බංග්ලාදේශයට පැරදුනත් ලංකාව ෆයිනල් එන්නේ මෙහෙමයි

8460

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක එක්දින තරගය හෙට (25) ඩාකාහි ශ්රේ බංග්ලා ක‍්‍රීඩාංගණයේ දී ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30 ට ආරම්භ වේ.

[rev_slider LOLC]

බෝයගොඩගේ වාර්තාවත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අර්ධ අවසාන…

මෙතෙක් මුහුණ දුන් තරග 3ම ජය ගෙන සිටින බංග්ලාදේශය මේ වන විටත් අවසන් මහා තරගයට වරම් දිනා සිටින නමුත්, ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ ද? නැද්ද? යන්න මෙම තරගයේ දක්වන දක්ෂතා අනුව තීරණය වනු ඇත.

සිම්බාබ්වේට එරෙහිව තරග 3කට මුහුණ දී එක් තරගයක් පමණක් ජයගෙන සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරග වරම් උදාකර ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යය නොවන නමුත්, තරගය පරාජය වුවද එහි දී වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත.  

එය උදාහරණයක් ලෙස සංඛ්‍යාත්මකව සඳහන් කරන්නේ නම්, බංග්ලාදේශ කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 300ක් ලබා ගතහොත්, ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව අවම වශයෙන් ලකුණු 231ක සීමාව ඉක්මවා යා යුතුය. බංග්ලාදේශය ලකුණු 225ක් ලබා ගතහොත්, ශ‍්‍රී ලංකාව අවම වශයෙන් ලකුණු 158ක් ලබාගත යුතුය. එසේ නොමැතිව ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 200ක් රැස් කළහොත්, එම ලකුණු සංඛ්‍යාව පසුකර යෑමේ දී අවම වශයෙන් පන්දුවාර 37.2කට පෙර එම ඉලක්කය පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායමට ඉඩ ලබා නොදී සිටිය යුතුය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට ඉහත දී බංග්ලාදේශය හමුවේ පිට පිට තරග 2ක් පරාජයට පත්වී නොමැති නමුත්, මෙම තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලකුණු 163ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. එබැවින් හෙට (25) තරගයේ ජය වාර්තා කිරීම එම පරාජිත වාර්තාව වළක්වා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට වැදගත් වනු ඇත.

හෙට තරගයේ දී ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින ප‍්‍රධානතම අභියෝගය වන්නේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ද ආබාධවලට ලක්ව නැවතත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව යෑමයි. මෙහි දී වැඩි බරක් මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින තිසර පෙරේරා සහ නායක දිනේෂ් චන්දිමාල්ගේ කර මතට පැටවී තිබේ.

කුසල් වෙනුවට ධනංජය ද සිල්වා බංග්ලාදේශයට කැඳවීම් ලැබූව ද, බොහෝ විට උපුල් තරංග සමඟ ආරම්භක පිතිකරු ස්ථානයේ ධනුෂ්ක ගුණතිලක කටයුතු කරනු ඇත. කඩුලු රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද කණ්ඩායමේ 11 දෙනා අතර සිටීම හේතුවෙන් ආරම්භක පිතිකරු ස්ථානය සඳහා ඔහුව ආදේශ කිරීමේ හැකියාවක් ද තේරීම් කමිටුව සතුව තිබේ.

කුසල් ජනිත් පෙරේරා තුන්කොන් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුළු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මේ වන විට බංග්ලාදේශයේ දී පැවැත්වෙන…

එහෙත් අවසන් එක්දින තරග කිහිපය දෙස බැලීමේ දී පිතිකරුවෙකු ලෙස දික්වැල්ල ලබා ඇති අසාර්ථකත්වය පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවන අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කර ඇති ඉනිම් 14 දී රැස් කර ඇත්තේ ලකුණු 201ක් පමණි. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 15.46ක් ලෙස සටහන් වේ. ඒ අතරතුර දී දික්වැල්ලගේ පිත්තෙන් එකම අර්ධ ශතකයක් හෝ වාර්තා වී නොමැති අතර ලකුණු 30 සීමාව ඉක්මවා ඇත්තේ ද එක් අවස්ථාවක දී පමණි.

මෙතෙක් සහභාගි වූ තරග 3ම ප‍්‍රසාද ලකුණු ද සමඟ ජයගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම හෙට තරගයේ දී ජයග්‍රාහී සංයුතිය වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි නමුත්, පළමු තරග 3 දී අසාර්ථක වූ අසේල ගුණරත්නගේ ස්ථානයට බොහෝ විට ධනංජය ද සිල්වාව ආදේශ කිරීමේ අවස්ථාවක් පවතින බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවල සඳහන් වේ.

හෙට තරගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ශූරතාවය දිනා ගනිවි ද? ඔබේ අදහස පහතින් සඳහන් කරන්න.

අපේක්ෂිත ශ‍්‍රී ලංකා කණ්ඩායම – උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් (නායක), අසේල ගුණරත්න, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, නුවන් ප‍්‍රදීප්.

අපේක්ෂිත බංග්ලාදේශ කණ්ඩායම – තමීම් ඉක්බාල්, එනමුල් හක්, ශකීබ් අල්හසන්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, සබීර් රෙහ්මාන්, නසීර් හොසේන්, මෂ්රෆී මොර්ටාසා (නායක) සන්සමුල් ස්ලාම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රැබෙල් හොසේන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<