නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

1042
Sri Lanka v Bangladesh

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එළැඹෙන මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පූර්ව සූදානමක් වශයෙන් පැවැත්වෙන දෙදින පුහුණු තරගය අද (02) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහි ප්‍රථම දිනය නිමාවන විට පිත්තෙන් සාර්ථක වී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 391ක් ලබාගෙන සිටියි.

සිරිවර්ධනගේ නායකත්වය යටතේ තිසර, කුසල් ජනිත් “ඒ” සංචිතයට

මාර්තු 2 වැනි දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන තරග පහකින් යුත් ශ්‍රී ලංකා “ඒ” – එංගලන්ත ලයන්ස් එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන….

අද උදෑසන කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට හිමිකර දුන්නේය. ඒ අනුව බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් යන පිතිකරුවන් දෙදෙනායි. යොවුන් ක්‍රීඩක ලහිරු සමරකෝන්ගේ වේග පන්දුවක් හමුවේ ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබාසිටි සර්කාර් දැවී යනවිට බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 26ක් ලෙස සටහන් විය.

එතැන් පටන් පිටියේ එක්වුනු තමීම් ඉක්බාල් සහ අංක 3 පිතිකරු මොමිනුල් හක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමට සමත් වූහ. නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන් තමීම් හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 136ක් රැස්කල අතර අනෙක් අන්තයේ සිටි මොමිනුල් ලකුණු 73ක් රැස් කරන අතරවාරයේදී හතරේ පහර 10ක් එල්ල කර තිබුණි. මොවුන් දෙදෙනාව පිටියෙන් ඉවත් කිරීමට අද කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු සමත් නොවූ අතර අවසානයේදී අනෙක් පිතිකරුවන්ට ශ්‍රී ලංකා තණතීරු වලට හුරුවීමට අවස්ථාවක් ලබාදීම සඳහා ඔවුහු ඉනිම නිමා කරන්නට තීරණය කළහ.

අද අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් ලකුණු 21ක් ලබා සිටියදී චාමික කරුණාරත්නගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ලොව සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන් අද ලසිත් ඇඹුල්දෙණියගේ දඟ කැවුණු පන්දුවකට ගොදුරු වනවිට ලකුණු 30ක් රැස් කරගෙන සිටියේය. මීට අමතරව දකුණත් පිතිකරු මහමුදුල්ලාහ්ගේ පිත්තෙන් අද ලකුණු 43ක් ගලා ආවේය.

දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙන ලිතන් දාස් හතරේ පහර 10ක් සමගින් ලකුණු 57ක් ලබාගෙන සිටින අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දෙන තයිජුල් ඉස්ලාම් ලකුණු 4ක් රැස් කරගෙන සිටියි. ප්‍රවීණයන් නොමැති ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ පෙරමුණ ගැනීමට වයස 20 යොවුන් ක්‍රීඩක චාමික කරුණාරත්න සමත් වූ අතර ඔහු අද දිනය නිමා කළේ ලකුණු 61ට කඩුලු 3ක් බිඳ හෙලමිනි.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමේ නමගිය පන්දු යවන්නන් නොමැති වූවත් දේශීය තරග වලදී ඉහළ දක්ෂතා දක්වා ඇති පිතිකරුවන් කිහිප දෙනෙක්ම අඩංගු වන බැවින් හෙට දිනයේ ඔවුන් දක්වන පිතිකරණ දක්ෂතා අදාළ ක්‍රීඩකයින්ගේ අනාගත ක්‍රීඩා දිවිය දීප්තිමත් කිරීමට හේතුවනු ඇත. එබැවින් මෑත අතීතයේ හොඳින් දක්ෂතා දක්වා ඇති බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවේ පිතිකරණ රටාව මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵලය පිලිබඳ කල් තියා අනුමාන කළ හැකි මිනුම් දණ්ඩක් වනු ඇත.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 391 (පන්දුවාර 90): තමීම් ඉක්බාල් 136, මොමිනුල් හක් 73, ලිතන් දාස් 57*, මහමුදුල්ලාහ් 43, ශකීබ් අල් හසන් 30, චාමික කරුණාරත්න 3/61, ලසිත් ඇඹුල්දෙණිය 1/57, ලහිරු සමරකෝන් 1/70.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට