70 වැනි නිදහස ජයෙන් සැමරීමට තිබූ අවස්ථාව මඟ හැරී යයි

728
Sri Lankan cricketers celebrate after the dismissal of Bangladeshi cricketer Mominul Haque during the fifth and final day of the first cricket Test between Bangladesh and Sri Lanka at Zahur Ahmed Chowdhury Stadium in Chittagong on February 4, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

මොමිනුල් හක් සහ ලිටන් ඩාස් එක්ව සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු 180ක සබඳතාව හේතුවෙන් 70 වැනි නිදහස අභිමානවත්ව සැමරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් අවාසනාවන්ත ලෙසින් දුරස්ව ගිය ද බංග්ලාදේශ නායකයාගේ 32 වැනි උපන් දිනය කිසිදු බාධාවකින් තොරව සැමරීමට අද තරගයේ විසඳුම හේතු විය.

[rev_slider LOLC]

මේ සැමරුම් දෙක සමඟින් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (04) චිතගොන් හිදී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.

දිනය ආරම්භයේ දී තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙස තිබුණ ද දිනයේ නිමාව සනිටුහන් වන අවසන් පැය එළඹෙද්දීත් එවැන්නක පෙර නිමිති නොවූ හෙයින් දෙපිළේ නායකයන් තරගය වේලාසනින්ම නතර කර දැමීමට තීරණය කළහ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 200ක් පිටුපසින් සිට පෙර දිනයේ දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය තරගයේ බේල්ස් ඉවත් කෙරෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 307ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිම වෙනුවෙන් ඉදිරියෙන් සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 5ක් අතැතිව 107කි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් වෙන්ව තිබූ තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමේ ගෞරවය මොමිනුල් හක් වෙත පැටවෙන්නේය. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණ ඔහු, මෙම තරගයේ දී වසර 18ක ඉතිහාසයකින් යුත් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතේ අලුත්ම පරිච්ඡේද කිහිපයක් ලියා තබන්නට සමත් විය. ඒ අතුරින් ප්‍රථමයෙන්ම ලියැවුණේ බංග්ලාදේශය වෙනුවෙන් ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසිනි.

ශ්‍රී ලංකාව ලකුණු 700 පසුකර යයි; බංග්ලාදේශය අවදානමක

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ හය වැනි වතාවටත් ලකුණු 700 සීමාව ඉක්මවූ ශ්‍රී ලංකා…

එම ඉනිම දෙකේ ලකුණු එකතුව වූ 281 බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයක දී රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් විය. මීට පෙර මෙම වාර්තාවේ හිමිකාරත්වය තමීම් ඉක්බාල් සතු වූයේ පාකිස්තානයට එරෙහිව ලකුණු 231ක් ලබා ගනිමිනි.

මොමිනුල් මේ රැස් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ තෙවැනි ටෙස්ට් ශතකය වන අතර තම හය වැනි පෞද්ගලික ටෙස්ට් ශතකයයි. මේ ශතක 6න් 5ක්ම චිතගොන් පිටියේ දී රැස් කිරීම ද කැපී පෙනෙන සිදුවීමකි.

පෙර දිනය සසල සිතින් නිමා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ අවසන් දිනයට පිටියට පිවිසියේ ද තරගයේ නියත විසඳුමක් ලැබෙතැයි යන දෙගිඩියාවෙනි. එහෙත් දැඩි අධිෂ්ඨානයත් වඩාත් නිවැරදි තාක්ෂණයත් විසින් තරගයේ අවසානය සැනසුම් සුසුමින් අවසන් කිරීමට බංග්ලාදේශය සමත් විය. එහෙත් අවස්ථා කිහිපයක දී ම පළමුවර පන්දුව රැක නොගැනීම හේතුවෙන් සංචාරක ක්‍රීඩකයෝ දැක්වූ දුර්වලතාව ද බංග්ලාදේශයේ වාසියට විය.

තරගය ආරම්භයේ දී මෙන්ම වරින් වර බොහෝ විචාරකයන්ගේ මතය වූයේ අවසන් දිනයේ දී චිතගොන් තණතිල්ල දඟපන්දු යවන්නන් වෙත වඩාත් වාසි දායක වනු බවයි. එහෙයින්ම දෝ ශ්‍රී ලංකා නායකයා ද වැඩි වශයෙන්ම විශ්වාසය තැබුවේ දඟපන්දු යවන්නන් කෙරෙහිව ම ය. කෙසේ වෙතත් විචාරකයන්ගේ සියලු මතයන් බොරු කරවමින් අවසන් දිනයේ දී චිතගොන් තණතිල්ල කිසිදු දඟපන්දු යවන්නෙක් වෙනුවෙන් සහයෝගයක් දැක්වූයේ නැත.

දිනයේ පළමු විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 106ක් ලබා ගත්තේය. එසේ වූවද දිවා විවේකයෙන් පසුව ක්‍රියාත්මක වූ තරග කාලයේ දී රංගන හේරත් කඩුලු දෙකක් දවා ගනිමින් නැවත තරගය තමන් වෙත යම් ප්‍රමාණයකට නම්මා ගැනීමට සමත් විය. දැවී ගිය පළමු ක්‍රීඩකයා වූයේ මොමිනුල් හක් ය. ඔහු පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේය.

අනතුරුව මංගල ටෙස්ට් ශතකයට ලකුණු 6ක් මෙපිටින් සිටිද්දී තම කඩුල්ල අහිමි කර ගැනීමට ලිටන් ඩාස් හට සිදු විය. ඒ රංගන හේරත්ගේ පන්දුවකට දිල්රුවන් පෙරේරා විසින් ඉතා අපහසු උඩ පන්දුවක් දක්ෂ ලෙස රැකගත් නිසාවෙනි. ඒ වෙද්දී ඔහු පන්දු 182කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 94ක් රැස් කර ගෙන සිටියේය. එය ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් වාර්තා පොත් සටහන් කර ගත්තේය. ලිටන් ඩාස් අද තමන්ගේ ටෙස්ට් තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය පන්දු 93කට මුහුණ දෙමින් රැස් කළේය.

ජයග්‍රහණය සාමකාමීව සමරන්න; මේ වසන්තය නොවේ

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං…

තේ විවේකය වෙද්දී බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 281ක්ව තිබූ අතර දිවා විවේකය සහ තේ විවේකය අතර කාලයේ දී ඔවුන් කඩුලු 2ක් අහිමි කර ගෙන ලකුණු 94ක් ලබා ගත්හ. එම කාර්තුවේ යැවුණ ඉනිමේ 60 වැනි පන්දු වාරයේ දී ශ්‍රී ලංකාව අභිබවා ලකුණු 200 සම්පූර්ණ කර ගැනීමට ද බංග්ලාදේශය සමත් විය. තරගය නිමා කරන විට නායක මහමදුල්ලා නොදැවී ලකුණු 28ක් ද මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියහ.

බංග්ලාදේශය දෙවැනි ඉනිමේ මුහුණ දුන් පන්දු වාර 100න් පන්දු වාර 85කටම මුහුණ දුන්නේ දඟපන්දුවලට වීම විශේෂ වේ. දඟපන්දු යවන්නන් 5 දෙනෙක් විසින් යැවුණ මේ පන්දුවාරවල දී ලකුණු 261ක් ඔවුන් ලබා ගත් අතර දැවී ගිය කඩුලු පහේම හිමිකාරත්වය ද දඟපන්දු යවන්නන්ම සතු විණි. ඒ අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ රංගන හේරත් විසිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 08 වැනි දා සිට මිර්පූර් හිදී ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176,  මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 713 (199.3) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා 109, දිනේෂ් චන්දිමාල් 87, නිරෝෂණ දික්වැල්ල 62, දිල්රුවන් පෙරේරා 32, මෙහෙදි හසන් 3/174,  ටයිජුල් ඉස්ලාම් 4/219

බංග්ලාදේශය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 307 (100.0) තමීම් ඉක්බාල් 41, ඉම්රුල් කයිස් 19, මොමිනුල් හක් 105, ලිටන් ඩාස් 94, මහමුදුල්ලා නොදැවී 28, රංගන හේරත් 2/80

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<