ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්ත යෞවනයන් පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 352ක් රැස් කරගෙන සිටින ලදී. වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයට පසු තරගය ආරම්භ වීමත් සමග, වෙස්ට්බරි සහ ඔලී පෝප් තවත් ලකුණු 101ක් එංගලන්ත ලකුණු පුවරුවට එක් කළේ 5වන කඩුල්ලේ සබඳතාව ලකුණු 126ක් දක්වා ඉහල දමමිනි.

පසුගිය ලිපි: පළමු යොවුන් ටෙස්ට් තරගයේ පාලනය එංගලන්තයට

ද්විත්ව ශතකය පෙනි පෙනී සිටියදී වෙස්ට්බරි දැවී ගියේ දමිත සිල්වාගේ පන්දුවක් හමුවේය. ඔලී පෝප් ලකුණු 78ක් රැස් කරන ලදී. පසුපෙළ පිතිකරුවන්ගේද දායකත්වය ඇතිව එංගලන්ත යොවුන් කණ්ඩායම ලකුණු 500 සීමාවට ලගාවීමත් සමග ඔවුන්ගේ ඉනිම අත්හිටුවීමට නායක මැක්ස් හෝල්ඩන් තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. පළමු කඩුල්ල ලෙස දැවී ගිය පැතුම් නිස්සංක රැස්කළේ ලකුණු 5ක් පමණයි. සිය මංගල යොවුන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඩිලාන් ජයලත් හොඳ ආරම්භයක් ලබා ගැනීමෙන් පසු ලකුණු 22කට දැවී යන ලදී.

නායක චරිත් අසලංක නොදැවී ලකුණු 55ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන යන්නට සමත් විය. හිටපු නායක අවිශ්ක ප්‍රනාන්දු ඔහුට අගනා සහයක් ලබාදෙමින් ලකුණු 13ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

ඊයේ දිනය තුල ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුනේ පන්දුවාර 72ක් පමණයි. මේ අනුව තරගයේ තුන්වන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වගකීම් සහගතව පිතිහරඹයේ යෙදෙමින් තරගය පරාජයෙන් බේරා ගැනීමට විශාල සටනක් දීමට සිදුවනු ඇත.

ලකුණු පුවරුව

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9 d  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ඔලී පෝප් – 78, ජෙහාන් ඩැනියල් – 3/91, ලහිරු කුමාර – 2/104, සම්මු අශාන් – 1/21)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 96/2 (චරිත් අසලංක – 55*, ඩිලාන් ජයලත් – 22, අවිශ්ක ප්‍රනාන්දු – 13*, අමර් විර්දි – 1/13, ජෝජ් පනායි – 1/30)

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් කඩුලු 8ක් අතැතිව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 404ක් පසුපසින්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට