දෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව දැඩි අවදානම් කලාපයට!

3351

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට සංචාරක ඉන්දියානු කණ්ඩායම තරගයේ ග්‍රහණය තවදුරටත් දැඩි කිරීමට සමත්ව සිටියි. මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 154ක් පමණක් ලබා සිටින්නේ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 446ක් පසුපසින් සිටිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවතත් පිතිකරණයේ යෙදීමේ අවමානයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 247ක් ලබා ගත යුතුව ඇත.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පිතිකරණ පාඩමක්!

දීර්ඝ සහ අතිශයින්ම වැදගත් සංචාරයක සමාරම්භය සනිටුහන් කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ….

කෙසේ වෙතත් ඊයේ (26) දිනයට වඩා තරමක් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක් නිරූපණය කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දිවා කාලය එළඹෙන විට ඉන්දීය පිතිකරුවන් සියලු දෙනාම දවා ගැනීමට සමත් වීම අගය කළ යුතුය. මන්ද ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 399ක් රැස්කර සිටි ඔවුන් අද දිනයේ ගොඩ නැගීමට බලාපොරොත්තු වූයේ ලකුණු 600කටත් එහා ගිය ලකුණු පුවරුවක් වූ බැවිනි. එහි දී වැඩි කල්වේලා නොයවාම ශතකලාභී චෙටෙස්වර් පුජාරාව පිටියෙන් ඉවත් කරමින් තම හුදකලා සටන තවත් පියවරකින් සාර්ථක කර ගන්නට ඊයේ දිනයේ බිඳ වැටුණු කඩුලු තුනේම හිමිකරු බවට පත්වූ නුවන් ප්‍රදීප් සමත් විය.

කඩුල්ල පිටුපස සිට නිරෝෂන් දික්වැල්ල රැකගත් උඩපන්දුව පිටියේ විනිසුරු රිචඩ් ඉලින්වර්ත් ස්ථිර කිරීමෙන් අනතුරුව පුජාරා පිටිය හැර ගියේ ලකුණු 153ක් රැස්කර ගැනීමෙන් අනතුරුවයි. ඔහුගේ දැවැන්ත ඉනිම හතරේ පහර 13කින් වර්ණවත් විය. ඉන් අනතුරුව නුවන් ප්‍රදීප්ගේ සහායට නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර එක්වූයේ පිටියේ ස්ථාවර වෙමින් සිටි අජින්ක්‍යා රහානේව ක්‍රීඩාගාරයට හරවා යවමිනි. ඒ වන විට රහානේ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් රැස් කරගෙන සිටියේය. ඉන් අනතුරුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් රවිචන්ද්‍රන් අශ්වින් සහ ව්‍රිදිමන් සහා අතරේ ගොඩ නැගුණු බැවින් ඉන්දීය ඉනිම ක්‍රමයෙන් ලකුණු 500 සීමාවට ආසන්න විය.

අවසානයේ ඉන්දීය කඩුලු රකින පිතිකරු ව්‍රිදිමන් සහා දවා ගනිමින් එම සබඳතාවය නිමා කිරීමට රංගන හේරත් සමත් වූයේ ප්‍රථම ඉනිමේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු බිඳ හෙලූ එකම කඩුල්ල එය බවට පත් කරමිනි. පසුගිය ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පිළිබඳ විශ්වාසය තබමින් මලින්ද පුෂ්පකුමාරව තවදුරටත් බංකුවේ තබමින් තරගය සඳහා එක්වුණු දිල්රුවන් පෙරේරාට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකියාවක් උදා නොවීය. ඉන්දියානු ඉනිමේ ලකුණු වේගය ඉහළ දැමූ රවිචන්ද්‍රන් අශ්වින් සහ හාර්දික් පාණ්ඩ්‍යා පිළිවෙළින් ලකුණු 47 සහ 50 බැගින් රැස් කළේය.

ඒ අතුරින් විවේචන රාශියක් මැද මංගල තරගයට ක්‍රීඩා කළ හාර්දික් පාණ්ඩ්‍යා තම පළමු තරගයේ දීම හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් වාර්තා කරගත් වේගවත් අර්ධ ශතකය තේරීම් කමිටුව තමා පිළිබඳව තැබූ විශ්වාසයට සාධාරණය ඉටු කිරීමක් බවට පත්විය. අවසානයේ ලකුණු 517කට කඩුලු 8ක් බිඳ වැටුණු ඉන්දීය ඉනිම වෙනුවෙන් මොහොමඩ් ශමී හයේ පහර 3ක් සමඟින් ලබාගත් ලකුණු 30 ද එකතු වීමත් සමඟ මුළු ලකුණු 600 දක්වා ඉන්දීය ප්‍රථම ඉනිම වර්ධනය විය.

පන්දු යැවීමේ දී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලකුණු 132කට කඩුලු 6ක් දවා ගත්තේය. ඒ තම කෙටි ටෙස්ට් දිවියේ පළමු ‘ඉනිමක කඩුලු 5 බැගින් දවා ගැනීම’ සනිටුහන් කරමිනි. මීට අමතරව ඊයේ දිනයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ ලහිරු කුමාර අද දිනයේ ඒ සියල්ල අමතක කරමින් ප්‍රබලව සටනට අවතීර්ණ වූයේ ලකුණු 131කට කඩුලු 3ක් දවා ගනිමිනි. දඟ පන්දු යවන්නන්ගේ සහයෝගය අවම වූ වටපිටාවක් තුල දී මෙම වේග පන්දු යවන්නන් දෙදෙනා දැක්වූ දක්ෂතාවයන් ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණු නමුත් ඉන්දියානුවන්ගේ ප්‍රහාරය වැළැක්වීම සඳහා නිවැරදි පිළිතුරක් කිසිදු පන්දු යවන්නෙකු සතු නොවීම ශ්‍රී ලංකා පිළේ පසුබැසීමට හේතුවිය.

