මොහාලි පිටියේ දී නැවතත් ශ්‍රී ලංකාවට සුපුරුදු අවාසනාව

341

පරාජයන් දුසිමකට තිත තැබූ තරගයෙන් අනතුරුව පැවති ජයග්‍රාහී තරගයේ උණුසුම මැකී යාමටත් මත්තෙන් නැවත වතාවක් පරාජයක් කරපින්නා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද (13) මොහාලි හී දී සිදු වූහ.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අවසානයේ දී 1-1ක් සේ තරගාවලිය සම තත්ත්වයේ තැබීමට ඉන්දීය ජයග්‍රහණය ඉවහල් විය.

තාම ලක්මාල් ඔහුගේ ඉහළම දක්‍ෂතාවය පෙන්නුවේ නැහැ – රුමේෂ් රත්නායක

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසන අන්දමට වේගපන්දු යවන ක්‍රීඩක සුරංග…

ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු 392ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් පමණි. ඒ අනුව නිමා වූ එම තරගයෙන් ලකුණු 141ක පරාජයක් විදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූහ.

දිනයේ පළමු අර්ධය සහමුලින්ම ලියැවුණේ ඉන්දීය ක්‍රීඩකයන් වෙතය. පළමු තරගයේ දී පළමු ක්‍රීඩකයන් පස් දෙනාගේ ලකුණු එකතුව 13 වෙමින් අන්ත පසුබෑමකට ලක් වූ ඉන්දීය ක්‍රීඩකයෝ මෙම තරගයේ දී එහි වාඩුව ගත්තේ පළමු ක්‍රීඩකයන් 5 දෙනා එක්ව පන්දුවාර 50ම ක්‍රීඩා කරමිනි. අතිරේක ලකුණු නොමැතිව ඔවුන් රැස් කළ ලකුණුවල එකතුව වූයේ 379කි.

අතිරේක ලකුණු ද එක්ව ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 392ක් මොහාලි පිටියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ද වන්නේ ය. මීට ප්‍රථම මෙම වාර්තාවට හිමිකම් කීවේ 2011 වසරේ දී දකුණු අප්‍රිකාව විසින් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 351යි.

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ඉතාමත් ආරක්ෂාකාරීව පිති හරඹයේ යෙදෙණු දක්නට ලැබුණි. කෙසේ වෙතත් පිටියේ තරමක් ස්ථාවර වීමේ ඉඩකඩ ලැබූ විගසම ආරම්භක පිතිකරුවෝ තම ප්‍රහාරයන් හිත්-පිත් නොමැති ආකාරයට ක්‍රියාත්මක කිරීමට වග බලා ගත්හ.

ඒ අනුව වඩාත් දරුණුවට පිත්ත හැසිර වූයේ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ රෝහිට් ෂර්මා ය. ඔහු අද තමන්ගේ එක්දින තරග පිටියේ තෙවැනි ද්විත්ව ශතකය වාර්තා කළේය. ඉන්දීය ඉනිම නිමා වන විට ඔහු පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 13කින් සහ හයේ පහර 9කින් තම ඉනිම සරසා ගනිමින් නොදැවී ලකුණු 208ක් ලැබුවේය. එය මොහාලි පිටියේ ක්‍රීඩකයෙක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය ද වන්නේය.

රෝහිට් ෂර්මා තම 16 වැනි ශතකය වාර්තා කරද්දී පන්දු 115ක් වැය වී තිබුණ ද ඊළඟ ලකුණු 100 ලබා ගැනීමට වැය කළේ පන්දු 36ක් පමණක් වීම කැපී පෙණුනි. රෝහිට් ෂර්මා මීට ප්‍රථම ද ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් (264) රැස් කරගෙන සිටියේ, තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ පෞද්ගලික හොඳම ඉනිම ලෙසින් ද වාර්තා පොත් සරසමිනි. ඒ 2014 වසරේ දී ය. එක්දින තරග පිටියේ ද්විත්ව ශතක 7ක් මෙතෙක් වාර්තා වී ඇති අතර ඉන් 3ක ම හිමිකාරිත්වය රෝහිට් ෂර්මා සතු වීම විශේෂ වේ.

ෂිකර් ධවාන් අද තම එක්දින තරග දිවියේ 23 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් ද සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය. ඔහු දැවී යද්දී ඉන්දීය ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 115ක් සේ කියැවිණි.

