ශ්‍රී ලංකා ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙයි

260
Sri Lanka vs Australia

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3වන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (17) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 163කින් ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූ අතර රංගන හේරත් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව නැවතත් තරගයේ පාලනය අතට ගනී

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා දෙවන ඉණිමේ ලකුණු පුවරුව ලකුණු 312ට කඩුලු 8ක් ලෙස සටහන් ව තිබිණි. ධනංජය ද සිල්වා හා සුරංග ලක්මාල් 9 වන කඩුල්ල සඳහා නොබිදුනු ලකුණු 50*ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. පළමු ඉණිමේ ද ශතකයක් ලබාගත් ධනංජය දෙවන ඉණිම තුල තරමක් වේගවත් ලකුණු 65*ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. එම ඉණිමට 4 පහරවල් 10ක් ඇතුළත් විය. අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා පළමු ඉණිම 347-8 (99.3) dec – කෞෂාල් සිල්වා 115, ධනංජය ද සිල්වා 65*, දිනේෂ් චන්දිමාල් 43 , ‍නේතන් ලයන් 4/123

අනතුරුව ලකුණු 324ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු යුගල සාර්ථක අඩිතාලමක් දෙවන ඉණිමට දැමුවේ පළමු කඩුල්ල සඳහා ලකුණු 77ක සබඳතාවයක් පවත්වාගෙන යමිනි. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ශෝන් මාෂ් ලකුණු 23කට දවාලීමට දිල්රුවන් පෙරේරා සමත් විය. අනතුරුව දෙවන කඩුලු සඳහා ද පිටියේ ස්ථාවර වෙමින් ලකුණු  23ක සබඳතාවයක් පවත්වා ගෙන යමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාන බලමින් සිටි නායක ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් ගේ එම බලාපොරොත්තුව ව්‍යවර්ථ කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නොසිතූ ලෙස රංගන හේරත් ක්‍රියාත්මක වෙමින්, ස්මිත්ව ලකුණු 8කට දවාලන ලදි. එවිට කැන්ගරු ලකුණු පුවරුව ලකුණු 100ට කඩුලු 2ක් ලෙස සටහන් විය.

අනතුරුව ලකුණු 17ක සීමාව පසුකර යමින් කිසිදු සාර්ථක  සබඳතාවයක් ගොඩනැංවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩකඩ ලබා නොදුන් අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 60ක් තුළ දවාලීමට රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඕස්ට්‍රේලියානු දෙවන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් ලකුණු 68ක් ලබාගැනීමට 4 පහරවල් 6ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි. ඔහුගේ කඩුල්ල දිල්රුවන් විසින් දවාලීමට සමත් වූ අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 23ක සීමාව පසුකර යාමට නොහැකි විය.

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම 160-10 (44.1) – ඩේවිඩ් වෝනර් 68, මිචෙල් ස්ටාක් 23 , ශෝන් මාෂ් 23, රංගන හේරත් 7/64 , දිල්රුවන් පෙරේරා 2/71

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තරඟය ලකුණු 163කින් ජයග්‍රහණය කරමින් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ලබාගත් ටෙස්ට් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පරිවර්තනය කරමින්, තරගාවලිය 3-0 ක් ලෙස අවසන් කිරීමට සමත් විය.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන දිනාගන්නා ලදි.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟය ලබන 21වන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සවස 2.30 ට දිවා රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට