කාන්තාවන්ට ලෝක කුසලාන දොරටු වැසේ ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20-20 තරඟාවලියේ A කාණ්ඩයේ තරඟයක් අද (24) ශ්‍රී ලංකා කණ්ඩායම හා වත්මන් ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඉන්දියාවේ දිල්ලි නුවරදි පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථව ලැබුනි.

සුපුරුදු පරිදි පිටියට පිවිසි යශෝධා මෙන්ඩිස් හා චමරි අතපත්තු යන දෙපලට සාර්ථක ආරම්භයක් ගැනීමට නොහැකි විය. පළමු කඩුල්ල ලෙස යශෝධා මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ඩිලානි මනෝදරා හා එක්වූ නායිකා චමරි අතපත්තුගේ සබඳතාව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ක්‍රියාත්මක කරන ලදි. පන්දුවාර 7 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවෙන ලදි. තවද එම සබඳතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඕනෑම කඩුල්ලක් සඳහා මෙතෙක් ගොඩනැගු වැඩිම ලකුණු සබඳතාවය විය, එය ලකුණු 75 ක දැවැන්ත සබඳතාවකි. දෙවන කඩුල්ල ලෙස ඩිලානි මනෝදරා පන්දු 35 කදී 4 පහරවල් 5 ක් සමඟින් ලකුණු 38 ක් ලබා සිටියදී දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි අනුෂ්කා සංජීවනී පන්දු 13 කදී එක් 4 පහරක් සමඟ ලකුණු 12 ක් ලබා සිටියදී දැවී යන ලදි. අනතුරුව 4 වන කඩුල්ල ලෙස චමරි අතපත්තු නායකත්වයේ ඉනිමක් දියත් කර පන්දු 30 කදී 4 පහරවල් 4 ක් සමඟ වේගවත් ලකුණු 38 ක් ලකුණු පුවරුවේ සටහන් කර 4 වන කඩුල්ල ලෙස පන්දුවට කඩුල්ලේ කෙලින්ම වැදීමෙන් දැවී යන ලදි. පන්දුවාර 16 කදී කඩුළු 4 ක් දැවී ලකුණු 105 ක් ලබා සිටින ලදි. ලකුණු පුවරුවට තවත් ලකුණු 3 ක් එක් වෙද්දී 5 වන කඩුල්ල ලෙස ඕෂධී රණසිංහ දුවද්දී දැවී යාමකට හසු විය. ඇය පන්දු 10 කදී ලකුණු 4 ක් ලබා ගන්නා ලදි. ප්‍රසාධිනී වීරක්කොඩි ලකුණු 7 කට දැවී ගිය අතර, නිපුනි හංසිකා එක් ලකුණකට දුවද්දී දැවී යන ලදි. කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 123 ක හොඳ ලකුණු මට්ටමකට රැගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්විය. පන්දු යැවීමේදී මෙගාන් ෂට් හා ක්‍රිස්ටින් බීම්ස් පන්දුවාර 4 කදී ලකුණු 25 කට කඩුළු 2 ක් ද, ජෙසී ජොන්සන් පන්දුවාර 3 කදී ලකුණු 12 ට එක් කඩුල්ලක් ද, එරින් ඔස්බොන් පන්දුවාර 2 කදී ලකුණු 11 කට එක් කඩුල්ලක්ද දවාලීමට සමත් විය.

ලකුණු 124 ක ඉලක්කයක් හඹා යාමට පිවිසි ඕස්ට්‍රේලියානු කාන්තා ආරම්භක පිතිකරු යුගල වන ඇලයිසා හේලි හා එලයිසා විලනි ලකුණු 27 ක සබඳතාවක් එක් කල අතර පළමු කඩුල්ල ලෙස ඇලයිසා හේලි ලකුණු 12 කට ඉනෝකා රණවීර ගේ පන්දුවකට දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි මැග් ලැනින් හා එක්වූ එලයිසා විලනි ලකුණු 98 ක නොබිදුනු දැවැන්ත සබඳතාවක් ගොඩනැගු අතර එය දර්ශනීය 4 පහරවල් රැසක්ම පිටිය පුරා විසුරැවමින් ශ්‍රී ලංකා පන්දු වලට රිසිසේ පහර එල්ල කරමින් තම කණ්ඩායම ජයග්‍රහණයට කැඳවා ගිය සබඳතාවක් බවට පත් විය. ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 4 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 125 ක් ලබා තරඟය ජයග්‍රහණය කල අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියන් ඉවත් වීමට සිදු විය. ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් එලයිසා විලනි නොදැවී පන්දු 39 කදී 4 පහරවල් 9 ක් සමඟ ලකුණු 53 ක්ද ,මැග් ලැනින් නොදැවී පන්දු 53 කදී 4 පහරවල් 8 කින් ලකුණු 56 ක් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර පන්දුවාර 4 කදී ලකුණු 27 කට එක් කඩුල්ලක්ද, සුගනිධිකා කුමාරි පන්දුවාර 4 කදී ලකුණු 22 ක්ද, ඕෂධී රණසිංහ පන්දුවාර 3 කදී ලකුණු 23 ක්ද ,ඒෂානි කෞෂල්‍යා පන්දුවාර 2 කදී ලකුණු 17 ක් ද ලබාදෙන ලදි. අවසානයේ දී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුළු 9 ක දැවැන්ත ජයග්‍රහණයක ලබා ගත් අතර තරඟයේ වීරයා ලෙස එලයිසා විලනි සම්මාන දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරඟාවලියේ සහභාගි වන අවසාන තරඟය ලබන සඳුදා (28) දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ ඉන්දියාවේ බැංගලෝර් හීදි පැවැත්විමට නියමිතය.