ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පිතිකරණ පාඩමක්!

1378

දීර්ඝ සහ අතිශයින්ම වැදගත් සංචාරයක සමාරම්භය සනිටුහන් කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නිවැරදිව ටෙස්ට් ඉනිමක් ගොඩ නගන අයුරු දැක බලා ගැනීමට අවස්ථාවක් උදාවිය. ඒ ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායම අද දිනයේ සියලු ගෞරව තමන් සතුකර ගනිමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 399ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගූ බැවිනි.

අසේල ගුණරත්නගේ දායකත්වය අවිනිශ්චිතයි

2017 ඉන්දියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ගාල්ලේදී ඇරඹුණු අතර එහිදී සිය වමතේ මහපට ..

මීට දින කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අභිනව නායකයා බවට පත්වූ දිනේෂ් චන්දිමාල් තම මංගල ටෙස්ට් අභියෝගය සිම්බාබ්වේ දේශයට එරෙහිව සාර්ථක ලෙස ජය ගැනීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස නිව්මෝනියා රෝගී තත්වයට ගොදුරු විය. එබැවින් අද තරගයේ දී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ භාරදූර වගකීම හිමි වූයේ රංගන හේරත්ටයි. කෙසේ වෙතත් පිතිකරණ පාරාදීසයක් ලෙසින් දිස්වූ ගාලු තණතිල්ල මත දී සුවිශේෂී සාධකයක් බවට පත්වූ කාසියේ වාසිය ජය ගැනීමට නම් ඔහුට හැකි වූයේ නැත.

තරගාවලියේ ඉදිරි තරග සඳහා ධනාත්මක මානසිකත්වයක් ගොඩනගා ගැනීමට අතිශයින්ම වැදගත් වූ අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් ක්‍රීඩකයෙකුට මංගල ටෙස්ට් වරම් හිමිකර දී තිබුණි. ඒ පසුගිය ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දියාවට රිදෙන්නට පහර දුන් 26 හැවිරිදි වමත් පිතිකරු ධනුෂ්ක ගුණතිලකටයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරන 140වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් අද ගෞරවයට පාත්‍ර විය.

ඉන්දීය කණ්ඩායම අද තරගය සඳහා පුහුණු තරගයේ දී සුවිශේෂී දස්කම් දැක්වූ චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් කැඳවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද ඔවුන් තම දඟ පන්දු යැවීම රවිචන්ද්‍රන් අශ්වින් සහ රවින්ද්‍ර ජඩේජා මඟින් සපුරා ගැනීමට තීරණය කොට තිබුණි. අත්දැකීම් සහිත පිතිකරුවෙකු වන රෝහිත් ශර්මා ඉවත් කරමින් ටෙස්ට් තරග සඳහා කෝඩුකාරයෙකු වන හාර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමට එක් කිරීම ද අද ඉන්දියානුවන් ගෙන තිබූ තවත් පෙරළිකාර තීරණයක් බවට පත්විය.

ඉන්දීය ඉනිම ආරම්භ වී පන්දුවාර 8ක් ගතවීමට පෙර නවක ක්‍රීඩක අභිනව් මුකුන්ද්ව ලකුණු 12කට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සමත් විය. ඒ පිට ඉන්නට මදක් පිටතින් පතිත වූ පන්දුවක් මුකුන්ද්ගේ පිත්ත යන්තමින් සිප ගනිමින් කඩුලු රකින දික්වැල්ල වෙතට ඇදී ගිය බැවිනි. ඒ අනුව මුකුන්ද්ගේ ටෙස්ට් පුනරාගමනය අද වැඩි වේලාවක් ගත වන්නට පෙරම අසාර්ථක වී ගියේය. ශ්‍රී ලංකාව නිරුත්තර වන සුපිරි ලකුණු සබඳතාවයක් ගොඩ නැගෙන්නේ ඉන් අනතුරුවයි!

ඒ අද ඉන්දියානු ඉනිම ආරම්භ කළ වමත් පිතිකරු ශිකර් ධවාන් සහ අංක 3 පිතිකරු චෙටෙස්වර් පුජාරා අතරයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය වන සංයමයත්, උපක්‍රමශීලීභාවයත් මනාව යොදා ගනිමින් ඉන්දියානු ලකුණු පුවරුව පියවරෙන් පියවර ඉහළට ගෙන ගිය ඔවුන් දෙදෙනාගේ සුපිරි සබඳතාවය ලකුණු 253ක් බවට පත්විය. එහි දී පන්දුව ඉතාමත් නිවැරදිව කල්යල් මැන පිළිගත් ශිකර් ධවාන් අද ලකුණු 190ක් රැස්කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ අලස ක්‍රීඩා විලාසය ද මැනවින් ආධාර කර ගනිමිනි.

පන්දුව අනතුරුදායක ලෙස ඉහළින් යොමු කිරීමට උත්සාහ නොදැරූ ඔහු පිටියේ හිදැස් අතරින් පහසුවෙන් සහ ඉක්මනින් ලකුණු ලබා ගත්තේ අනවශ්‍ය පහරවල් කරා ගොස් තම වටිනා කඩුල්ල අහිමි කර ගන්නා ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් නිවැරදි පූර්වාදර්ශයක් සපයමිනි. හයේ පහර කිසිවක් අඩංගු නොවූ ඔහුගේ දැවැන්ත ඉනිමට දර්ශනීය හතරේ පහර 31ක් ඇතුළත් විය. කෙසේ වෙතත් ඔහුට ද්විත්ව ශතකය කරා යාමට ඉඩ නොදී ශ්‍රී ලංකාවට යම් සහනයක් ගෙන දීමට නැවත වරක් ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් සමත් විය. ඒ ඇන්ජෙලෝ මැතිව්ස් රැකගත් පහසු උඩපන්දුවක් සමඟයි.

ධවාන් දැවී ගොස් පන්දුවාර 2ක් ගෙවී යද්දී නැවත වතාවක් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සතු සාර්ථකම වේගපන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් සමත් විය. ඒ ඉන්දියානු පිතිකරණ ආයුධ ගබඩාව සතු න්‍යෂ්ටික මිසයිලය වන විරාත් කෝලිව ලකුණු 3කට ක්‍රීඩාගාරය බලා පිටමං කරමිනි. කෙසේ වෙතත් කෝලිගේ කඩුල්ල දවා ගැනීම එතරම් පහසු නොවූ අතර අවසානයේ තෙවැනි විනිසුරුගේ සහයෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එහි දී පන්දුව විලෝ දැවයේ ගැටෙන අයුරු පුනරූපන මඟින් නිවැරදිව දැකබලා ගැනීමට සියල්ලන්ටම අවකාශය උදාවුණි. ඒ අනුව පන්දුව පිත්තේ ගැටීමෙන් අනතුරුව ද කිසිවක් සිදු නොවුනා සේ කඩුලු රකින්නා දෙසවත් නොබලා සුපිරි නළුවෙකු සේ හැසිරුණු විරාත් කෝලිට දිගටම පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ගිලිහී ගියේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව නැවතත් හොඳ ලකුණු සබඳතාවයක් පුජාරා සහ අජින්ක්‍යා රහානේ අතර ගොඩ නැගුණු අතර මේ වන විට පුජාරා නොදැවී ලකුණු 144ක් වාර්තා කරගෙන සිටින්නේ හතරේ පහර 12ක් සමඟිනි. විශේෂයෙන්ම අද එක්දින තරගයක අයුරින් වේගයෙන් පිත්ත හැසිරවූ ඉන්දියානුවන් කඩුලු 3ක් දැවී ලකුණු 399ක් ලබා ගත්තේ එක් දිනක් තුල තමන් ලබාගත් දෙවැනි වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඔවුන්ට ඒ සඳහා ශ්‍රී ලංකා පිළේ දුර්වල පන්දු යැවීම සහ රැකීම ද බොහෝ සෙයින් උපකාරී විය. අනෙකුත් සියලුම පන්දු යවන්නන් අසාර්ථක වූ අද දිනයේ බිඳ වැටුණු කඩුලු 3ම දවා ගත්තේ නුවන් ප්‍රදීප් විසිනි.

ඒ අනුව හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට ඉතාමත් බැරෑරුම් අභියෝගයක් හිමිවී ඇති අතර ඉන්දීය ඉනිම හැකි ඉක්මනින් බිඳ දැමීම ඔවුන්ගේ පළමු ඉලක්කය විය යුතුය. නමුත් මේ වන විටත් ඉන්දියානුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගොස් ඇති නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දක්ෂතාවයන් තරගයේ තීරණය කෙරෙහි සෘජුවම බලපානු ඇත. එබැවින් මුල් දිනයේ දී ම වරද්දාගත් තරගය ජය පරාජයෙන් තොරව හෝ විසඳා ගැනීමට නම් කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනාටමට දැඩි වගකීමක් දැරීමට සිදුවනු ඇත.

ඉන්දීය ප්‍රථම ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 399 (පන්දුවාර 90): ශිකර් ධවාන් 190, චෙටෙස්වර් පුජාරා 144*, අජින්ක්‍යා රහානේ 39*, අභිනව් මුකුන්ද් 12, විරාත් කෝලි 3, නුවන් ප්‍රදීප් 3/64.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

ලකුණු පුවරුව

India - BattingToss: India
Shikhar Dhawanc Mathews b Pradeep190 (168)
Abhinav Mukundc Dickwella b Pradeep12 (26)
Chesteshwar Pujarac Dickwella b Pradeep153 (265)
Virat Kohlic Dickwella b Pradeep3 (8)
Ajinkya Rahanec Karunarathne b Kumara57 (130)
Ravinchandran Ashwinc Dickwella b Pradeep47 (60)
Wriddhiman Sahac Perera b Herath16 (32)
Hardik Pandyac De Silva (Sub) b Kumara50 (49)
Ravindra Jadejab Pradeep15 (24)
Mohammed Shamic Tharanga b Kumara30 (30
Umesh YadavNot Out11 (10)
TotalExtras (16)600 (133.1 overs)
Sri Lanka - BowlingOMRW
Nuwan Pradeep3121326
Lahiru Kumara25.131313
Dilruwan Perera3011300
Rangana Herath4061591
Danushka Gunathilaka70430