තිසර ඉතිහාසගත ජයග්‍රහණයකට සැරසෙයි

මේ වන විට කණ්ඩායමේ නායකත්වය දරන තිසර පෙරේරා එම ධුරයේ කෙතරම් කාලයක් කටයුතු කරනු ඇත්ද යන්න තවමත්…

අනතුරුව පිටයට පිවිසි යොවුන් ක්‍රීඩක ශෙර්යාස් අය්යර් නායක රෝහිට් ෂර්මාට එක්වෙමින් දෙවැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 213ක් දක්වා රැගෙන ආවේය. තම එක්දින තරග දිවියේ දෙවැනි තරගයට සහභාගී වූ අයියර් ලකුණු පුවරුව 328ක් තිබිය දී කඩුල්ල අහිමි කර ගත්තේ තමන්ගේ ඉනිම පන්දු 70ක දී ලකුණු 88ක්ව තිබිය දී ය. ඔහුගේ එම ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර දෙකකින් අලංකාර වී තිබුණි.

පන්දු යැවීමේ දී නායක තිසර පෙරේරා දැවැන්ත ප්‍රහාරයක් මධ්‍යයේ වූවද ලකුණු 80කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව ලබා ගත් එක ම කඩුල්ලේ හිමිකරු වූයේ සචිත් පතිරණ ය.

වේගපන්දු යවන නුවන් ප්‍රදීප් එක්දින පිටියේ දැඩිව ප්‍රහාරයට ලක් වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පිවිසියේ 10-0-106-0ක් සේ තම පන්දු යැවීම නිසා ය. ඉන්දීය ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 7 දෙනෙක් ‍යොදා ගත්ත ද ඔවුන්ට ද නායකයාට අවැසි යමක් කිරීමේ හැකියාවක් අද තරගයේ දී නොතිබුණි.

ජයග්‍රහණය සඳහා පන්දු වාරයකට ලකුණු 7.86ක වේගයක් අවශ්‍යව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක එකී ඉලක්කය ආසන්නයට පැමිණීමට හෝ ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. එසේ වූව ද ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වෙමින් අද තමන්ගේ එක්දින තරග පිටියේ ලකුණු 5000 සීමාව පසු කළ 10 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් විය.

මැතිව්ස් තම එක්දින තරග දිවියේ දෙවැනි ශතකය අද වාර්තා කළේ 122 වැනි පන්දුවේ දී ය. මීට ප්‍රථම ඔහුගේ හොඳම එක්දින ඉනිම ලෙසින් වාර්තා වී තිබුණේ ඉන්දීය කණ්ඩායමටම එරෙහිව රන්චි හි දී නොදැවී රැස් කළ ලකුණු 139යි. ඉනිම නිමා වෙද්දී මැතිව්ස් පන්දු 132ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවුණ ලකුණු 111ක් රැස්කර ගෙන සිටියේ ය.

නිරෝෂාන් දික්වැල්ල අද තමන්ගේ එක්දින තරග පිටියේ දහස් වැනි ලකුණ ලබා ගැනීමට සමත් වූවේය. නමුත් ඔහුගේ ඉනිම ලකුණු 22කට සීමා විය. කලකට පසු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අසේල ගුණරත්නට ද අද දවසේ දී වැඩි වගකීමක් දැරීමට ඉඩක් ලැබුවේ නැත. ඔහුගේ ඉනිම පන්දු 30කට හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් විය. කෙසේ වෙතත් ඔහු මැතිව්ස් සමඟ එක්වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 44ක් එක් කිරීමට දායක වූවේය.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 60කට කඩුලු 3ක් ද ජාස්ප්‍රිට් බුම්රා ලකුණු 43කට කඩුලු 2ක් ද දවාලමින් දක්ෂතා දැක්වූහ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින තරගය මේ මස 17දා දිවා රාත්‍රි තරගයක් ලෙසින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 1.30ට විශාඛාපට්නම් හි දී ආරම්භ වීමට නියමිත ය.

ඉන්දියාව; කඩුලු 4ක් දැවී 392 (50.0) රෝහිට් ෂර්මා නොදැවී 208, ෂිකර් ධවාන් 68, ශෙර්යාස් අයියර් 88, තිසර පෙරේරා 3/80

ශ්‍රී ලංකාව; කඩුලු 8ක් දැවී 251 (50.0) ලහිරු තිරිමාන්න 21, නිරෝෂාන් දික්වැල්ල 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 111, අසේල ගුණරත්න 34, යුස්වේන්ද්‍ර චහාල්  3/60, ජාස්ප්‍රිට් බුම්රා 2/43

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<