කෝඩුකාරයන්ගේ තරගයෙන් ජය තිසරට

1961
Sri Lankan cricket team celebrates the dismissal of Indian cricketer Shikhar Dhawan during the first One day international (ODI) cricket match between India and Sri Lanka at the Himachal Pradesh cricket association stadium in Dharamshala on December 10, 2017. / AFP PHOTO / MONEY SHARMA / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

කෝඩුකාරයන් දෙදෙනෙක්, කණ්ඩායම් දෙකටම කෝඩුකාර ක්‍රීඩාංගණයක යෙදුණ ද්වන්ද කඩුලු-පන්දු තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (10) ඉන්දියාවේ ධරම්සාලා ක්‍රීඩාංගණයේ දී සමත් වූහ.

එය දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයයි.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට පෙර සූදානම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරයේ තරග 3කින් සමන්විත…

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ අද තරගයේ දී රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 112ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 21 වැනි පන්දු වාරය ක්‍රියාත්මකව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළහ. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිට පිට පරාජය වූ එක්දින තරග 12කට පසුව ලැබූ ජයග්‍රහණයයි.

අද තරගයේ දී දෙපිලේම නායකයන් කෝඩුකාරයන් වීම සුවිශේෂීත්වයක් විය. එමෙන්ම මුහුදු සීමාවට වඩා අඩි 4000ක් පමණ ඉහළින් පිහිටි ඉතා අලංකාර ක්‍රීඩාංගණයක් සේ සැලකෙන තරගය පැවති ධරම්සාලා ක්‍රීඩාංගණයේ දී දෙරට මුහුණ දුන් පළමු තරගය ද වූයේ මෙයයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා ඉන්දීය කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කරන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයන් 5 දෙනෙක්, පිතිකරුවන් සහ පන්දු යවන්නන් තිදෙනෙක් බැගින් සේ වර්ගීකරණය කරන ලද කණ්ඩායම තමන්ට ද වාසනාවක් ගෙනේ යැයි වූ විශ්වාසයෙන් යුතුව විය යුතුය.

තිසරගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පළමු පන්දු වාර 10 ලකුණු 11කට සීමා කරන්නේ ඉන්දීය පිතිකරුවන් තිදෙනෙක්ගේ දෑස් තෙත් කරමින් ඉතාම ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමෙනි. එය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පළමු පන්දු වාර 10 තුළ කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද විය.

ඉන්දීය ඉනිම එක් වරෙක කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 16ක් සේ ය. ඒ අනුව දැවී ගිය අංක 1 සිට 5 දක්වා වූ ක්‍රීඩකයෝ රැස්කරගෙන සිටි ලකුණුවල එකතුව වූයේ 13කි. එය ඉන්දීය කණ්ඩායමක පළමු ක්‍රීඩකයන් 5 දෙනා රැස්කර ගත් අඩුම ලකුණුවල එකතුව වූහ. ඊට පෙර ඔවුන් එසේ දැවී ගොස් තිබුණේ 1983 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 15කට ය.

ඉන්දීය ඉනිම ගොඩනැගීමේ නැංගුරම බවට පත් වූයේ කලක් නායකයෙකු සේ කටයුතු කරමින් සුවිශේෂී මෙහෙයක් කළ මහේන්ද්‍ර සිං දෝනි ය. ඔහු ඉනිම නිමා කරමින් අවසන් කඩුල්ල සේ දැවී ගියේ ලකුණු 65ක් ලබා සිටිය දී ය. පන්දු 87ක් පුරා විහිදුණ ඔහුගේ ඉනිමේ අලංකාර හතරේ පහර 10ක් සේ ම හයේ පහර 2ක් ද තිබුණේ ය. ඔහු අද රැස් කළේ තමන්ගේ එක්දින ජාත්‍යන්තර පිටියේ 67 වැනි අර්ධ ශතකයයි.

කඩුලු 7ක් දැවී ලකුණු 29ක් ව තිබූ ඉන්දීය ඉනිම කුල්ඩීප් යාදේව් සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක්කරමින් ගොඩ නැගීමට ද දෝනි සමත් විය. යාදේව් දැවී යද්දී පන්දු 25කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියේ ය.  ඔහුට අමතරව ලකුණු 10 සීමාවට පැමිණි අනෙක් ඉන්දීය පිතිකරු වූයේ හාර්ඩික් පාන්ඩේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෙඩරෝග සහ ආබාධ භීතිකාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නවදිල්ලි නුවර දී පැවති 3 වන හා අවසන් ටෙස්ට් තරගයේ දී…

පන්දු යැවීමේ දී සුවිශේෂී මෙහෙවරක් කිරීමට ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් විය. ඔහුගේ පන්දු යැවීම නිමා වූයේ පන්දු වාර 10යි නොයිඳුල් පන්දු වාර 4ක් සහ ලකුණු 13කට කඩුලු 4ක් සේ ය. එය ඔහුගේ එක්දින පන්දු යැවීමේ හොඳම පන්දු යැවීම විය. එකී දක්ෂතාව වෙනුවෙන් තරගය අවසානයේ දී ඔහුට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

අනෙකුත් පන්දු යවන්නන් වූ නුවන් ප්‍රදීප් ලකුණු 37කට කඩුලු 2ක් සහ තිසර පෙරේරා, අකිල ධනංජය සහ සචිත් පතිරණ කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට ක්‍රීඩා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිමේ තවත් පන්දු 176ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළහ. එහි දී ආසන්නතම හිටපු නායකයා පන්දු 46ක දී ලකුණු 49ක් ලබා ගත්තේ ය. ඔහුගේ අවාසනාවන්ත ඉනිම නිමා වූයේ 46 වැනි පන්දුවේ දී ය. ඒ වෙද්දී ඔහු තම ඉනිමට හතරේ පහර 10ක් එක්කර තිබුණි.

“පසුගිය මාස 4 මට දැනුණේ හරියට අවුරුදු 2ක් වගේ” – අසේල ගුණරත්න

‘Dharamsala’ සිට රෙක්ස් ක්ලෙමන්ටයින් වාර්තා කරයි. ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ ගාල්ලේ දී පැවති…

පළමු කඩුලු 2ක ලකුණු 19ක් ව තිබිය දී දැවී ගිය පසු උපුල් තරංග ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කළේය. තරගය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස් පන්දු 42කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද නිරෝෂන් දික්වැල්ල පන්දු 24ක දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියේ ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට නොබිඳුණ සබඳතාව ලකුණු  49කි.

කඩුලු ලබා ගැනීමේ දී බුවනේස්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාන්ඩ්‍යා අතර කඩුල්ල බැගින් බෙදී ගියේ ය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 13 වැනිදා චන්දිගාර් හි දී දිවා/රාත්‍රී තරගයක් සේ පැවැත්වීමට නියමිත ය.

ඉන්දීයාව; සියලුම දෙනා දැවී 112 (38.2): මහේන්ද්‍ර සිං දොනි 65, කුල්දීප් යාදේව් 19, සුරංග ලක්මාල් 4/13, නුවන් ප්‍රදීප් 2/37

ශ්‍රී ලංකාව; කඩුලු 3ක් දැවී 114 (20.4): උපුල් තරංග 49, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25, නිරෝෂන් දික්වැල්ල නොදැවී 26

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<