ශකීබ්ගෙන් බැට කෑ ශ්‍රී ලංකාව වීරයෙකු සොයයි

198
Sri Lanka v Bangladesh 2nd test day 3

පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ පී. සරා ඕවල් තණතිල්ලේ වාසිය උපරිමයෙන් උකහා ගත් ශකීබ් අල් හසන් ප්‍රමුඛ බංගලාදේශ පිතිකරුවන් අද (17) තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. ඒ අනුව බංගලාදේශයට වඩා ලකුණු 129ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම අරඹන්නට සිදු වූ ශ්‍රී ලංකා පිතිකරුවන් දිනය නිමාවෙද්දී කිසිවකු නොදැවී ලකුණු 54ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම පසුපස බංගලාදේශය හඹා එයි

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් පීඩනය යටතේ වාර්තා කල විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අද (16) ලකුණු 300 ඉක්මවා යාමට සමත් විය. නමුත් එම ලකුණු සංඛ්‍යාව හඹා එන බංගලාදේශ…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට බංගලාදේශයේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 214ක් තුල දී බිඳ වැටී තිබුනත් ඔවුන්ගේ අත්දැකීම් බහුල පිතිකරුවන් දෙදෙනා වන නායක මුෂ්ෆිකර් රහීම් සහ ශකීබ් අල් හසන් පිටියේ රැඳී සිටීම නිසා තරගය දෙපිළටම විවෘත වී තිබුණි. අද දිනයේ සයවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 92ක් දක්වා ඉහළ නැංවූ ඔවුන් දෙදෙනා තරගය බංගලාදේශය දෙසට හරවන්නට සමත් වූහ. කෙසේ වෙතත් දිවා විවේකයට පැය භාගයක් පමණ ඉතිරිව තිබිය දී නව පන්දුව අතට ගත් සුරංග ලක්මාල් බංගලාදේශ නායකයාගේ කඩුල්ල බිඳ දැමීමට සමත් විය. ඒ වන විට මුෂ්ෆිකර් හතරේ පහර 6ක් සමගින් ලකුණු 52ක් රැස් කරගෙන සිටියේය.

හයවැනි කඩුල්ලේ සබඳතාවය බිඳ දැමීමෙන් අනතුරුව නැවත හිස එසවීමට උත්සාහ දැරූ ශ්‍රී ලංකාවට නැවතත් හරස් කැපීමට තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මොසෙද්දික් හුසේන් සමත් විය. ඒ ශකීබ් අල් හසන් සමග එක්වී සත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නංවමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වෙහෙසකර දිනයක් වූ අද දිනයේ දී පිටිය සිසාරා පහරවල් එල්ල කල ඔවුහු දෙදෙනා බංගලාදේශය සහභාගි වන සියවැනි ටෙස්ට් තරගයේ දී තමන් ලෙහෙසියෙන් පරාජය භාර නොගන්නා බව සපථ කළහ.

කෙසේ හෝ අවසානයේ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 116ක් ලබාගෙන සිටි ශකීබ් අල් හසන්ගේ ඉනිම නිමා කරන්නට ලක්ෂාන් සඳකැන් සමත් විය. ඒ මිඩ්-ඕන් හි සිට දිනේෂ් චන්දිමාල් රැක ගත් විශිෂ්ට උඩ පන්දුවක ආධාරයෙනි. බංගලාදේශය වීරයින් සොයන මොහොතක ශකීබ් රැස් කළ ශතකය ඔවුන්ට මෙම තරගයේ පෙරමුණ ගැනීමට අතිශය වැදගත් විය. ශකීබ්ගේ දැවී යාමෙන් අනතුරුව අවසන් පිතිකරුවන් කිහිප දෙනා සමඟ එක්වී කෙටි ලකුණු සබඳතා ගොඩ නංවමින් බංගලාදේශ ප්‍රථම ඉනිම ලකුණු 467ක් දක්වා ගෙන එන්නට 21 හැවිරිදි යොවුන් පිතිකරු මොසෙද්දික් හුසේන් සමත් විය.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොසෙද්දික් දැවී යන විට ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 75ක් රැස් කරගෙන සිටියේය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 4 බැගින් බිඳ හෙලූහ. ශ්‍රී ලංකා නායක රංගන හේරත් බංගලාදේශ පිතිකරු මුස්ටාෆිසූර් රහ්මාන් දවා ගැනීමත් සමග පළමුපෙළ කඩුලු දහසක් බිඳ හෙලූ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය. මීට පෙර මෙවන් විශිෂ්ට දක්ෂතාවක් දක්වා තිබුනේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පමණි.

ප්‍රථම ඉනිමේ දී ලැබූ පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවැනි ඉනිමේ දී එල්ල වී තිබුණේ සුළුපටු පීඩනයක් නොවේ. ඒ ශ්‍රී ලංකාවට බංගලාදේශය නැවත පිතිකරණයේ යෙදවීමට පවා ලකුණු 129ක් අවශ්‍ය කර තිබූ නිසාවෙනි. කෙසේ වෙතත් අද සන්ධ්‍යා කාලයේ දී පන්දු වාර 13කට මුහුණ දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 54ක් රැස්කර ගනිමින් දිනය නිමා කරන්නට සමත් විය. පී. සරා තණතීරුවේ තවමත් ලකුණු ඉතිරිව ඇති බව පෙන්නුම් කල ඔවුන් දෙදෙනා නිදහසේ පහරවල් කරා යමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25 බැගින් රැස් කළහ.

කෙසේ වෙතත් හෙට දිනය වන විට තරමක් කඩතොළු වී ඇති සරා තණතීරුවේ යම් තරමක දඟ කැවීමක් ඇතිවිය හැකි බැවින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩිපුර ප්‍රවේසම් වීමට සිදු වනු ඇත. මුල් ඉනිමේ දිනේෂ් චන්දිමාල් ක්‍රියාත්මක වූ අයුරින් දෙවැනි ඉනිමේ දී ද පිතිකරුවෙකු හෝ දෙදෙනෙකු දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමත් සෙසු පිතිකරුවන් ඔවුන් වටා තම ඉනිම ගොඩ නැංවීමත් මේ වන විට අනිවාර්ය සාධකයක් බවට පත්වී ඇත. මෙහෙදි හසන් සහ ශකීබ් අල් හසන් වැනි දඟ පන්දු යවන්නන්ගෙන් තම කඩුල්ල ආරක්ෂා කරමින් එවන් වික්‍රමයක් කල හැකි වීරයෙකුගේ අවශ්‍යතාව මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිලෙස දැනෙමින් පවතී.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.3): දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 25, මුස්ටාෆිසූර් රහුමාන් 2/50, මෙහෙදි හසන් 3/90, සුභාශිස් රෝයි 2/53.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 467 (පන්දුවාර 134.1): ශකීබ් අල් හසන් 116, මොසෙද්දික් හුසේන් 75, සෞම්‍ය සර්කාර් 61, මුෂ්ෆිකර් රහීම් 52, තමීම් ඉක්බාල් 49, සබ්බීර් රහ්මාන් 42, රංගන හේරත් 4/82, ලක්ෂාන් සඳකැන් 4/140.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 54 (පන්දුවාර 13): උපුල් තරංග 25*, දිමුත් කරුණාරත්න 25*.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට