ජෙහාන් ඩැනියෙල්ගේ හුදකලා සටන අවසානයේ කැන්ගරුවන්ට ජය

1835
Jehan Daniel

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වුනු තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 102ක  දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අද (18) ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2 – 1ක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසු වන්නේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමයි.

ශූරයින්ගේ කුසලානයට පෙර දියතලාව සහ මහනුවර දී පුහුණු සැසියක්

පුංචි ලෝක කුසලානය නමින් සමස්ත ලෝකයේම අවධානය දිනා ගෙන ඇති ශූරයින්ගේ කුසලානය එළඹෙන ජුනි මාසයේ දී..

කලින් තරගයේ දී නායකත්වය හෙබවූ ජේසන් සංගා මෙම තරගයට සහභාගි නොවීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙවර තුන් ඉරියව් ක්‍රීඩක විල් සදර්ලන්ඩ්ට හිමිවී තිබුණි. කාසියේ වාසිය දිනා ගත් ඔහු හෝබාර්ට් තණතීරුවේ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතම වේග පන්දු යවන්නා වන නිපුන් රංසික මෙම තරගයට සහභාගි නොවූ අතර ඔහු වෙනුවට සාන්ත සර්වේසස් විදුහල නියෝජනය කරන වේග පන්දු යවන්නෙකු වන තිලාන් ප්‍රශාන් කැඳවා තිබුණි.

ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල දෙවැනි පන්දුවේදීම බිඳ දැමීමට තිසරු ඩිල්ශාන්ගේ වේග පන්දුවකට හැකි විය. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවයක් ගොඩ නැංවීමට රයන් හැක්නි සහ ජැක් එඩ්වඩ්ස් සමත් වූහ. හැක්නිගේ පිත්තෙන් අද ලකුණු 39ක් ගලා ආ අතර ඕස්ට්‍රේලියානු පිළේ නැංගුරම බවට පත්වූ අංක 3 පිතිකරු ජැක් එඩ්වඩ්ස් අද ලකුණු 95ක් රැස් කළේය.

හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් අන්තයේ කරමින් ඔහු ක්‍රීඩා කල සුපිරි ඉනිම ශතකය පෙනෙන මානයේදී නතර වූයේ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවකට මිඩ්-විකට් කලාපයේ සිට කමිඳු මෙන්ඩිස් රැකගත් උඩපන්දුවක් නිසාවෙනි. මැදපෙළ පිතිකරුවන් ලෙස තම වගකීම අකුරටම ඉටුකළ ඕස්ටින් වෝ ලකුණු නොදැවී ලකුණු 40ක් රැස් කරද්දී නායක විල් සදර්ලන්ඩ් ලකුණු 49ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 251ක් දක්වා ඉහළ දැමීය. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා යොවුන් පිළ වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් බිඳ හෙලූ අතර ඩිල්ශාන්, ඩැනියෙල් සහ කමිඳු මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. මෑතක සිට පන්දු යවන්නෙකු ලෙසින්ද ඉහළ දක්ෂතා පෙන්නුම් කරන කමිඳු අද පන්දුවාර 6ක් යවා ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 17ක් පමණි. කෙසේ වෙතත් සංචාරය පුරාවට දක්ෂතා අතර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික නොමැති අඩුව නම් අද තරගයේ දී ශ්‍රී ලංකාවට විශාල අවාසියක් බවට පත්විය.

හෝබාර්ට් තණතීරුවේ දී හොඳ ලකුණු සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි ලකුණු 251ක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ව ඉතාමත් ඉක්මනින් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්කම් දැක්වූහ. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ සහ විශ්ව චතුරංග පමණක් අද ඉලක්කම් දෙකේ ලකුණක් ලබා ගැනීමට හැකි වුනු පිතිකරුවන් තිදෙනා බවට පත්විය.

කණ්ඩායමේ වගකිවයුතු පිතිකරුවන් වන කමිඳු මෙන්ඩිස් අද ඩ්‍රයිව් පහරකට උත්සාහ දැරීමේදී කවර් කලාපයට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර, නිපුන් සුමනසිංහ ඕස්ටින් වෝගේ වේග පන්දුවක් හඳුනාගත නොහැකිව කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වුණු සාන්ත ජෝසප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 55ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක රයන් හැඩ්ලි ලකුණු 61කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර පසුගිය කාලයේ දිගින් දිගටම තරග පැවැත්වීම නිසා තරමක් කඩතොළු වී ඇති හෝබාර්ට් තණතීරුවේ දී දකුණත් දඟ පිට පන්දු යවන ක්‍රීඩක ලොයිඩ් පෝප් කඩුලු 3ක් දවාලීය. සැක් එවන්ස්ගේ වේග පන්දුවට අද කඩුලු දඩයම් කර ගැනීමට නොහැකි වූවත් තමන් ක්‍රියාත්මක කල පන්දු වාර 6ට ලකුණු 16ක් පමණක් ලබා දෙමින් ඔහු ශ්‍රී ලාංකික පිතිකරුවන් පීඩනයට හසු කිරීමට සමත් විය.

පන්දු වාර 32යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා පිළ ලකුණු 149ක සීමාවුනු අතර ඒ හේතුවෙන් ලකුණු 102ක දැවැන්ත ජයක් ඕස්ට්‍රේලියානු යෞවනයින් සතුවිය. තරගයේ වීරයා සම්මානය ලකුණු 95ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ජැක් එඩ්වඩ්ස්ගේ සුරතේ රැඳිණි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග 3දීම මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කර ගැනීම නිසා ඉදිරි තරග වල දී කාසියේ වාසිය පවා ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත. තරගාවලි ජයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතු සිව්වැනි එක්දින තරගය ලබන 21 වැනිදා හෝබාර්ට් හිදීම පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 7ක් දැවී ලකුණු 251 (පන්දු වාර 50)‍: ජැක් එඩ්වඩ්ස් 95, විල් සදර්ලන්ඩ් 49, ඕස්ටින් වෝ 40*, රයන් හැක්නි 39, ජොනතන් මර්ලෝ 9, ප්‍රවීන් ජයවික්‍රම 2/56, කමිඳු මෙන්ඩිස් 1/17, ජෙහාන් ඩැනියෙල් 1/29.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දු 32.4): ජෙහාන් ඩැනියෙල් 55*, හසිත බෝයගොඩ 15, විශ්ව චතුරංග 10, ක්‍රිෂාන් සංජුල 9, තිලාන් ප්‍රශාන් 9, රයන් හැඩ්ලි 4/61, ලොයිඩ් පෝප් 3/46, මැතිව් ස්පෝස් 1/1.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට