දඟ පන්දුවේ ශක්තියෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

305
SLvBAN 1st Test Day 5 - Lunch Report

පසුගිය කාලයේ පැවති ජාත්‍යන්තර තරග වල දී ලොව ප්‍රබල කණ්ඩායම් කිහිපයක් ඉදිරියේ පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කළ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පා තබන්නේ ශ්‍රී ලංකාවට සිය මව්බිමේ දීම ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව ඉලක්කයට ලඟා වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 4ක් ගතවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක්…

ශ්‍රී ලංකාවේ තණතිලි පිළිබඳ හසල දැනුමක් ඇති චන්දික හතුරුසිංහ ඔවුන්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීම මෙම ඉලක්කය ජය ගැනීම සඳහා ඔවුන්ට ඇති අවස්ථාව තවදුරටත් ඉහළ නංවන්නක් බවට පත්විය. නමුත් අද (11) ගාල්ලේ දී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකා දඟ පන්දුවේ ශක්තිය ඉදිරියේ දැවැන්ත පරාජයක් උරුම කර ගන්නට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

ඊයේ සන්ධ්‍යා කාලයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ලබා දුන් ලකුණු 457ක දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු 67ක් ලබාගෙන දිනය නිමා කිරීමට සමත් විය. ඒ හේතුවෙන් අද දිනයේ දී ඔවුන් තරගය බේරා ගැනීම සඳහා ප්‍රබල වෑයමක් දරනු ඇතැයි සියල්ලන්ම අපේක්ෂා කළත් ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පවා තම දඟ පන්දුවෙන් මෙල්ල කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බංගලාදේශ අභියෝගයක් නොවීය. අද දිනයේ දී නායකත්වයේ වගකීම කරට ගනිමින් ලකුණු 59කට කඩුලු 6ක් බිඳ හෙලූ රංගන හේරත් ලොව  වැඩිම කඩුලු ගණනක් බිඳ හෙලූ වමත් දඟ පන්දු යවන්නා වශයෙන් අභිෂේකය ලැබීය.

ඊයේ දිනයේ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් රැස් කරගෙන ශ්‍රී ලංකාවට හිසරදයක් ගෙන දුන් සෞම්‍ය සර්කාර් අද දිනයේ ක්‍රියාත්මක කල දෙවැනි පන්දුවේ දී ම අසේල ගුණරත්නගේ ගොදුරක් බවට පත් විය. අසේල යැවූ මද වේග පන්දුව සර්කාර්ගේ පිත්ත පරදා යන්තමින් පිට ඉන්නේ දැවටීමත් සමඟ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාව ආරම්භ විය. දිනය ආරම්භයේ දී ම ලබා ගත් වාසියෙන් උපරිම ඵල නෙලා ගත් දිල්රුවන් පෙරේරා බංගලාදේශ නැවත සිහි එලවා ගන්නටත් ප්‍රථමයෙන් මොමිනුල් හක් සහ තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. මොමිනුල් හක් තමන්ට ලැබුණු විනිසුරු තීරණය අභියෝගයට ලක් කලත් කඩුල්ල කෙලින් පතිත වී මොමිනුල්ගේ පසුපස පාදයේ වදින පන්දුවට කඩුල්ලේ ගැටෙනු මිස යා හැකි වෙනත් මාර්ගයක් නොමැති බව පුනරූපන මගින් පැහැදිලි විය.

ඉන් අනතුරුව සුවිශේෂී සිදුවීමකින් තොරව පන්දුවාර කිහිපයක් ගෙවී ගිය අතර රංගන හේරත් ක්‍රියාත්මක කළ 28වැනි පන්දු වාරයේ දී බංගලාදේශය සතු තවත් දක්ෂ පිතිකරුවන් දෙදෙනෙකුට පිටිය හැර යාමට සිදු විය. බංගලාදේශ මැදපෙළ රැක ගැනීමට සිටින ශකීබ් අල් හසන් ලකුණු 8ක් ලබා සිටිය දී ලබා දුන් අපහසු උඩ පන්දුව ලෙග්-ස්ලිප් හි පන්දු රැකි දිමුත් විශිෂ්ට අන්දමින් රැක ගත් අතර එම පන්දු වාරයේම අවසන් පන්දුවේ දී මහමුදුල්ලාහ් රියාද් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වන විට ඔහු කිසිදු ලකුණක් ලබා නොතිබුණි.

මේ වන විට සියලු සිහින බිඳ වැටුනු බංගලාදේශ කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 104ට කඩුලු 5ක් ලෙස සටහන් විය. නමුත් ජයග්‍රහණය පිලිබඳ තබා තිබූ බලාපොරොත්තු සුන්වී දැවැන්ත පරාජයක් අසලට පැමිණ තිබූ බංගලාදේශයට යම් තරමක ගෞරවයක් එක් කරන්නට ලිතන් දාස් සහ නායක මුෂ්ෆිකර් රහීම් සමත් විය. ඒ සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවයක් ගොඩ නංවමිනි. නමුත් දිවා විවේකයෙන් අනතුරුව නායක මුෂ්ෆිකර් රහීම්ව පිටියෙන් ඉවත් කරමින් මෙම සබඳතාවයට තිත තැබීමට ලක්ෂාන් සඳකැන්ට හැකිවිය.

අද බංගලාදේශ ඉනිමේ 51වැනි පන්දු වාරයේ දී ලිතන් දාස්ගේ කඩුල්ල බිඳ හෙලූ රංගන හේරත් ලොව සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා බවට පත් වූයේ කඩුලු 362ක් බිඳ හෙලූ නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි අභිබවා යමිනි. එතකින් නොනැවතුනු හේරත් අද තරගය නිමා වන විට තම වමත් පිට දඟ පන්දුව හමුවේ පරාජයට පත්වූ පිතිකරුවන් ගණන 366 දක්වාම ඉහළ නංවා ගත්තේය. ඒ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාව වාතලයට මුසුවන අතරතුරේ දී බංගලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු 3ත් තමන් සතුකර ගනිමිනි.

ඒ අනුව බංගලාදේශ දෙවැනි ඉනිම ලකුණු 197කට සීමා වුනු අතර ප්‍රථම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 259ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය. තරගයේ වීරයා සම්මානය ප්‍රථම ඉනිමේ විශිෂ්ට පිතිහරඹයක නිරත වී ලකුණු 194ක් රැස්කල කුසල් මෙන්ඩිස්ගේ සුරතේ රැඳිණි. සම්මාන හිමි නොවූවත් මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර හේරත්, තරංග සහ දිල්රුවන් යන ක්‍රීඩකයින්ගේ නම් ඉහළින්ම සඳහන් විය. එසේම නව ටෙස්ට් නායක රංගන හේරත් තමන් නායකත්වය දැරූ තරග තුනේදීම ජයග්‍රහණය අත්කර ගැනීම ශ්‍රී ලංකාවට ආශීර්වාදයක් බවට පත්ව ඇත. දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 46): මුෂ්ෆිකර් රහීම් 85, සෞම්‍ය සර්කාර් 71, තමීම් ඉක්බාල් 57, මෙහෙදි හසන් 41,  දිල්රුවන් පෙරේරා 3/53, රංගන හේරත් 3/72, සුරංග ලක්මාල් 1/42.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 274 (පන්දුවාර 69): උපුල් තරංග 115, දිනේෂ් චන්දිමාල් 50*, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 32, මෙහෙදි හසන් 2/77, ශකීබ් අල් හසන් 2/104.

බංගලාදේශ (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 60.2): සෞම්‍ය සර්කාර් 53, ලිතන් දාස් 35, මුෂ්ෆිකර් රහීම් 34, මෙහෙදි හසන් 28, රංගන හේරත් 6/59, දිල්රුවන් පෙරේරා 2/66, අසේල ගුණරත්න 1/16, ලක්ෂාන් සඳකැන් 1/29.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට