සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති ප්‍රථම එක්දින තරගයෙන් ලකුණු 160ක දරුණු පරාජයක් විඳ දරා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (13) සිදු විය. තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය අරඹමින් හෝබාර්ට් හිදී පැවති තරගයේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් පාරම් උප්පල් සහ සැක් එවන්ස් ඉහළ දක්ෂතා ප්‍රකට කල අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුනේ වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික පමණි.

නවකයින්ගේ දක්ෂතා නිසා මුම්බායි පිළට තවත් ජයක්

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම වැජඹුණු සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට මෙවර තරගාවලියේ ප්‍රථම පරාජය උරුමකර දීමට ඊයේ (12) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය…

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් ඕස්ට්‍රේලියානුවන්ට මුලින් පන්දුවට පහර දීමට ඇරයුම් කරන්නේ ඔවුන්ව අඩු ලකුණු ගණනකට සීමා කරමින් පිතිකරණයේ දී වාසියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් මෙම තණතිලි හොඳින් හුරුපුරුදු ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව මෙල්ල කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිසේත්ම පහසු නොවීය. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක් රැස් කරමින් විශාල ලකුණු ගණනක් සඳහා අවශ්‍ය පසුබිම සැකසීය.

නිපුන් රංසිකගේ ඇතුළට දෝලනය වුනු වේග පන්දුවකට මැක්ස් බ්‍රයන්ට් එල්ල කල වේගවත් පහරක් කවීන් බණ්ඩාර සුරැකිව රැක ගැනීමත් සමග එම සබඳතාවය නිමාවට පත් වූවත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙවැනි සහ තෙවැනි කඩුලු වෙනුවෙන් ද අර්ධ ශතක සබඳතා ගොඩ නැගීමට සමත් වූහ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු අවස්ථාවකදී පීඩනය ගොඩ නැගීමට ඉඩ නොදුන් අංක 3 පිතිකරු පාරම් උප්පල් හතරේ පහර 9ක් සහ එක් දැවැන්ත හයේ පහරක් සමගින් ලකුණු 111ක් රැස් කළේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම ලෙස ක්‍රියාකල උප්පල්ගේ මෙම ශතකය නොවන්නට ශ්‍රී ලංකා යෞවනයින් අද මීට වඩා තරගයක් ලබා දීමට ඉඩ තිබුණි.

උප්පල් හැරුණුකොට වෙනත් කිසිදු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකළ අතර ජැක් එඩ්වඩ්ස් ලකුණු 45ක් ද, ජේසන් සංගා ලකුණු 31ක් ද රැස්කර ගත්හ. 49 වැනි පන්දු වාරයේ දී ප්‍රවීන් ජයවික්‍රමගේ දඟ පන්දුවක් හඳුනාගත නොහැකිව පාරම් උප්පල් දැවී ගියද ඔහු ඒ වන විටත් ශ්‍රී ලංකා පිළට විශාල හානියක් සිදුකර තිබුණි. ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් තම පන්දුවාර 50 නිමා කරන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 265ක් රැස්කර ගනිමිනි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නිපුන් රංසික කඩුලු 3ක් දවාගත් අතර මැදපෙළ පිතිකරු විල් සදර්ලන්ඩ් සහ ලෙවින් මැලඩේ දවා ගැනීම සඳහා ඔහු යැවූ මාරාන්තික යෝකර් පන්දු දෙක වේග පන්දු යවන්නෙකුගේ උපරිමය විදහා දැක්වූ අවස්ථාවක් බවට පත්විය. මීට අමතරව හසිත බෝයගොඩ සිය දඟ පන්දුවෙන් කඩුලු 2ක් දවා ගත්හ. ඉනිම මුලදීම තිසරු ඩිල්ශාන් සහ ජෙහාන් ඩැනියෙල් යන වේග පන්දු යවන්නන් අද ප්‍රහාරයට ගොදුරු වීම නිසා නායක කමිඳු මෙන්ඩිස්ට පන්දුවාර 10ක්ම යැවීමට සිදුවිය.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළෙන් එල්ල වුනු ලකුණු 266ක දැවැන්ත අභියෝගය ජය ගැනීමට තබා සටනක් දීමට තරම්වත් හැකියාවක් අද ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දක්නට ලැබුනේ නැත. එහි මූලාරම්භකයා ලෙස ලකුණු 4ක් ලබා සිටි විශ්ව චතුරංග දැවී යන්නේ සැක් එවන්ස් එවූ වේග පන්දුවකට ජොනතන් මර්ලෝ පිටුපසට පනිමින් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් නිසාවෙනි. අනෙක් අන්තයේ සිටි ලසිත් කෲස්පුල්ලේට ද ලකුණු 12කට වඩා රැස් කරන්නට එවන්ස්ගෙන් ඉඩක් ලැබුනේ නැත.

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 20ක් තුළ බිඳ වැටී අසරණ වුනු මොහොතේ ලකුණු 19ක කෙටි සබඳතාවයක් එක් කිරීමට නායක කමිඳු මෙන්ඩිස් සහ නිපුන් සුමනසිංහ සමත් වුවද පරාජය වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා ඉනිම ආපසු හරවන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. එවන්ස්ගේ වේග පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් මිඩ්-ඕන් කලාපයට උඩපන්දුවක් ලබාදීමත් සමග එම ලකුණු සබඳතාවයට ද නැවතීමේ තිත තැබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු නිපුන සුමනසිංහ හතරේ පහර 3ක් සමගින් අද ලකුණු 29ක් රැස්කර ගත්තේය. සදර්ලන්ඩ්ගේ පන්දුවක් හමුවේ ඩීප් ෆයින්-ලෙග් කලාපයට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම ගොඩගත හැකි පිතිකරුවෙකු කණ්ඩායම සතු නොවීය. ඒ අනුව පන්දුවාර 33යි පන්දු 2ක් තුල දී ලකුණු 105කට සීමා වන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට සිදුවිය.

පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක සැක් එවන්ස් ශ්‍රී ලංකා පිළේ වටිනා කඩුලු 4ක් ලකුණු 22ක් තුල දී බිඳ දැමීය. මීට දින කිහිපයකට පෙර ජය පරාජයෙන් තොරව අවසන් කරගත් යොවුන් ටෙස්ට් තරගයේ දී ද ශ්‍රී ලංකා පිළට තිබූ දැවැන්තම තර්ජනය බවට පත්වූයේ සැක් එවන්ස් නම් මෙම යොවුන් වේග පන්දු යවන්නායි. මීට අමතරව ලොයිඩ් පෝප්ගේ දකුණත් දඟ පන්දුවට ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු ගොදුරු විය.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් ලකුණු 111ක් රැස්කර ගනිමින් ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළෙන් ඈතට ගෙන ගිය පාරම් උප්පල්ට හිමිවිය. කෙසේවෙතත් තරගාවලියේ තවත් තරග 4ක් ඉතිරිව ඇති නිසා ශ්‍රී ලංකා පිළට මෙම සංචාරය සාර්ථක අවසානයක් කරා රැගෙන යාමට තවදුරටත් අවස්ථාව ඇත. දෙරට අතර මීළඟ යොවුන් එක්දින තරගය අනිද්දා (15) හෝබාර්ට් හිදීම පැවැත්වීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 265 (පන්දුවාර 50): පාරම් උප්පල් 111, ජැක් එඩ්වඩ්ස් 45, මැක්ස් බ්‍රයන්ට් 34, ජේසන් සංගා 31, විල් සදර්ලන්ඩ් 10, නිපුන් රංසික 3/60, හසිත බෝයගොඩ 2/35, කමිඳු මෙන්ඩිස් 1/45, ප්‍රවීන් ජයවික්‍රම 1/48.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 33.2): නිපුන සුමනසිංහ 29, නිපුන් රංසික 17, කමිඳු මෙන්ඩිස් 13, ලසිත් කෲස්පුල්ලේ 12, ක්‍රිෂාන් ආරච්චිගේ 11, සැක් එවන්ස් 4/22, ලොයිඩ් පෝප් 3/21, විල් සදර්ලන්ඩ් 2/29.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට