ශ්‍රී ලංකා ජයග්‍රහණය කළු ද? සුදු ද?

705

ඔව් ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් පරාජය කර තිබේ. මාස 7කට පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලැබූ කණ්ඩායමක් එක්දින තරගයක දී පරාජය කිරීමට සමත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් මරු කතරට වැටුණු වැසි පොදක් මෙනි.

ටෙස්ට් වරම් නොලැබූ ස්කොට්ලන්තය සමඟ තරගයකින් ලැබූ ජයග්‍රහණයේ දී පවා සතුටු වූ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට ඇෆ්ගනිස්ථානය තවමත් ක්‍රිකට් ලොව නවකයන් වීම, සතුට අඩු කර ගැනීමට කරුණක් නොවේ. නමුත් ජයග්‍රහණයෙන් උදම් වන අතරම කරුණු රැසක් ඒ ජයග්‍රහණයේ සෙවණැල්ලෙන් වැසී යාමට ඉඩ නොදී අවධානයට  යොමු කර ගැනීමට ද ඉතිරිව තිබේ.

ශ්‍රී ලංකාවේ මැද පෙළ අදත් අනාථයි

ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලියේ දෙවැනි තරගයට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට කාඩිෆ් ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව…

සාර්ථක ආරම්භය

වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට මීට පෙර කිසිදු දිනක අනුකම්පාවක් දක්වා තිබූ ක්‍රීඩාංගණයක් නම් නොවේ. පළමු තරගයේ තරම් නොවුනත් සැලකිය යුතු තරම් මට්ටමේ තණකොළ සහිත තණ තීරුව, පෙර දින ඇදහැළුණු වර්ෂාව සහ වලාකුළු සහිත අහස යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් ඇෆ්ගන් නායකයා, කාසියෙන් හිමි වූ වාසිය  යොදා ගත්තේ පළමුවෙන් පන්දුව අතට ගැනීමටයි.

පළමු තරගයෙන් පසු බොහෝ විචාරකයන් පළ කළ මතයට අනුව යමින් කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු තනතුරට උසස් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි ප්‍රතිඵල දෙවන පන්දු වාරයේ සිටම විඳ ගැනීමට හැකියාව ලැබුණි. දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් වැඩි අවදානමකින් තොරව ක්‍රීඩා කළ කුසල් ජනිත් සහ දිමුත් පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක සබඳතාවක් ගොඩ නැගුවේ කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවක්ව තිබූ සාර්ථක ආරම්භක සබඳතාවක් නොමැති කමට පිළිතුරක් ඇති බවට ඉඟි පළ කරමිනුයි.

කෙතරම් ස්ථාවර තත්ත්වයක සිටියත් අවධානය නොවෙනස්ව තබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් දිමුත්ගේ පළමු වගකීම් විරහිත පහරම ඔහුගේ දැවී යාමට හේතු වෙද්දී, ලහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට තවත් අර්ධ ශතක සබඳතාවක් සඳහා කුසල් ජනිත්ට දායකත්වය ලබා දෙන්නට සමත් විය. ඒ හරහා ඔහුගේ පිතිකරණ රටාව බොහෝ දුරට ගැළපෙන්නේ අංක 3 ස්ථානයට බව පෙන්වා දෙන්නට ද තිරිමාන්න කටයුතු කරන ලදි.

වගකීම් විරහිත මැදපෙළ

සොෆියා ගාර්ඩ්න්ස් තණතීරුව දඟ කැවෙන්නේ නැති බව තේරුම් ගත් අත්දැකීම් බහුල මොහොමඩ් නබි පන්දුවේ වේගය අඩාල කරමින් තිරිමාන්නව දවා ගන්නට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ඊයේ තරගයේ දීත් පෙන්නුම් කළේ අතිශය දුර්වල පිතිකරණ රටාවක් වීම කනගාටුවට කරුණක්.

පළමු පන්දුවේ දී පිත්තේ පිටත අග්‍රයේ වැදුණු පන්දුව ස්ලිප් ක්‍රීඩකයා පසු කරමින් ඇදී ගියත් යළිත් එවැනිම පන්දුවකට එවැනිම දුර්වල පහරක් එල්ල කළ මෙන්ඩිස්ව තවදුරටත් පිටියේ රඳවා ගැනීමට වාසනාව පවා කැමති වූයේ නැත. පුහුණු තරගයක දී ලකුණු අතරට පිවිසුණත් ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිකරණය හරහා ඔහු ආබාධයෙන් පසු තවමත් සුපුරුදු රිද්මයට පැමිණ නොමැති බවට සැකයක් ඇති වේ.