ඒ අනුව ලකුණු 600ක දැවැන්ත අභියෝගයක් දෙවුර මත පටවාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් තම ඉනිම ආරම්භ කළ අතර පළමුවෙන්ම එම අභියෝගය පැහැර හැරියේ වමත් පිතිකරු දිමුත් කරුණාරත්න විසිනි. මෙවන් බොහෝ තීරණාත්මක අවස්ථාවල දී සිදුවන පරිද්දෙන් ලකුණු 2ක් පමණක් ලබා සිටි දිමුත් අද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී පිටිය හැරගියේ ශ්‍රී ලංකාවට DRS අවස්ථාවක් ද අහිමි කරමිනි. ඒ පන්දුව මැද ඉන්නේ වදින්නට නියමිත අනිවාර්ය දැවී යාමක් සඳහා විනිසුරු තීරණය නැවත සලකා බැලීමේ අවස්ථාව ද ලබා ගනිමිනි!

ඉන් අනතුරුව උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක අතරේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුණ ද හඹායන දැවැන්ත ඉලක්කය සැලකිල්ලට ගැනීමේ දී ඊට වඩා වැඩි දායකත්වයක් ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය කර තිබුණි. චන්දිමාල්ගේ අඩුව පිරවීම සඳහා කණ්ඩායමට ඇතුළත් වූ ධනුෂ්ක ගුණතිලක අද ලකුණු 16කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ශමී සමත් වීමත් සමඟ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියානු ක්‍රීඩකයින් අතට පත්විය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම උපුල් තරංග පිත්තෙන් යම් සටනක් ලබා දුන් අතර ඔහු ලකුණු 64ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාම ඉන්දියානුවන්ට ලැබුණු ප්‍රසාද දීමනාවක් බඳුවිය. පන්දු 44ක් තුල දී වාර්තා වූ තරංගගේ අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ වේගවත්ම අර්ධ ශතකය ලෙසින් ඉතිහාසයට එක්විය. අද දිනයේ අසාර්ථක පිතිකරුවන් ගොන්න අතරට එක්වූ නිරෝෂන් දික්වැල්ල අද රැස්කළේ ලකුණු 8ක් පමණි. ඒ ශ්‍රී ලංකාවට තරගය බේරා ගැනීමේ අවස්ථාව ඉතාමත් අවම මට්ටමක් දක්වා පහතට දමමිනි.

මේ වන විට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54ක් රැස් කරගෙන සිටියද ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමේ අනාගතය නම් කිසිසේත්ම සුබවාදී වන්නේ නැත. ඒ මේ වන විටත් යමක් කළ හැකි පිතිකරුවන් සියලු දෙනාම පාහේ ක්‍රීඩාගාරයේ විවේක සුව විඳිමින් සිටින බැවිනි. අසේල ගුණරත්න පළමු දිනයේ දී ආබාධයකට ලක්වීම නිසා ඔහු පිතිකරණයේ යෙදීම සැක සහිත වීමත් සමඟම ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ ඉතාමත් දැඩි අවදානම් කලාපයේයි. පන්දු යැවීමේ දී මොහොමඩ් ශමී කඩුලු 2ක් ද, උමේෂ් යාදෙව් සහ රවිචන්ද්‍රන් අශ්වින් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

SCORECARD
India - BattingToss: India
Shikhar Dhawanc Mathews b Pradeep190 (168)
Abhinav Mukundc Dickwella b Pradeep12 (26)
Chesteshwar Pujarac Dickwella b Pradeep153 (265)
Virat Kohlic Dickwella b Pradeep3 (8)
Ajinkya Rahanec Karunarathne b Kumara57 (130)
Ravinchandran Ashwinc Dickwella b Pradeep47 (60)
Wriddhiman Sahac Perera b Herath16 (32)
Hardik Pandyac De Silva (Sub) b Kumara50 (49)
Ravindra Jadejab Pradeep15 (24)
Mohammed Shamic Tharanga b Kumara30 (30
Umesh YadavNot Out11 (10)
TotalExtras (16)600 (133.1 overs)
Sri Lanka - BowlingOMRW
Nuwan Pradeep3121326
Lahiru Kumara25.131313
Dilruwan Perera3011300
Rangana Herath4061591
Danushka Gunathilaka70430
Sri Lanka - BattingToss: India
Dimuth KarunarathneLBW b Yadav2 (9)
Upul TharangaRun Out 64 (93)
Danushka Gunathilakac Dhawan b Shami16 (37)
Kusal Mendisc Dhawan b Shami0 (4)
Angelo Mathewsc Kohli b Jadeja 83 (130)
Niroshan Dickwellac Mukund b Ashwin8 (15)
Dilruwan PereraNot Out92 (132)
Rangana Herathc Rahane b Jadeja9 (13)
Nuwan Pradeepb Pandya10 (26)
Lahiru Kumarab Jadeja2 (12)
Asela GunaratneDNB
TotalExtras (5)291 (78.3 overs)
India - BowlingOMRW
Mohammed Shami122452
Umesh Yadav141781
Ravichandran Ashwin275841
Ravindra Jadeja22.33673
Hardik Pandya30131