සිය මව් රටේදීම ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය පරාජය වීමේ අත්දැකීමට මුහුණ දුන් කැන්ගරුවන්ට අද (22) පූර්ණ තරගාවලිය පරාජය වීමේ අවමානයෙන් මිදීමට හැකි විය. ඒ ඇඩිලේඩ් හිදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණයක් සමගින් නිමා කිරීමට හැකිවූ බැවිනි.

නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්!

ශ්‍රී ලංකා කඩුලු රකින ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සීමිත ඕවර තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර ඇත. ක්‍රිකට් කවුන්සලයේ නීති මාලාවට…

පිතිකරණ පාරාදීසයක් ලෙස දිස්වුනු ඇඩිලේඩ් තණතිල්ල මතදී අඛණ්ඩව තෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් උපුල් තරංග මුලින් පන්දුවට පහර දීම සත්කාරක පිළට භාර කළේ පසුගිය තරග වලදී ලකුණු හඹායාම ශ්‍රී ලංකාවට වාසිදායක වූ බැවිනි. විනිසුරු තීරණයට ගරු නොකල බව කියමින් මතභේදාත්මක ලෙස තරහ තහනමක් පැනවූ වමත් ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවට අද දසුන් ශානක ශ්‍රී ලංකා පිළ සමග එකතු වී තිබුණි. ඒ අනුව කඩුල්ල පිටුපස වගකීම කුසල් මෙන්ඩිස්ට භාර විය. මීට අමතරව කලින් තරගයේදී අවසන් පන්දුවාරයට ලකුණු 14ක් ලබාදී ශ්‍රී ලංකා පිළේ ජය මාවත එළිපෙහෙළි කල ඇන්ඩෘ ටයි වෙනුවට මෙම තරගය සඳහා ඇඩම් සැම්පා කැඳවා තිබුණි.

පිට පිටම ලද පරාජයන්ගෙන් පාඩම් ඉගෙනගෙන තිබූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තමන්ට භාරවී තිබූ වගකීම මනාව තේරුම් ගනිමින් ඉනිම ගොඩ නගන්නට විය. නමුත් තරග ආරම්භයේදීම ලසිත් මාලිංගගේ පන්දුවකට ආරෝන් ෆින්ච් ශෝට් මිඩ්-විකට් කලාපය වෙත ලබාදුන් පහසු උඩපන්දුව ඩිල්ශාන් මුණවීර අතින් ගිලිහී යාම තරගයේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. ඒ වනවිට කිසිදු ලකුණක් ලබාගෙන නොතිබූ ඕස්ට්‍රේලියානු නායකයා ලැබුනු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ නංවා ගත්තේය.

අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් දකුණත් පිතිකරු මයිකල් ක්ලින්ගර් තම කෙටි විස්සයි විස්ස දිවියේ හොඳම ඉනිම ලෙස හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 62ක් රැස් කළේය. බිග් බෑෂ් තරගාවලියේ පෙරළිකාරයින් වන ට්‍රැවිස් හෙඩ් ලකුණු 30ක් ද, බෙන් ඩන්ක් ලකුණු 28ක් ද රැස් කිරීමට සමත් විය. ඉනිමේ අවසන් භාගයේදී ඕස්ට්‍රේලියානු කඩුලු එකපිට එක බිඳ වැටුනත් මුල්පෙළ පිතිකරුවන්ගේ මෙම ප්‍රවේගකාරී පිතිකරණය නිසා පන්දුවාර 20 අවසානයේදී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලෙස සටහන් විය. කලින් තරග දෙකේදී කණ්ඩායමේ අවස්ථාවක් හිමි නොවූ දසුන් ශානක අද ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 27කට කඩුලු 2ක් දවාලීය. මීට අමතරව ලසිත් මාලිංග කඩුලු 2ක් ද, විකුම් සංජය එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම ලකුණු 9කටත් වඩා එක් පන්දුවාරයකදී ලබාගත යුතුව තිබූ නිසා ඕස්ට්‍රේලියානුවන්ට පූර්ණ තරගාවලිය පරාජය වීමේ අවදානම අවම වී තිබුණි. නමුත් කලින් තරග දෙකේදීම නවක පිතිකරු අසේල ගුණරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවන් හඹා යෑමේදී දැක්වූ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සිතේ කොනක ජයග්‍රහණය පිලිබඳ සියුම් බලාපොරොත්තුවක් නොතිබුනාද නොවේ. එය තවත් වැඩිදියුණු කරමින් ඩිල්ශාන් මුණවීර සහ උපුල් තරංග ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ප්‍රවේගකාරී ලකුණු 41ක සබඳතාවයක් පැවැත්වීය.

නිවැරදිව කල්‍ යල් මැන එල්ල කරන ලද හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ඩිල්ශාන් මුණවීර ලකුණු 37ක් රැස්කලත් ට්‍රැවිස් හෙඩ්ගේ පන්දුවකට වැරෙන් එල්ල කල පහරක් හතරේ සීමාව අසල සිට ජේ රිචඩ්සන් උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමග මුණවීරගේ ඉනිම නිමාවිය. ශ්‍රී ලංකා පිතිකරුවන් බොහෝ දෙනෙකු පිටියෙන් ඉවතට එල්ල කිරීමට උත්සාහ කල පහරවල් කිහිපයක්ම හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ක්‍රීඩකයින් සුරැකිව රැක ගැනීමත් සමගම ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ඇරඹුණි.

කලින් තරගයට ක්‍රීඩා නොකල ඇඩම් සැම්පා ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේදී ප්‍රමුඛත්වය ගනිමින් තම මැජික් පා දඟ පන්දුවෙන් ශ්‍රී ලංකා කඩුලු 3ක් දවාලීය. මිලින්ද සිරිවර්ධන මැදපෙළ පිතිකරුවෙකු ලෙස ලකුණු 35ක් රැස් කලද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ජේම්ස් ෆෝක්නර් වේග පන්දු යවන්නෙකු ලෙස තම කාර්‍යභාරය මැනවින් ඉටු කරමින් ලකුණු 20ට කඩුලු 3ක් බිඳ හෙලීය. ඒ අනුව පන්දුවාර 18කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 146කට සීමාවීම නිසා ඕස්ට්‍රේලියානුවන්ට තරග 2-1ක් ලෙස තරගාවලිය නිමා කිරීමට හැකිවිය.

ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමත්, මිලියන 20කට අධික ශ්‍රී ලංකා ප්‍රේක්ෂක බලාපොරොත්තුත් එකවිට බිඳ දමමින් තෙවැනි තරගය පුරාවට තම දඟ පන්දුවෙන් අණසක පැතිරවූ ඇඩම් සැම්පාට තරගයේ වීරයා සම්මානය හිමිවූ අතර, දහසක් බාධක මැදින් කණ්ඩායමේ ස්ථානයක් දිනාගෙන එය ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගත් අසේල ගුණරත්නට තරගාවලියේ වීරයා සම්මානය ද හිමිවිය. අද තරගයෙන් පරාජය හිමි වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ පිපාසයකින් පෙළෙමින් සිටි අවස්ථාවක ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරාජය කරමින් ලබාගත් විස්සයි විස්ස කුසලානය ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ සුරතේ රැඳිණ.

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී ලකුණු 187 (පන්දුවාර 20): මයිකල් ක්ලින්ගර් 62, ආරෝන් ෆින්ච් 53, ට්‍රැවිස් හෙඩ් 30, බෙන් ඩන්ක් 28, දසුන් ශානක 2/27, ලසිත් මාලිංග 2/35, විකුම් සංජය 1/25.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 18): ඩිල්ශාන් මුණවීර 37, මිලින්ද සිරිවර්ධන 35, උපුල් තරංග 14, කුසල් මෙන්ඩිස් 14, සීක්කුගේ ප්‍රසන්න 12, ජේම්ස් ෆෝක්නර් 3/20, ඇඩම් සැම්පා 3/25.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට