල උඩු යටිකුරු වන්නේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පිටියට පිවිසීමත් සමඟයි. ඔහු අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් රෝහිත් ශර්මා සමඟ එක්වෙමින් නොබිඳුනු ශතක සබඳතාවයක් ගොඩ නැගීමට අද දිනයේ දී සමත්කම් දැක්වීය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා අද නොදැවී ලකුණු 124ක් රැස්කළේ පන්දු 145කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් සහ හයේ පහර ද්විත්වයකින් වර්ණවත් විය. සෑම විටෙකම එකම රිද්මයකින් ප්‍රහා‍රය දියත් කරන ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද මනා ආදර්ශයක් වෙමින් ඔහු නිවැරදිව පන්දු තෝරා බේරාගෙන පිතිකරණයේ යෙදුණු අයුරු සැබවින්ම විශිෂ්ට විය.

Rohit Sharmaඅනෙක් අන්තයේ සිට ඉන්දීය කණ්ඩායමේ ජය තහවුරු කළ එම්. එස්. දෝනි නොදැවී ලකුණු 67යි. ඔහුගේ ඉවසිලිවන්ත ඉනිම හතරේ පහර 4කින් සහ එක් හයේ පහරකින් සමන්විත විය. තරගය නිමාවීමට තවත් ලකුණු 8ක් තිබිය දී ශ්‍රී ලංකා පිළේ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳ උරණ වූ ක්‍රීඩාලෝලීන් හතරේ සීමාව දෙසට ප්ලාස්ටික් බෝතල් විසි කරමින් විරෝධය පළ කිරීම නිසා තරගය මදකට නතර කරන්නට ද විනිසුරුවරුන්ට සිදු විය. පසුව දැඩි ආරක්ෂාව යටතේ තරගය නිමාවන තුරුම පැවැත්වීමට බලධාරීන්ට හැකියාව ලැබුණි. ප්‍රේක්ෂකයින්ගේ මෙවන් හැසිරීම් අනුමත කළ නොහැකි වුවත් දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු සැලසුමකින් තොරව නොකඩවා ලබා ගන්නා පරාජයන් හේතුවෙන් ඔවුන් ඉතාමත්ම කලකිරීමකට ලක්වී ඇති බව නම් නිමාවුණු තරගවල දී ඇතිවූ සිද්ධීන් සමඟ පැහැදිලි වේ.

කෙසේ වෙතත් මේ සියල්ල මැද ඉන්දීය කණ්ඩායමට තරග 3 – 0ක් ලෙස තරගාවලි ජයග්‍රහණය හිමි වූයේ තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී මය. මෙම සංචාරය පුරාවට ශ්‍රී ලංකා පිළ පිට පිටම උරුම කර ගත් 6 වැනි පරාජය මෙයයි. අද තරගයේ වීරයා සම්මානය සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු බොඳ කළ ජස්ප්‍රිට් බුම්රාහ්ට හිමි විය. ගෞරවය රැක ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ සිව්වැනි එක්දින තරගය ලබන 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට