රංසිකගේ සාර්ථකත්වයට ඕස්ට්‍රේලියානු මැදපෙළ වැට බඳියි

5389
U19 Sl v Aus

ශ්‍රී ලංකා යොවුන් පිළේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (08) හෝබාර්ට් ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය ක්‍රියාත්මක විය. තරගයේ මුල් පැය ඇතුළත ශ්‍රී ලංකා පිළ යම් තරමක් ඉදිරියට පැමිණීමට සමත් වූවත් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් සමග තරගයේ පාලනය ශ්‍රී ලංකා පිළෙන් ගිලිහී ගියේය.

ගුජරාට් සිංහයින්ට ක්‍රිස් ලින්ගෙන් සුපිරි ප්‍රහාරයක්

මේ වන විට දෙවතාවක්ම ඉන්දියන් ප්‍රිමියර් ලීග් කිරුළ දිනාගෙන සිටින ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (07) පැවති තරගයේ දී වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.

දකුණු අප්‍රිකාවේ වේගවත් තණතිලි වල දී හොඳින් දක්ෂතා ප්‍රකට කළ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නන් ගැන විශ්වාසය තැබූ ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් කාසියේ වාසිය දිනා ගෙන තීරණය කරන්නේ මුලින් පන්දු යැවීමටයි. එම තීරණය යම්තාක් දුරකට සාධාරණීකරණය කළ තිසරු ඩිල්ශාන් සහ නිපුන් රංසික ඕස්ට්‍රේලියානු මුල් කඩුලු 3 ලකුණු 45ක් තුල බිඳ හෙලීමට සමත් වූහ. මෑතක දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර නමක් දිනා ගත් නිපුන් රංසික මුල්පෙළ කඩුලු 2ක් දවා ගනිමින් එහි පළමු වෙඩි මුරය එල්ල කල අතර වමතින් වේග පන්දු යවන තිසරු ඩිල්ශාන් ද එක් කඩුල්ලක් දවා ගත්තේය.

තමන්ගේ ජන්ම භූමියේ දී ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාදයක් පසුපසට ගන්නට සිදු වුනු ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට නැවතත් යම් සැනසුමක් ගෙන එන්නේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් එක්කළ ජේසන් සංගා සහ ජොනතන් මර්ලෝයි. ජේසන් අද හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් රැස් කිරීමට සමත් විය. අවසානයේ මෙම සබඳතාවය බිඳ හෙලන්නට ජෙහාන් ඩැනියෙල් සමත් වුවත් ජොනතන් මර්ලෝගේ සබඳතා පිපාසය ඒ වන විටත් සංසිඳී තිබුනේ නැත.

ජේසන්ගේ දැවී යාමෙන් අනතුරුව ඔහු අංක 6 පිතිකරු ජැක් එඩ්වඩ්ස් සමඟ එක්වී ලකුණු 182ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවන්නේ ඒ අනුවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම තරගයේ පාලනය ගිලිහෙන්නට මෙම සබඳතාවය දැඩි ලෙස හේතු විය. පීඩනය යටතේ තම ඉනිම ගොඩ නැගූ ජොනතන් මර්ලෝ හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් අද නොදැවී ශතකයක් වාර්තා කර ගනිද්දී අනෙක් අන්තයේ සිටි ජැක් එඩ්වඩ්ස් තම ඉනිම නිමා කරන්නේ ලකුණු 106ක් රැස් කර ගනිමිනි. ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 8ක් සහ ඉහළින්ම එල්ල වුනු හයේ පහර 3ක් ඇතුළත් විය.

මෙම පිතිකරුවන් දෙදෙනාට ස්තූති වන්නට කඩුලු 6ක් දැවී ලකුණු 306ක් රැස්කර ගන්නා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තම ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. පන්දු වාරයකට ලකුණු 3.88ක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන්ට මෙම ලකුණු පුවරුව නිර්මාණය කිරීම සඳහා වැය වුනේ පන්දුවාර 79යි පන්දු 3ක් පමණි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා යොවුන් පිළ වෙනුවෙන් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික ලකුණු 46කට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව තිසරු ඩිල්ශාන් සහ ජෙහාන් ඩැනියෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඕස්ට්‍රේලියානු පිළෙන් දැවැන්ත ඉලක්කයක් හිමිවුණු ශ්‍රී ලංකා යෞවනයින්ට අද දිනය නිමාවීමට පෙර පන්දුවාර 8කට මුහුණ දීමට සිදුවිය. එම කාලය තුලදී ධනාත්මක පිතිකරණ විලාශයක් පෙන්නුම් කල ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 38ක් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට එක්කර ගත්හ. දිනයේ බිඳ වැටුණු එකම ශ්‍රී ලංකා කඩුල්ල ලෙස දකුණත් පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 14කට දැවී ගියේය. මේ වන විට විශ්ව චතුරංග සහ හසිත බෝයගොඩ නොදැවී පන්දුවට පහර දෙමින් සිටියි.

තවමත් ශ්‍රී ලංකා යොවුන් පිළ ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 271ක් පිටුපසින් සිටින නිසා හෙට උදෑසන කාලයේ දී මොවුන් දෙදෙනා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ප්‍රවේශමෙන් පන්දුවට පහර දීම ඉතාමත් වැදගත් වනු ඇත. පසුගිය කාලයේ ක්‍රියාත්මක වුනු පාසල් ක්‍රිකට් තරග වල දී හොඳින් ලකුණු අතර සිටි නායක කමිඳු මෙන්ඩිස්ට සහ ජෙහාන් ඩැනියෙල්ට ද ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ දී ඉතාමත් වැඩි වගකීමක් දැරීමට සිදුවනු ඇත. මන්ද ඔවුන් දෙදෙනා විදෙස් රටවල් වල දී තරගාවලි වලට සහභාගි වී අත්දැකීම් ඇති ක්‍රීඩක දෙදෙනෙකු වන බැවිනි. කෙසේ වෙතත් හෙට දිනය (09) මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳ ඉඟියක් සපයන තීරණාත්මක දිනය වනු ඇත.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 309 (පන්දුවාර 79.3): ජැක් එඩ්වඩ්ස් 106, ජොනතන් මර්ලෝ 100*, ජේසන් සංගා 41, රයන් හැක්නි 17, පරාම් උප්පාල් 15, නිපුන් රංසික 3/46, ජෙහාන් ඩැනියෙල් 1/34.

ශ්‍රී ලංකා යොවුන් පිළ – එක් කඩුල්ලක් දැවී ලකුණු 38 (පන්දුවාර 8): ලසිත් කෲස්පුල්ලේ 14, හසිත බෝයගොඩ 8*, විශ්ව චතුරංග 7*, රයන් හැඩ්ලි 1/12.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට