බංග්ලාදේශය ඉස්‌සර වගේ නෙමෙයි දැන් – චන්දිමාල්

541
Dinesh Chandimal

කොතරම් පුහුණුවීම් කළත් තරගයට ගිහිල්ල වැරදි කිරීම තුළින් පරාජයට පත්වූ බවත් එම පරාජයෙන් දැඩි ලෙස කනගාටුවට පත්ව සිටින බවත් ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් දඹුල්ලේ දී බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව පැවසීය.

”ඇත්තටම අපේ පන්දු රැකීම හොඳ මට්‌ටමක තිබුණා නම් බංග්ලාදේශ පිල ලකුණු 280කට විතර තියා ගන්න තිබ්බා. එහෙම වුනා නම් පිතිකරුවන් ලෙස අපිට ඒ ඉලක්‌කය සැලසුම් කරල තරගය ජය ගන්න අවස්‌ථාවක්‌ තිබ්බා. නමුත් පුහුණුවීම්වල දී හැමදෙනාම හොඳින් පන්දු රැකීම කරනවා. ඒත් මැදට ගිහිල්ල වැරදි කරනවා.”

පළමු තරගය කණපිට හරවන්නට මගක් සොයා සිංහයන් සටනට

බංග්ලාදේශය සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 90කින් පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය තුල සක්‍රීයව රැඳී සිටින්නට නම්…

ශ්‍රී ලංකාව පිට පිටම එක්‌දින තරග හයක්‌ පරාජයට පත්වීම සහ තරග දෙකක්‌ අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටීමෙන් පසුව නැවත පැමිණෙමින් අර්ධ ශතකයක්‌ වාර්තා කිරීම සම්බන්ධව චන්දිමාල් මෙසේ පැවසීය.

”එක්‌ එක්‌ අවස්ථා තියෙනවා ක්‍රීඩකයන්ට අවස්ථාව නැති වෙන. නමුත් අපි තරුණ කණ්‌ඩායමක්‌. මේක අපි පරිවර්තනය වෙමින් සිටින කාලයක්‌. නමුත් එහෙම කියලා හැමදාමත් ඉන්න බැහැ. නවකයන් විදිහට සියලුම දෙනා අත උස්‌සල වගකීම භාර අරගෙන ඉතිරි තරග දෙක හොඳින් ක්‍රීඩා කරල ජය ගත යුතුයි.”

වත්මන් බංග්ලාදේශ කණ්‌ඩායම මීට අවුරුදු හයක සිටි තත්ත්වයට වඩා ඉතාමත් ඉහළ තලයකට සිටින බව ද චන්දිමාල් පවසයි. ”අපි මීට අවුරුදු හයකට ඉස්‌සර බංග්ලාදේශය පහසුවෙන්ම පරාජය කළා. නමුත් ඔවුන්ගේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් හය හත් දෙනෙක්‌ ඉන්නවා පසුගිය අවුරුදු දහය පුරාම එක දිගට ක්‍රීඩා කරල අත්දැකීම් තියෙන අය. එහෙම බැලුවහම ඔවුන් දැන් ගොඩක්‌ දියුණුයි. මම හිතන්නේ බංග්ලාදේශයට නෙමෙයි ඕනෑම කණ්‌ඩායමට පැරදුනහම දුකයි. මේ තරගයේදී අපි කාසියේ වාසිය දිනල පන්දු යවන්න තීරණය කළේ කණ්‌ඩායමේ සාමූහික තීරණය අනුව. නමුත් ඒක අනිත් පැත්තට වෙලා පැරදුනත් මේ කාසියේ වාසිය දිනල බැට්‌ කළේ මොකද කියල අහන්න තිබ්බා. අපි මේ පරාජය ගැන සාකච්ඡා කරල වැරදි හදාගෙන හොඳින් ඉතිරි තරග දෙක ක්‍රීඩා කළ යුතුයි. දැන් තියෙන්නෙ ඒ ගැන අවධානය යොමු කිරීමයි.”

‘අපි හැමදාමත් ධනාත්මකව  ක්‍රීඩා කරනවා’ – තමීම් ඉක්‌බාල්

මම ආරම්භයේ දී ටිකක්‌ ලකුණු ගන්න බැරිව ඉන්න කොට අපේ ක්‍රීඩාගාරයෙන් පණිවිඩ එව්වෙ මට සෙමින් මගේ ස්‌ථාවරය හදාගෙන බැට්‌ කරන්න කියලා. එහෙම යන කොට මට මගේ රාජකාරිය කර ගන්න පහසු වුනා යෑයි ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි එක්‌දින ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා වූ තමීම් ඉක්‌බාල් පවසයි.

”මගේ රාජකාරිය එක පැත්තක්‌ පුළුවන් තරම් ආරක්‌ෂා කරගෙන ලකුණු ගන්න එක. හැමදාම මම බලන්නේ මගේ රාජකාරිය ඉටු කරන්න. මේ තරගයේ දී ෂකීබ් අල් හසන් එක්‌ක මම පැති මාරු කරගෙන අමාරු වෙලාවෙ දී බැට්‌ කළා. ඒ නිසා අපිට හොඳ සබඳතාවක්‌ පවත්වන්න පුළුවන් වුනා.” යෑයි ඉක්‌බාල් තවදුරටත් පැවසීය.

සෑම තරගයකටම පිවිසෙන්නේ ධනාත්මක චින්තනයෙන් බවත් පසුගිය අවුරුදු දෙකහමාර තුළ බංග්ලාදේශය ඉදිරියට ආ බවත් ඉක්‌බාල් පැවසීය.

”අපි සෙමින් සෙමින් තමයි නැගිට්‌ටෙ. මම හිතන්නේ පසුගිය අවුරුදු දෙකහමාර තුළ අපි ගොඩක්‌ ඉදිරියට ආවා. අපේ තරුණ ක්‍රීඩකයනුත් ඉතාමත් තරගකාරී මට්‌ටමකින් ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ ශක්‌තිය සහ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපේ කණ්‌ඩායම දැන් ශක්‌තිමත්. නමුත් ඊළඟ තරගය අලුත් තරගයක්‌. ඒකට අලුත් සැලසුම් එක්‌ක යන්න ඕන.’

 ක්‍රිකට් පුවත් සඳහා රැඳී සිටින්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට සමඟින්