තරගාවලිය පරාජය වුනත් කප් ගැසූ අපේ ක්‍රීඩකයෝ

900

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 5කින් යුත් වූ එක්දින තරගාවලිය පසුගිය දා නිමා වූයේ තරග 3-1ක් ලෙසින් සංචාරක එංගලන්ත කණ්ඩායමට ජයග්‍රණය හිමි වෙමින්. නිමා වූ එම තරගාවලියේ එක් එක් කණ්ඩායම් සේ ම එක් එක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා කෙසේ දැයි විමසා බලන්නට ThePapare.com තීරණය කළා.

සිංහ පැටවු අවදි වී මහත්වරුන්ට හොඳ හැටි සංග්‍රහ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන්……..

කණ්ඩායම් දක්ෂතා

තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමි වෙන්නේ ශ්‍රී ලංකාවට. ඔවුන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති අවසන් තරගයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 366 මේ ලබා ගත්තා.

එංගලන්ත කණ්ඩායම ලකුණු පුවරුවට දමා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ දඹුල්ලේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 278යි.

තරගාවලියේ ශතකයක් ලබා ගැනීමට කිසිදු ක්‍රීඩකයෙකුට නොහැකි වූ අතර අර්ධ ශතක 10ක් වාර්තා වුනා. ඉයන් මෝගන් අර්ධ ශතක 2ක්, නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක 2ක් දිනේෂ් චන්දිමාල්, ජෝ රූට්ස්, බෙන් ස්ටොක්ස්, දසුන් ශානක, සධීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක බැගින් ලබා ගත්තා.

තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් ඉනිමක කඩුලු 5ක් දවා ගත් අවස්ථා වාර්තා වූයේ 1ක් පමණයි. එය වාර්තා වුණේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයේ දී. පන්දු යවන්නා වුණේ ලසිත් මාලිංග. ඊට අමතරව ඉනිමක කඩුලු 4ක් දවා ගැනීමේ අවස්ථා 2ක් වාර්තා වුනා. එය ලබා ගත්තේ අදීල් රශීඩ් සහ අකිල දනංජය.

ඉයන් මෝගන්

තරගාවලියේ තරග 4කට සහභාගී වෙමින් මෝගන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 195ක්. එය තරගාවලියේ ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වුනා. එහි තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 195.0ක් වෙනවා. එහෙම වෙන්නේ ක්‍රීඩා කළ ඉනිම් 4න් 3ක් ම ඔහු නොදැවී සිටි නිසා. මෙම ලකුණු ප්‍රමාණයට අර්ධ ශතක දෙකක් ඇතුලත් වූ අතර හතරේ පහර 22ක් සහ  හයේ පහර 4ක් ඇතුලත් වුනා.

මෝගන් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 92ක්. ඒ දඹුල්ලේ දී පැවති දෙවැනි තරගයේ දී ය.

නිරෝෂන් දික්වැල්ල

තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වුනේ දික්වැල්ල. ඔහු ඉනිම් 4කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 192ක්. තරගයක ලකුණු සාමාන්‍ය වුණේ 48.0ක්.

වැඩිම ලකුණු සංඛ්‍යාව වුණේ අවසන් තරගයේ දී රැස් කරන ලද ලකුණු 95යි. එය දික්වැල්ල ගේ තරග දිවියේ හොඳම ඉනිම් අතර තෙවැනි තැන ගත් අතර එංගලන්තයට එරෙහිව වාර්තා කරන ලද හොඳම ඉනිම ද වුනා.

තරගාවලියේ පිට පිට තරග දෙකක දී අර්ධ ශතක දෙකක් ලබා ගත් දික්වැල්ල හතරේ පහර 27ක් තරගාවලිය පුරා ලබා ගත්තා.

තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු වන්නේ ද දික්වැල්ල යි.

දසුන් ශානක

දසුන්ගේ එක්දින පිටියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වුණේ මෙම තරගාවලියේ වීම විශේෂත්වයක්. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති සිව්වැනි එක්දින තරගයේ දී පන්දු 66ක් පුරා පිටියේ රැඳී සිටි දසුන්  හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

පසුගිය අගෝස්තු මාසයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගත් දසුන් ඉන් තරග 6කට පසුව මේ අර්ධ ශතකය ලබා ගත්තා.

දසුන් තරගාවලියේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ඉනිම් 4ක දී ලකුණු 113කි.

කුසල් මෙන්ඩිස්

තරගාවලියේ ඉනිමක වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස්. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති අවසන් එක්දින තරගයේ දී මෙන්ඩිස් හයේ පහර 6ක් එල්ල කරමින් මේ ලැයිස්තුවේ පළමුවැනියා වෙනවා.

එක්දින තරගාවලිය සඳහා නම් කර නොතිබුණ ද කුසල් ජනිත්ගේ ආබාධිත තත්ත්වයත් සමඟ කණ්ඩායම හා එක් වීමට වරම් ලැබූ කුසල් මෙන්ඩිස් තමන් සහභාගී දෙවැනි තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. එය ඔහු විසින් තරග 23කට පසු රැස් කළ අර්ධ ශතකයයි.

අකිල දනංජය

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමෙ වාසනාව අකිල දනංජය සතු වෙන්නේ කඩුලු 9ක් ලබා ගැනීමත් සමඟිනි. ඔහු මේ සඳහා පන්දුවාර 32.1ක් යවා ඇති අතර ලකුණු 173ක් දී තිබුණා. ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා වූයේ ජයග්‍රාහී එක්දින තරගයේ දී ලකුණු 19කට දවා ගත් කඩුලු 4යි.

එය අකිලගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම් අතර තෙවැනි ස්ථානය ගත් අතර එංගලන්තයට එරෙහි ව දක්වනු ලැබූ හොඳම දක්ෂතාව ද වුණා.

ලසිත් මාලිංග

කාලයකට පසු මෙරට තරග පිටියට පිවිසි ලසිත් මාලිංග මෙම තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඒ දඹුල්ලේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 44කට ලබා ගත් කඩුලු 5 නිසා. මෙය එංගලන්තයට එරෙහි ව මාලිංග පෑ හොඳම දක්ෂතාව ද වුනා.

මාලිංග මෙම තරගාවලිය අතරතුර දී තම ක්‍රිකට් දිවියේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල 500 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වෙනවා.


ඔලි ස්ටෝන්

එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 25 හැවිරිදි ඔලි ස්ටෝන් සමත් වුනා. පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක්වූ ඔලිට මෙම තරගාවලියේ දී ලබා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි. ඒ දෙරට අතර දඹුල්ලේ දී පැවති පළමු තරගයේ දී ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<