කුසල් මෙන්ඩිස් මෙන්ම සිය ක්‍රීඩා දිවිය ආරම්භයේ දී ඉහල දස්කම් අතර සිටි ධනංජය ද සිල්වා ද මේ වන විට කණ්ඩායමේ රැඳී සිටින්නේ අතීතයේ දස්කම් සහ කවදා හෝ ඔවුන්ගේ දස්කම් කණ්ඩායමට ලබා දෙනු ඇති බවට තිබෙන විශ්වාසය මත පමණක් මෙනි.

ඔවුන් තුළ විශේෂ හැකියාවක් පවතින බව අවිවාදයෙන් පිළිගත යුතු නමුත් දිගින් දිගටම අසාර්ථක වීමට ඔවුන්ට ඉඩ සැලැස්වීම හරහා ඔවුන් ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදයට ලක් කරනවා මෙන්ම ඔවුන්ගේ මානසික ශක්තිය ද විනාශ කිරීමට පරිපාලකයන් කටයුතු කරන්නේ මන්දැයි සිතා ගැනීමට අපහසුය.

ලකුණු 5ක් තුළ කඩුලු 4ක් බිඳ වැටුණු අවස්ථාවක පන්දුවාර කිහිපයක් කඩුල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවට තිසර පෙරේරා අනවශ්‍ය අවදානමක් සහිත කෙටි ලකුණු වෙත යොමු වීම (ඔහු සහ කුසල් ජනිත් අතර කඩුලු අතර දිවීමේ අවබෝධය දුර්වල බව අවස්ථා කිහිපයක දී පෙනී ගොස් තිබුණු පසුබිමක පවා) විමතිය දනවන කරුණක්.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට ඇතුළත් වූ ඉසුරු උදාන පවා පන්දුවාර 19ක් ඉතිරිව තිබිය දී එල්ල කළ අපරීක්ෂාකාරී පහර ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පීඩනය දරා ගැනීමේ හැකියාව පවතින්නේ කුමන ස්ථානයක ද යන්න තේරුම් ගැනීම සඳහා හොඳ නිදසුනක් වේ.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

කුසල් ජනිත්ගේ නොනවතින පිත්ත

පසුගිය කාලය පුරාවටම කඩා වැටෙන ශ්‍රී ලංකා පිතිකරණ දක්ෂතා මධ්‍යයේ මෙරට ක්‍රීඩාලෝලීන්ට සතුටු වීමට එතුවක් තිබුණා නම් ඒ කුසල් ජනිත් පෙරේරා පමණකි. පිතිකරුවෙකු සතු විය යුතු ස්ථාවරත්වය යනු කුමක්ද යන්න ට වර්තමානයේ මෙරටින් ගත හැකි එකම උදාහරණය කුසල් ජනිත් පමණකි.

ඔහු මෙම තරගයේ දී ලකුණු 78 ක් රැස් කළේ හොඳ පන්දුවලට ගරු කිරීම, දුර්වල පන්දු තෝරා ගැනීම, එම පන්දුවලට නිසි අයුරින් පහර එල්ල කිරීම වැනි පිතිකරණයේ මූලික සංකල්ප මැනවින් ක්‍රියාත්මක කළ කුසල්ට මෙවර තරගාවලියේ ශතකයක් වාර්තා කළ පළමු විදෙස් ක්‍රීඩකයා වීමේ අවස්ථාව අහිමි වුනේ ඔහු සමඟ අනෙක් අන්තයේ රැඳී සිටින්නට කිසිවෙක් හට අවශ්‍යතාවක් නැති බව ඔහුට හැඟී යාම නිසා විය හැකිය.

එමෙන්ම කඩුල්ල පසුපස සිට කණ්ඩායම දිරිමත් කරමින් කුසල් ජනිත් ලබා දෙන සහය ද කණ්ඩායමේ ජවය රඳවා ගැනීමට ඉමහත් සවියක් වන බව ද අමතක නොකළ යුතුය.

පන්දු යවන්නන්ගේ නැගිටීම

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 41ක දී ලකුණු 187ක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය වර්තමාන ක්‍රිකට් ක්‍රීඩා තුළ ඉතා පහසු ඉලක්කයක් බව සියලුම විචාරකයන් මතු කළ කරුණකි. පන්දුවාරයකට ලකුණු 4.5ක දල ලකුණු වේගයක් රඳවා ගැනීමට ඉඩ නොදී තරගයක් ජය ගැනීම කිසිසේත්ම කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ඇති එකම ක්‍රමය කඩුලු 10 ම දවා ගැනීම බවත් පැහැදිලි කරුණක් විය. නමුත් නවසීලන්ත තරගයේ දී එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එය කළ හැකි ද..?

ඩර්බන්හි වීරයෙකුගේ සිට ‘Cardiff’ හිදී අමතක වීම දක්වා

ශ්‍රී ලංකාවේ පිතිකරණ බලඇණිය කඩා වැටෙන අවස්ථාවල දී කුසල් ජනිත් පෙරේරා එය ඉහළට ඔසවා තැබීම ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්…

නුවන් ප්‍රදීප් සාධකය

නවසීලන්ත තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම සහ මේ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තිබූ එකම වෙනස වුනේ ජීවන් මෙන්ඩිස් වෙනුවට නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවීමයි. ලසිත් මාලිංග ලබා දුන් ආරම්භය සමග ඉසුරු උදාන දෙවන කඩුල්ල දවා ගැනීමට සමත් වුවත් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම වෙතට දෝලනය වීම ආරම්භ වුනේ නුවන් ප්‍රදීප්ගේ ආගමනයත් සමඟයි.

සිය පළමු පන්දුවාරයේ දී ලකුණු අතර සිටි හස්රතුල්ලා සසායි වෙත ගැලවීමක් නොමැති බවුන්සර් පන්දුවක් යොමු කරමින් ප්‍රදීප් ආරම්භ කළ කඩුලු දඩයම අවසන් වුනේ ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 31 කට කඩුලු 4ක් දවා ගනිමිනුයි. නුවන් ප්‍රදීප් සිය පන්දුවාර 9 අවසන් කරන විට ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණ බලාපොරොත්තු ද බොහෝ දුරට අවසන් වී තිබුණි.

පන්දු රැකීම කොතැනද?

ලකුණු 187ක් වැනි කුඩා ඉලක්කයක් ආරක්ෂා කර ගැනීමේ දී පන්දු යවන්නන්ටත් වඩා වැඩි වගකීමක් පිටියේ පන්දු රකින ක්‍රීඩකයන් හට හිමි වේ. කෙසේ වෙතත් ඊයේ තරගයේ ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය අති විශිෂ්ට පන්දු රැකීම් කිහිපයක් හරහා දුර්වල පන්දු රැකීම් වලින් ඇතිවූ සිදුරුවලට අන්ඩ දැමීමක් ලෙස සටහන් කිරීම වඩාත් උචිතය.

තරගයේ හැරවුම් ලක්ෂය වූ නුවන් ප්‍රදීප්ගේ පළමු කඩුල්ලේ අයිතිය ඔහුට පමණක් නොව තිසර පෙරේරාට ද අයිති විය යුතු බව කිවහොත් එය කිසිසේත්ම අසාධාරණ ප්‍රකාශයක් නොවේ. මන්ද හස්රතුල්ලා සසායි දවා ගැනීමට තිසර පෙරේරා රැකගත් උඩපන්දුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම උඩපන්දු අතරට අවිවාදයෙන්ම එක්වන දස්කමකි.

කෙසේ වෙතත් තිසරගේ මෙම දස්කම හරහා වැසී ගියේ හස්රතුල්ලා ලකුණු 24ක් ලබා සිටිය දී ලබා දුන් පහසු උඩපන්දුව අත හරිමින් කුසල් මෙන්ඩිස් කණ්ඩායමට සිදු කිරීමට තිබුණු දැවැන්ත පාඩුවයි. එමෙන්ම ධනංජය ද සිල්වා ලහිරු තිරිමාන්න සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් අතින් ද ලකුණු 10කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිවාදීන් වෙත ගලා ගිය නමුත් ඒ හා සමාන ලෙසම ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ විශිෂ්ට පන්දු රැකීම් හරහා තරගයේ වාසිය රැක ගන්නට අවස්ථා ලැබුණි.

ඊයේ දිනයේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙත බරිතව පැවතීම ද පන්දු රකින්නන් හට අතිරේක අභියෝගයක් බව ද සඳහන් කළ යුතු නමුත් වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩාව ක්‍රියාත්මක වන මෙවන් යුගයක අත් වැරදීම් වලට ඇති ඉඩ කඩ ඉතාම අවම බවත්, සඳහන් නොකරම බැරිය.

ත්‍රස්ත ප්‍රහාරය ආශීර්වාදයක් කර ගත් බංග්ලාදේශය මෙන්…

දිනය 2015 මාර්තු 15 වැනි සිකුරාදා ය. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නුවර මුස්ලිම් බැතිමතුන් තම දේව මෙහෙයන් සඳහා පල්ලි දෙකක්…

තරග අවධානය

ඇෆ්ගනිස්ථාන ඉනිමේ දෙවන පවර් ප්ලේ අවස්ථාව ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවක ඔවුන්ට නිදහස් පහරක් (Free Hit) ලබා දෙන්නට විනිසුරු නයිජල් ලෝං කටයුතු කළේ ඊට පෙර පන්දුවේ දී පන්දු රකින්නන් 5 දෙනෙකු යාර 30 සීමාව තුළ රඳවා නොතිබීම හේතුවෙන් පිරිනැමුණු නිපන්දුවක් ද සමඟින්. එක්දින තරගයක ඕනෑම අවස්ථාවක දී ලැබෙන නිදහස් පහරක් හරහා පිතිකරුවෙකුගේ රිද්මය ගොඩ නගා ගැනීමට කෙතරම් සහයක් හිමිවේද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් මෙම නිදහස් පහරෙන් එකදු ලකුණක් හෝ ලබා නොදීමට ඉසුරු උදානට හැකියාව ලැබුනත්, විමසා බැලිය යුතු ප්‍රධාන කරුණ වන්නේ දිමුත් කරුණාරත්නට අමතරව හිටපු නායකයන් තිදෙනෙක් ද ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවෙකුට මෙම අඩු පාඩුව දැක ගන්නට නොලැබුණේ මන්ද යන කරුණයි.

එමෙන්ම වරෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ වේගය නියමිත පන්දු වාර සංඛ්‍යාවට වඩා පන්දුවාර 3ක් පසුපසින් තිබෙන බව ද දක්නට ලැබුණි. පන්දුවාර 3ක අඩුවක් කණ්ඩායමේ නායකයාට තරග තහනමක් පැනවීමට පවා ප්‍රමාණවත් වරදක් වන අතර වාසනාවට මෙන් පන්දුවාර 8ක් පමණ ඉතිරිව තිබිය දී තරගය අවසන් නොවන්නට දිමුත් හට පකිස්ථානයට සමග තරගය අහිමි වන්නට ද අවදානමක් නොතිබුනා නොවේ.

හඬමු ද? සිනාසෙමු ද?

තරගය අවසන් වීමට පන්දු කිහිපයකට පෙර විස්තර විචාරයේ යෙදී සිටි කුමාර් සංගක්කාර පැවසුවේ මෙවැන්නක්.

”ඔවුන්ට මෙය දිනන්න පුළුවන්, ඔව්. නමුත් මේ තරගය හරහා පිළිතුරු දී නොමැති ප්‍රශ්න රැසක් ඉතුරු වෙනවා.”

ඇත්තෙන්ම යථාර්ථය නම් එයයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ජයග්‍රහණය හරහා සතුටු විය හැකි කරුණු කිහිපයක් සොයා ගත හැකි නමුත් පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්න ගොන්න නම් සැලකිය යුතු  තරමින් අඩු වී නැත. මේ ජයග්‍රහණයේ උද්දාමය තව දුරටත් පවත්වා ගැනීමට නම්, මේ තරගයේ ධනාත්මක කරුණු සිතේ රඳවා ගන්නා අතරම පැරණි ප්‍රශ්න වලටත් මේ තරගයේ දී අලුතින් මතු වූ ප්‍රශ්න වලටත් පිළිතුරු සොයා ගැනීමට කඩිනම් විය යුතුමය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<