ශ්‍රී ලංකාව කළු වළාවන් මත රිදී රේඛා ද ඇති බැව් සපථ කරයි

4086

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත පතිත වී ඇති කළු වළාවන් පළවා හැරීමේ වසරක් ආරම්භ කරමින් බංග්ලාදේශයේ දී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (27) සමත් වෙති. මෙම තරගාවලි ජයග්‍රහණය තරගාවලි 7කට පසුව ශ්‍රී ලංකාව ලබන්නේ වසරක පමණ කාලයකට පසුව ජයග්‍රාහී මාවත පිවිසෙමිනි.

[rev_slider LOLC]

තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක බංග්ලාදේශය සමග පැවති අතර එහි දී ඔවුන්ට ලකුණු 79ක පරාජයක් විඳීමට සිදු වූහ.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් කෝඩුකාර තරගයට සහභාගී වූ දකුණතින් වේගපන්දු යවන ශෙහාන් මධුශංක මංගල තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. තරගයේ ඔහු යැවූ 40 වැනි පන්දු වාරයේ 5 වැනි පන්දුවේ දී නායක මෂ්රෆි මොර්ටාසා ද එම පන්දු වාරයේ ම හය වැනි පන්දුවේ දී රුබෙල් හුසෙන් ද දවාගත් මධුශංක තමන්ගේ ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවේ දී මහමුදුල්ලා දවා ගනිමින් මෙම දක්ෂතාව පෑවේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන්නේ තණතිල්ල පිතිකරුවන්ට වෙත සහයෝගය දක්වතැයි යන විශ්වාසයෙන් යුතුවය. නමුත් එය සිතූ තරමට වාසිදායක වූයේ නැත. වරින් වර ගරා වැටෙමින් නැවත නැගී සිටිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු සංඛ්‍යාව 221කි. ඉතා පහසු එහෙත් ප්‍රතිවාදීන්ගෙන් කිසිදු බුරුලක් නොලැබෙන එම ලකුණු සංඛ්‍යාව පසුපස හඹා ගිය බංග්ලාදේශ ඉනිම ලකුණු 142 දී නිමා විය. ඒ තරගය නිමා වීමට තවත් පන්දු වාර 8කුත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී ය.

අද කණ්ඩායම් දෙක පිටියට පිවිසෙන්නේ වෙනස් කම් 4ක් සහිතව ය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට ශෙහාන් මධුශංක සමත් වේ. 22 හැවිරිදි ශෙහාන් වේගපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූයේ ලක්ෂාන් සඳකැන් විවේක ගන්වමිනි.

බංග්ලාදේශය වෙනුවෙන් එනමුල් හක්, අබුල් හසන්, නසීර් හුසෙන් වෙනුවට මොහොමඩ් මිතුන්, මෙහෙදි හසන් සහ මොහොමඩ් සයිෆුඩීන් කැඳවා තිබුණි.

ශ්‍රී ලංකාව මතක සිටින ජයක් සමඟින් අවසන් තරගයට

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන සංචාරක කණ්ඩායම කුමක් වේ දැ යි බලා සිටින්නන්ට වේලාසනින්ම ගෙදර යෑමට පමණක්…

සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් උපුල් තරංග සහ ධනුශ්ක ගුණතිලක පිටියට පිවිසිය ද ඔවුන්ට වැඩි වේලා පිටියේ රැඳී සිටීමට ප්‍රතිවාදීන් ඉඩ දුන්නේ නැත. ලකුණු 8ක් තිබිය දී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල කඩා වැටුණි.

අනතුරුව පිටියේ තරමක ස්ථාවර ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට ගෙන ඒමට උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, නිරෝෂාන් දික්වැල්ල සහ නායක දිනේෂ් චන්දිමාල් සමත් විය.  

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් උපුල් තරංග පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් රැස් කළේය. දිනේෂ් චන්දිමාල් රැස් කළ ලකුණු ප්‍රමාණය 45කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 74කට මුහුණ දුන් අතර හයේ පහරක් ඉනිමට එක් කළේය. නිරෝෂන් දික්වැල්ල පන්දු 57ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් රැස් කරද්දී කුසල් මෙන්ඩිස් පන්දු 9ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 28ක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී රුබෙල් හුසේන් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තේය.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ පිළිතුරු ඉනිමේ දීර්ඝ සබඳතාවන් වෙනුවෙන් ඉඩ නොතැබීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ආරම්භයේ සිටම වග බලා ගැනීම කැපී පෙණුනි. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සෑම කණ්ඩායමකට හිසරදයක් වෙමින් සිටි තමීම් ඉක්බාල් ලකුණු 3කට පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත් වීම තරගය ආරම්භයේ සිටම තමන් වෙත නතුකර ගැනීමට හේතු විය.

එසේ වූව ද සටන්කාමී ඉනිමක නිරත වෙමින් මහමුදුල්ලා පන්දු 92ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේය. ඔහුට යම් තරමකින් හෝ සහාය දැක්වූවේ මුෂ්ෆිකර් රහීම් (22) පමණි.

පන්දු යැවීමේ දී කෝඩුකාර ශෙහාන් මධුශංක පන්දු වාර 6.1ක් යවමින් නොයිඳුල් පන්දු වාරයක් ද සමඟින් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තේය. ඔහුගේ පළමු ගොදුර බවට පත් වූයේ බංග්ලාදේශ නායක මෂ්රෆී මොර්ටාසා ය. එම කඩුල්ල ලබා ගැනීමේ දී කදිම උඩ පන්දුවක් ලබා ගනිමින් කුසල් මෙන්ඩිස් අගනා සහයෝගයක් දැක්විය. මධුශංකට අමතරව දුශ්මන්ත චමීර සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්හ.

තම කණ්ඩායම වැටී සිටි තත්ත්වය තේරුම් ගනිමින් ස්ථාවර ඉනිමක් ගොඩනැගූ උපුල් තරංග  අවසන් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා වූයේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ තිසර පෙරේරා ය.

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 221 (50.0) උපුල් තරංග 56, කුසල් මෙන්ඩිස් 28, නිරෝෂන් දික්වැල්ල 42, දිනේෂ් චන්දිමාල් 45, මුස්ටෆිසුර් රෙහෙමන් 2/29, රුබෙල් හුසේන් 4/46

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 142 (41.1) මුෂ්ෆිකර් රහීම් 22, මහමුදුල්ලා 76, දුශ්මන්ත චමීර 2/17, ශෙහාන් මධුශංක 3/26, අකිල ධනංජය 2/30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<