පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් පසුබෑමක්!

270
ESPN Cricinfo

ලබන ජුනි 24 වැනිදා ඇරඹීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරග කිහිපයක්ම මේ දිනවල එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවෙන් නූලෙන් ගැලවුන පාකිස්තානය ශූරයින්ගේ කුසලානය දිනා ගනියි!

කිසිවකුගේ වැඩි අවධානයකින් තොරව ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටිමින් එංගලන්තය බලා පියාසර කරන..

ලෝකයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යයක් බඳුවූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පෙර පුහුණු තරගය ඊයේ (19) චෙස්ටර්ෆීල්ඩ් හිදී පැවැත්වීය. කෙසේ වෙතත් ඉන් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූයේ කඩුලු 8ක පරාජයකි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර මුලින්ම පිතිකරණයේ යෙදීමට තීරණය කළාය. සාමාන්‍යයෙන් පුහුණු තරගයක දී ජයග්‍රහණයට වඩා ක්‍රීඩිකාවන් කාලගුණ තත්ත්වයන්ට හුරු වීමත්, තණතිලි අධ්‍යයනය කිරීමත් අපේක්ෂා කරන නමුදු ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පෙරළිකාර තීරණය පසුපස වෙනයම් කරුණක් සැඟවී තිබෙන්නට ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීම නිසා මෙම තරගයේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 88කටත් අඩු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී නිපුනි හංසිකා සහ අත්දැකීම් සහිත ක්‍රීඩිකා චමරි පොල්ගම්පළගේ සේවය කණ්ඩායමට ඉක්මනින්ම අහිමි වූ නිසා ශ්‍රී ලංකා පිළේ ආරම්භය නම් කිසිසේත්ම සාර්ථක වූයේ නැත. ඒ අනුව ඔවුන් පන්දුවාර 15යි පන්දු 3ක් ගතවන විට ලකුණු 42ට කඩුලු 4ක් බිඳ වැටී අසරණ තත්ත්වයකට පත්වූහ. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් චමරි අතපත්තු සහ ප්‍රසාදනී වීරක්කොඩි අතරේ ඇතිවූ අර්ධ ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකා පිළට යම් තරමක සැනසීමක් උදා විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ චමරි අතපත්තු පන්දු 64කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් රැස් කළාය. ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 23යි. මීට අමතරව හසිනි පෙරේරා සහ ඩිලානි මනෝදරා ලකුණු 20 බැගින් රැස්කර ගත්හ. ඒ හැරුණු කොට අන් කිසිදු ක්‍රීඩිකාවක් ඊයේ දිනයේ ලකුණු 20 සීමාවටවත් ලඟා නොවීම ලඟ ලඟම එන ලෝක කුසලානය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ඇතිකළේ සුබවාදී බලාපොරොත්තු නම් නොවේ. ඉනිම පුරාවට ශ්‍රී ලංකා පිතිකාරිණියන් මන්දගාමී ක්‍රීඩා විලාශයක නිරත වූ අතර ඉදිරි තරග වලදී ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් කණ්ඩායම මීට වඩා ධනාත්මක අයුරින් පිත්ත හැසිරවීම වැදගත් වනු ඇත.

චමරි අත්පත්තු සහ ප්‍රසාදනී වීරක්කොඩි අතර ඇතිවූ සබඳතාවය හැරෙන්නට වෙනත් කැපී පෙනෙන ලකුණු සබඳතාවයක් දකින්නට නොලැබුණු අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 155කට සීමා විය. ඒ ඉනිම නිමා වීමට තවත් පන්දුවාර 2යි පන්දු 4ක් ඉතිරිව තිබියදීයි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළ වේග පන්දු යවන ක්‍රීඩිකා අන්යා ශ්‍රබ්සෝල් ලකුණු 27කට කඩුලු 3ක් බිඳ හෙලුවාය. මීට අමතරව කැතරීන් බ්‍රන්ට් ශ්‍රී ලංකා පිළේ අත්දැකීම් සහිත පිතිකාරිණියන් දෙපළක් වන චමරි පොල්ගම්පළ සහ ශශිකලා සිරිවර්ධන පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

මෙම කුඩා ලකුණු පුවරුව හඹා යෑමේ දී එංගලන්තයේ කඩුලු 2ක් පමණක් බිඳ වැටුණු අතර පන්දුවාර 30යි පන්දු 2ක් පමණක් මෙම හඹා යාම සඳහා ප්‍රමාණවත් විය. එහිදී එංගලන්ත කණ්ඩායමේ නැංගුරම බඳුවූ කඩුලු රකින පිතිකාරිණී සාරා ටේලර් පන්දු 56කදී නොදැවී ලකුණු 49ක් රැස් කරමින් විශිෂ්ට දක්ෂතා ප්‍රකට කළාය. පසුගිය කාලයේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් බොහෝ ජයග්‍රහණයන් පසුපස සිටි මහපොදු සාධකය බවට පත්වූ නායිකා හීතර් නයිට් නොදැවී ලකුණු 32යි. මීට අමතරව එංගලන්ත ඉනිම ආරම්භ කළ ලොරේන් වින්ෆීල්ඩ් සහ ටැමී බියුමොන්ට් පිළිවෙළින් ලකුණු 35 සහ 31 බැගින් රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 66ක් එක් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා ඉනෝකා රණවීර සහ ඕෂධී රණසිංහ එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. දැනට ලොව සිටින දක්ෂතම කණ්ඩායමක් සමඟ ඔවුන්ට හුරුපුරුදු ක්‍රීඩාංගණවල දී තරග වැදීම ඉතාමත් අසීරු කරුණක් නිසා පුහුණු තරගයක දී අත්වූ මෙම පරාජය තරමක් සුළුවෙන් තැකීමට හැකි වුවද ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරගවල දී මීට වඩා යම් සටන්කාමීත්වයක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් බලාපොරොත්තු වනු ඇත. තරගාවලිය ඇරඹීමට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා පිළේ අනෙක් පුහුණු තරගය හෙට (21) අසල්වැසි ඉන්දියානු කාන්තා කණ්ඩායමට එරෙහිව මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 47.2): චමරි අතපත්තු 33, ප්‍රසාදනී වීරක්කොඩි 23, හසිනි පෙරේරා 20, ඩිලානි මනෝදරා 20, ශශිකලා සිරිවර්ධන 17, අන්යා ශ්‍රබ්සෝල් 3/27, කැතරීන් බ්‍රන්ට් 2/44, ජෝර්ජියා එල්විස් 1/12.

එංගලන්තය – කඩුලු 2ක් දැවී ලකුණු 156 (පන්දුවාර 30.2): සාරා ටේලර් 49*, ලොරේන් වින්ෆීල්ඩ් 35, හීතර් නයිට් 32*, ටැමී බියුමොන්ට් 31, ඉනෝකා රණවීර 1/21, ඕෂධී රණසිංහ 1/25.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට