ශ්‍රී ලංකා පිළ තම මව්බිමේ දී ම අන්ත අසරණ වෙයි!

1191
Sri Lanka v India

වර්තමානයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග තවදුරටත් උත්සන්න කරමින් අද (06) නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 53ක පරාජයක් අත්විය.

පරාජය පෙනෙන මානයේ දී පොඩි කුසල්ගෙන් විශිෂ්ට ශතකයක්!

තවත් ටෙස්ට් ජයග්‍රහණයක් කරා වේගයෙන් පියවර මනිමින් සිටි ඉන්දියානු කණ්ඩායමේ ජය ගමන යම් පමණකින් අඩාල කිරීමට…

දීර්ඝ කාලයක් තිස්සේ දූරදර්ශී සැලසුම්වලින් තොරව කණ්ඩායම නම් කිරීමත්, නිසි කළමනාකාරිත්වයක් නොමැති වීමත්, ක්‍රීඩකයින් තමන්ට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන නොගැනීමත් නිසා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේ දී පවා ලබන්නේ ඉතාමත් දරුණු ආකාරයේ පරාජයන් සමූහයකි.

මීට දින 4කට පෙර ඇරඹුණු දෙවැනි ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය ජය ගන්නට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමට ඔවුන් වැඩි රුචිකත්වයක් දැක්විය. ඒ අනුව තම පළමු ඉලක්කය අතිශයින්ම සාර්ථක කර ගත් ඉන්දියානුවන් ලකුණු 622ක දැවැන්ත ලකුණු පුවරුවක් කොළඹ SSC පිටියේ නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් චෙටෙස්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානේ ශතක වාර්තා කරමින් ප්‍රමුඛත්වය ගත් අතර කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ද තම වගකීම වටහා ගනිමින් පළමු ඉනිම ලකුණු රැසකින් පෝෂණය කළහ.

ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළ තමන්ට හොඳින් හුරුපුරුදු SSC පිටියේ දී ම ඉන්දියානු දඟපන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වෙමින් රැස්කර ගත්තේ ලකුණු 183ක් පමණි. ඒ සඳහා පන්දුවාර 50ක්වත් වැය නොවීය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම් දැරිය යුතු උපුල් තරංග, ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් වැනි පිතිකරුවන් ලකුණු 15කටත් අඩුවෙන් දැවී යාම සමස්ත පිතිකරණ බල ඇණියම බිඳ දැමීමට දැඩි බලපෑමක් ඇති කළේය. පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් බිඳ හෙලූ අතර රවින්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ශමී කඩුලු 2 බැගින් දවා ගත්හ.

මෙම අපකීර්තිමත් ප්‍රථම ඉනිම නිසා දෙවැනි ඉනිමත් ඒ සමඟින්ම ක්‍රීඩා කිරීමේ අවමානයට ද ලක් වන්නට ශ්‍රී ලංකා පිළට සිදු විය. එහි දී ද කණ්ඩායමේ තමන්ට ඇති කාර්‍යභාරය වටහා නොගත් උපුල් තරංග ඉනිම ආරම්භයේ දී ම තම කඩුල්ල පූජා කළේ ලකුණු 2ක් පමණක් ලබා සිටියදීයි. කෙසේ නමුත් දින තුනකින් නිමාවීමට තිබූ තරගය දින 4කට දීර්ඝ කළ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගූහ. ඊයේ සවස් භාගයේ දී හතරේ පහර 17ක් සමඟින් ලකුණු 110ක් ලබාගත් කුසල් මෙන්ඩිස් හාර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ දැවී ගිය ද ඒ වන විට ඔහු කණ්ඩායම වෙනුවෙන් ඉටුකර තිබූ සේවය සුළුපටු නොවීය.

අද දිනයේ දී තමන් ඊයේ නතර කළ තැනින් ඉනිම ඇරඹූ දිමුත් කරුණාරත්න දර්ශනීය හතරේ පහරක් සමඟින් තම ටෙස්ට් දිවියේ 6 වැනි ශතකය වාර්තා කර ගත්තේය. ඒ ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ජයඝෝෂා මැදයි. දිමුත් අද ලකුණු 96ක් ලබා සිටිය දී ලෝකේෂ් රාහුල් අතට උඩපන්දුවක් ලබා දුන්න ද එය ඔහු අතින් ගිලිහී යාම ඔහු සතුව තිබූ වාසනාව ඉස්මතු වුනු මොහොතක් බවට පත්විය. අද දහවල් රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ දැවී යන විට දිමුත් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 141ක් ලබා සිටියේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

නියුමෝනියා තත්වයෙන් යන්තමින් සුවය ලැබූ පමණින් නැවතත් කණ්ඩායම සමඟ එක්වූ නායක දිනේෂ් චන්දිමාල්ගෙන් ද වටිනා සේවයක් හිමි නොවූ අතර දෙවැනි ඉනිමේ දී ඔහු ලබා ගත්තේ ලකුණු 2ක් පමණි. මැදපෙළ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල පිළිවෙළින් ලකුණු 36ක් සහ 31ක් බැගින් රැස් කළ ද මෙවන් දැවැන්ත ලකුණු ගණනක් හඹා යාමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. තමන්ට හිමි වූ අවස්ථාවෙන්  කිසිදු ප්‍රයෝජනයක් නොගත් ධනංජය සිල්වා දෙවැනි ඉනිමේ දී ද රැස්කර ගත්තේ ලකුණු 17ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අද සියල්ලන්ම දැවී ලකුණු 386කට සීමා විය.

අවසානයේ ටෙස්ට් තරගයකට උචිත ආක්‍රමණශීලි පන්දු යැවීමක් නොතිබීමත්, පිතිකරුවන් රැසකට දිගු ඉනිම් කරා යාමට නොහැකි වීමත් නිසා තම මව්බිමේ දී ම ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. පන්දු යැවීමේ දී රවින්ද්‍ර ජඩේජා කඩුලු 5ක් දවාගත් අතර රවිචන්ද්‍රන් අශ්වින් සහ හාර්දික් පාණ්ඩ්‍යා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගයේ වීරයා ලෙසින් සම්මාන හිමිවූයේ පන්දුවෙන් කඩුලු 7ක් බිඳ හෙලා පිත්තෙන් ලකුණු 70ක් රැස්කළ රවින්ද්‍ර ජඩේජාටයි. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

[/vc_column_text][/vc_column][/vc_row]

SCORECARD