සකල ශ්‍රී ලංකා වාසි ක්‍රීඩා ලෝලීන්ගේ දෙනෙතට සතුටු කඳුළු ගෙනෙමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන්ද විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සිංහ පැටවුන් සමත් විය. මේ වන විට ශ්‍රී ලංකාව සහභාගි වන බොහෝ තරග වලදී දැකිය හැකි ආකාරයේ අතිශය උණුසුම් නිමාවකින් යුතු වූ මෙම තරගයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දක්වා ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගත් අසේල ගුණරත්න ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවා බවට පත්විය.

ශ්‍රී ලංකාවේ පළමු ජය අවසන් පන්දුවෙන් විසඳෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු 20-20 තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (17) පුංචි ශ්‍රී ලංකාව ලෙස හඳුන්වනු ලබන මෙල්බර්න් ක්‍රීඩා පිටියේ දී…

කලින් තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනාගත් උපුල් තරංග ජයග්‍රහණය සඳහා තබන පළමු පියවර ලෙස මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට ලබා දුන්නේය. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ජයගත් තරග සියල්ලක්ම පාහේ හඹාගොස් ලද ජයග්‍රහණ වීම නිසා තරංගගේ මෙම තීරණය කිසිවෙකුටත් ගැටලුවක් වූයේ නැත. ඒ අනුව ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ප්‍රහාරයත්, ආරක්ෂාවත් එක ලෙස කැටිවුනු ඉනිමක් ක්‍රීඩා කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් විය.

ඒ වෙනුවෙන් මොයිසස් හෙන්රිකස්  හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් රැස්කල අතර, පිටිය සිසාරා පහර දෙමින් පන්දු 14කින් ලකුණු 32ක් ලබාගෙන සිටි බෙන් ඩන්ක්ව දවා ගැනීමට අසේල ගුණරත්න සමත් විය. මීට අමතරව ආරම්භක පිතිකරු මයිකල් ක්ලින්ගර් ලකුණු 43ක් සමඟින් ඕස්ට්‍රේලියානුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවශ්‍ය පදනම දමා දුන්නේය. නමුත් ඕස්ට්‍රේලියානුවන්ට රිසිසේ රැස් කිරීමට ඉඩ නොදුන් නුවන් කුලසේකර ලකුණු 31ට කඩුලු 4ක් බිඳ හෙලද්දී මාලිංග සහ විකුම් සංජය ශ්‍රී ලංකා පිළට අත්‍යවශ්‍යම අවස්ථා වලදී ක්‍රියාත්මක වෙමින් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

දෙවැනි විස්සයි 20 තරගයේ ඡායාරූප ඇල්බමය

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 174ක අභියෝගාත්මක ඉලක්කයක් හිමිවුණු ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට නම් ලකුණු වේගයත් කඩුලු ප්‍රමාණයත් යන සාධක දෙක පිලිබඳවම අතිශය සැලකිලිමත් වීමට සිදුවිය. මීට අමතරව ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් මනා පාලනයකින් යුතුව පන්දු යැවීම නිසා පීඩනය දරාගත නොහැකිවූ මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 40ක් තුල දැවී ගියේය.

Sri Lanka v Australia 2nd T20

ඒ අතරට විනිසුරුවරුන්ගේ අනුග්‍රහයෙන් ඕස්ට්‍රේලියානුවන්ට හිමිවූ ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ද ඇතුළත් විය. පසුව පුනරූපන පරීක්ෂා කිරීමේදී එය උරහිසේ වැදී ඇදී ගිය පන්දුවක් ලෙස දැකගන්නට ලැබුනත් ඒ වන විටත් ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රසාද කඩුල්ලක් හිමිව තිබුණි. ඒ වන විට ශ්‍රී ලංකාවට උරුම විය හැකි දරුණු පරාජයක් පිලිබඳ පෙරනිමිති කාඩිනියා පාර්ක් ක්‍රීඩාංගණයේ දැකගත හැකි විය.

නමුත් තරගයක් නිල වශයෙන් නිමාවන තුරු පරාජය භාර නොගන්නා අසේල ගුණරත්න ඒ වන විටත් තණතිල්ල මත රැඳී සිටියේ ලක් මවගේ ජයග්‍රහණය වෙනුවෙන් නොසංසිඳෙන බලාපොරොත්තුවක් සිතේ රඳවාගෙනයි. ශ්‍රී ලංකා පිළ ඇද වැටී තිබූ ආගාධයෙන්  කණ්ඩායම ගොඩ ගැනීම සඳහා ඔහු හා එක්වුනු චාමර කපුගෙදර පන්දු 32ක් තුල දී රැස්කල ඉවසිලිවන්ත ලකුණු 32 ඇත්තෙන්ම අර්ධ ශතකයකටත් වඩා වැඩි වටිනාකමකින් යුක්ත විය. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ 16 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා පිළ කඩුලු 7ක් දැවී ලකුණු 119ක් රැස් කරගෙන ජයග්‍රහණයෙන් බොහෝ දුර ඈත සිටියේය.

ඒ වන විට නුවන් කුලසේකර එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටිය දී අනෙක් අන්තයේ සිට ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ අසේල ගුණරත්න කැන්ගරුවන්ගේ ලකුණු පුවරුව පෙනෙන මානයට ශ්‍රී ලංකා ඉනිම රැගෙන ආවේය. ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 36ක් අවශ්‍ය කර තිබූ මොහොතේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඔහු මොයිසස් හෙන්රිකස් යැවූ 19 වැනි පන්දුවාරයේ දී පිට පිටම එල්ල කල හයේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් උදුරා ගත්තේය.

ඒ අනුව අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 14ක් ලබා ගත යුතු විය. පන්දුවාරය ක්‍රියාත්මක කල ඒ වන විට ඇන්ඩෘ ටයි මුල්ම පන්දුවෙන් නුවන් කුලසේකර නැවත ක්‍රීඩාගාරයට හරවා යැවූවත් දෙවැනි සහ තෙවැනි පන්දු වලට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කල අසේල ක්‍රීඩාංගණයට රැස්ව සිටි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ගේ නළලත රැළි ගන්වන්නට සමත් විය. අනෙක් අන්තයේ රැඳී සිටි විස්සයි විස්ස තරග සඳහා විශේෂඥයෙකු වන ලසිත් මාලිංග අවසන් පන්දුව දක්වා තම සගයා දිරි ගන්වමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වනු දක්නට ලැබිණ. ඒ අනුව අවසාන පන්දුවේදී ලබා ගත යුතුවූ ලකුණු 2 කවර් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් එල්ල කල දර්ශනීය හතරේ පහරක් මගින් සපුරාගත් අසේල ගුණරත්න තම ක්‍රීඩා දිවියේ ස්වර්ණමය පරිච්ඡේදයක් අද කාර්ඩිනියා ක්‍රීඩාංගණයේදී සනිටුහන් කිරීමට සමත් විය.

TP-97මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේදී අවසන් වරට මුහුණ දුන් විස්සයි විස්ස තරගාවලි තුනම අඛණ්ඩව ජය ගැනීමට සමත්ව සිටියි. තරගයේ වීරයා සම්මානය හතරේ පහර 6ක් සහ හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 84ක් රැස් කරගෙන ආශ්චර්යජනක පිතිකරණයක නියැලුණු අසේල ගුණරත්නගේ සුරතේ රැඳිණි. මෙය ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයකදී ක්‍රීඩා කල විශිෂ්ටතම ඉනිම ලෙස නම් කළ ද එහි වරදක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවත සොයමින් සිටි අවධියක ආරම්භ වුනු මෙම තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගය ලබන 22 වැනිදා පස්වරු 2.20ට ඇඩිලේඩ් නුවරදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියාව – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 20): මොයිසස් හෙන්රිකස්  56*, මයිකල් ක්ලින්ගර් 43, බෙන් ඩන්ක් 32, ආරෝන් ෆින්ච් 12, නුවන් කුලසේකර 4/31, ලසිත් මාලිංග 2/31, විකුම් සංජය 2/32.

ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 176 (පන්දුවාර 20): අසේල ගුණරත්න 84*, චාමර කපුගෙදර 32, නිරෝෂන් දික්වැල්ල 14, නුවන් කුලසේකර 12, ඩිල්ශාන් මුණවීර 10, ඇන්ඩෘ ටයි 3/37, ජේම්ස් ෆෝක්නර් 2/32, ඇෂ්ටන් ටර්නර් 1/15, ජේ රිචඩ්සන් 1/24.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට