ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනිති

587
Sri Lanka V India 3rd ODI
AFP PHOTO

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරගාවලියක ජයග්‍රහණයක් ලබා ගැනීමේ ආසන්නතම අවස්ථාවට පැමිණිය ද එම අවස්ථාව ඉතාම පහසුවෙන් උදුරා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව හා පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්හ.

T10 ගිය ක්‍රීඩකයෝ හිස් අතින්ම ගෙදර එයි

සුපිරි තරගාවලියක නැවුම් බවත්, උණුසුමත් ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ..

විශාඛාපට්නම් ක්‍රීඩාංගණයේ දී 17 දා පැවති අවසන් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ තරගය ජය ගත්තේ කඩුලු 8කිනි. ඒ තරගය නිමා වීමට තවත් පන්දු වාර 17ක් ඉතිරිව තිබිය දී ය. මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය ක්‍රීඩකයෝ මෙම වසරේ දී සහභාගී වූ එක්දින ජාත්‍යන්තර 29න් 21කම ජයග්‍රහණ වාර්තා කිරීමට ද සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු වාර 44.5ක් අවසානයේ දී සියලුම දෙනා දැවී ලකුණු 215ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමේ දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 219ක් ලබා ගත්තේ 33 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දීය.

අද තරගය සඳහා දෙපිලේම ක්‍රීඩකයෝ සහභාගී වූයේ දෙවැනි එක්දින ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් එක් වෙනස්කමක් බැගින් සිදු කරමිනි . ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න වෙනුවට සධීර සමරවික්‍රම ද ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් වෙනුවට කුල්දීප් යාදේව් කණ්ඩායම්වලට කැඳවා තිබුණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි මෙහෙවරක් කරනු ලැබුවේ ආරම්භක පිතිකරු උපුල් තරංගය. තරංග මෙම තරගයේ දී තමන්ගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 36 වැනි අර්ධ ශතකය ලබා ගත්තේය. ඔහු අවාසනාවන්ත ලෙස දැවී යද්දී පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියේය.

කුල්දීප් යාදේව්ගේ පන්දුවකට ඉතා ම ක්ෂණයකින් ක්‍රියාත්මක වූ කඩුල්ල පිටුපස සිටි මහේන්ද්‍ර සිං දෝනි තරංග දවාගත් ක්‍රීඩකයෙක් ලෙසින් කළ ඉල්ලීම ඉතාම ආන්දෝලාත්මක විය. තීරණය ලබා දීම තෙවැනි විනිසුරු වෙත යොමු කරද්දීත් තරංග දෝනිගෙන් විමසා සිටියේ කුමක් අරඹයා එවැන්නක් සිදු කරන්නේ ද යන්නයි. දෝනිගේ තීරණය වූයේ තරංග තමන්ගේ සීමාවට ඉදිරියෙන් සිටි බවකි. තෙවැනි විනිසුරුවරයාගේ ද එය ම වූ බැවින් උපුල් තරංගට ශතකය පෙනි පෙනි තම ඉනිම නිමා කිරීමට සිදු විය.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක (13) ගේ දැවී යෑමෙන් අනතුරුව සධීර සමරවික්‍රම සමඟ එක්වූ තරංග දෙවැනි කඩුල්ලට ලකුණු 136ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. සධීර සමරවික්‍රම ඉතාම අගනා මෙහෙවරක් තම කණ්ඩායමට කර සිටිය දී ලකුණු 47කට දැවී ගියේය. ඔහුගේ ඉනිම පන්දු 57කින් සමන්විත අතර ඊට අලංකාර හතරේ පහර 5ක් ඇතුළත් වුණි.

තරංගගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 7 ලකුණු 55ක් තුළ දවා ගැනීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අතර යම් තරමකින් හෝ සාර්ථක පිතිකරුවන් වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න පමණි. ඔවුන් දෙදෙනා ලකුණු 17 බැගින් ලබා ගත්හ.

කඩුලු ලබා ගැනීමේ දී කුල්දීප් යාදේව් සහ යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 3 බැගින් දවා ගත් අතර හර්දික් පාණ්ඩේ කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ ෂිකර් ධවාන් ය. ඔහු පන්දු 85ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තේය. ධවාන් තමන්ගේ 95 වැනි ජාත්‍යන්තර එක්දින ඉනිමේ දී 12 වැනි ශතකය රැස් කළ අතර ඒ අතරම ඔහු තමන්ගේ එක්දින දිවියේ ලකුණු 4000 පසු කිරීමට ද සමත් විය.

හතරේ පහර 11යි, හයේ පහර 5යි; කුසල්ගෙන් දැවැන්ත ශතකයක්

දේශීය ක්‍රිකට් පිටිය අසිරිමත් සිදුවීම් රැසකින් පිරී ගිය අද (17) දිනයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ A..

ඊට අමතරව ශෙර්යාස් අය්යර් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ දෙවැනි අර්ධ ශතකයයි. ධවාන් සහ අය්යර් අතර දෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 135ක් විය.

කඩුලු ලබා ගැනීමේ දී අකිල ධනංජය සහ තිසර පෙරේරා කඩුල්ල බැගින් දවාගත් අතර ඉන්දීය ප්‍රහාරය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 8 දෙනෙක්ම භාවිතා කළේය.

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 215 (44.5) උපුල් තරංග 95, සධීර සමරවික්‍රම 42, ඇන්ජලෝ මැතිව්ස් 17, අසේල ගුණරත්න 17, හර්දික් පාණ්ඩේ 2/49, කුල්දීප් යාදේව් 3/42, යුස්වේන්ද්‍ර චහාල් 3/46

ඉන්දියාව; කඩුලු දෙකක් දැවී 219 (32.1) ෂිකර් ධවාන් නොදැවී 100, ශෙර්යාස් අයියර් 65, දිනේෂ් කාර්තික් 26

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න